.
[Amarasara
News Home] . (Sinhala Unicode - Malithi Web Font)
.
රටවල් දෙකඩ කිරීමට ජාත්‍යන්තර අධිකරණය තීන්දුවක් දීම
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(03-07-2010 - දිවයින)
# “ස්‌වාධීනත්වය ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමත් නොවෙයි“ - ජාත්‍යන්තර අධිකරණයේ සභාපති හිෂාෂි ඕව්ඩා
# “කොසවෝ ප්‍රාන්තයට ස්‌වාධීනත්වය හිමිවිය යුතුයි“ යන ඇමරිකානු මතයට ජාත්‍යන්තර අධිකරණය එකඟ වුණා - හිලරි ක්‌ලින්ටන් (ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය)
# මේ තීන්දුව බෙදුම්වාදී කණ්‌ඩායම් දිරි ගැන්වීමක් - වැලඩ්මීර් පුටින් (රුසියානු අගමැති)
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණය මේ සතියේදී බෙදුම්වාදයට සහය වෙමින් ප්‍රකාශයට පත් කළ තීන්දුව නිසා ලෝකයේ රටවල් රැසක් දෙකඩ වන තත්ත්වයකට පත්වී ඇත. මේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිශ්චයකාරවරයා වූයේ ජාත්‍යන්තර අධිකරණයේ සභාපති හිෂාෂි ඕව්ඩා. තීන්දුව ප්‍රකාශයට පත්වී පැය විසිහතරක් ගතවීමට පෙර ඇමරිකාව සියලු රටවලින් ඉල්ලීමක් කරමින් කොසවෝ ප්‍රාන්තය වෙනම රටක් ලෙස පිළිගන්නැයි ඉල්ලා සිටියේය.
එහෙත් රුසියාව ඊට ප්‍රතිචාරය දක්‌වමින් පැවසුවේ ජාත්‍යන්තර අධිකරණය විසින් කොසවෝ ප්‍රාන්තය ස්‌වාධීන රටක් යෑයි කළ ප්‍රකාශයට නීතිමය පදනමක් නැති බවයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය මෙලෙස කොසවෝ ප්‍රාන්තය වෙනම රටක් ලෙස පිළිගන්නැයි ඉල්ලනවිට ඇය ප්‍රමඛ ඇමරිකානු රජය රතු ඉන්දියානුවන් සිටින ඕක්‌ලහෝමා ප්‍රාන්තය වෙනම රටක් ලෙස පිළිගැනීමට එකඟ වන්නේද?
මෙලෙස ජාත්‍යන්තර අධිකරණයේ බෙදුම්වාදී තීරණයට නෝර්වේ රජය ද එකඟත්වය පළ කර ඇත. එහෙත් සර්බියාව මේ තීන්දුව පිළිගැනීම එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. “සර්බියාව රටේ ඒකීයභාවය සහ ස්‌වෛරීතාවය පාවාදීමට සූදානම් නැහැ“ යෑයි සර්බියානු විදේශ ඇමැති වුක් ජෙරමික් පවසා ඇත.
ජාත්‍යන්තර අධිකරණය විසින් ලබාදුන් මේ තීන්දුව නිසා යුරෝපයේත්, අප්‍රිකාවේත්, රුසියාවේත් බෙදුම්වාදී කණ්‌ඩායම්වලට පිටිවහලක් වී තිබේ.
මෙකී තීන්දුව බෙදුම්වාදී කණ්‌ඩායම් විසින් භාවිත කිරීමට ක්‍රියා කරනවා යෑයි නෝවීජියානු විමර්ශක නෝර්වල්ඩ් ස්‌ටොල්ටෙන්බර්ග් පවසයි. මේ වන විට රටවල් 69 ක් පමණක් එකී තීන්දුවට එකඟත්වය පළ කර ඇතැයි වාර්තාවේ.
මෙම තීන්දුවට එරෙහි වන සර්බියානු විදේශ ඇමැතිවරයා ලෝකයේ කිසිම රටක් ඉන් ආරක්‍ෂා වන්නේ නැති බවට අනතුරු අඟවා ඇත. අන්තර්ජාතික අධිකරණයේ තීන්දුව ප්‍රමාදවීම ගැන කොටි ජාත්‍යන්තර ජාලය දැඩි ලෙස කම්පාවී ඇත. කොටි සංවිධානය තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ නම් මේ තීන්දුව මගින් ඊළම ලබාගැනීමට හැකි වෙනවා යෑයි කොටි ජාලය පවසා තිබේ.
එහෙත් කොටි ඝාතක සමාගම සමූල ඝාතනයවීම නිසා විදේශ රටවල් සිට ශ්‍රී ලංකාවේ වෙනම රටක් බිහි කිරීම දුෂ්කර වී ඇතැයි කොටින්ම පවසති.
කෙසේ වෙතත් කොසවෝ ප්‍රාන්තය වෙනත් රටක් බවට ප්‍රකාශයට පත්වීමේ ක්‍රියාදාමයට රටවල් 100 ක සහය අවශ්‍ය වී ඇත.
ජාත්‍යන්තර අධිකරණය විසින් කොසවෝ වෙනම රටක් බවට ප්‍රකශ කළත් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය හමුවේදී රුසියාව සහ චීනය විසින් ඊට එරෙහිව නිෂේධ බලය භාවිත කරනු නියතය.
මේ තීන්දුව සම්බන්ධයෙන් ස්‌වේන් ටොන්ජලන්ට් නමැති විමර්ශකයා පවසන්නේ කොසවෝ තීන්දුව අනිකුත් රටවල බෙදුම්වාදී අර්බුදවලට බලපාන්නේ නැති බවයි. එහෙත් සර්බියාවේ මතය නම් ලොව බෙදුම්වාදී කණ්‌ඩායම් විසින් තමන්ට ද ස්‌වාධීනත්වය ඉල්ලා සිටිනු ඇති බවය.
මේ අතර නෝවීජියානු මාධ්‍ය විසින් පවසා ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තම රටවල් නිර්මාණය කිරීමට තීරණය කර ඇති බවයි.
මෙහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් ගේ ප්‍රකාශය කෙරේ අවධානය යොමු කළ යුතුය. ඇය පවසා ඇත්තේ එක්‌සත් ජනපදයේ අදහස ලෝක අධිකරණය අනුමත කළ බවයි.
මේ ඇමරිකානු බෙදුම්වාදී සංකල්පයට එරික් සෝල්හයිම් හා පින්ලන්තයේ හිටපු ජනාධිපති මරුටි අහිට්‌සාරි ද සම්බන්ධ විය. සර්බියානු රාජ්‍යයට බෝම්බ හෙළීම සෝල්හයිම් විසින් අනුමත කෙරිණි. එසේම ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තුසේවාව සහ බ්‍රිතාන්‍ය එස්.ඒ.එස්. බළකාය විසින් කොසවෝ විමුක්‌ති පෙරමුණේ ත්‍රස්‌තයන්ව පුහුණු කරනු ලැබීය.
ඊයේ ජාත්‍යන්තර අධිකරණය දුන් තීන්දුව ද ඊට අදාළය. මේ තීන්දුව ගැන එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මෙතෙක් ප්‍රකාශයක් කර නැත. අපි උසි ගැන්වීම්වලින් වැළකී සිටිය යුතුය යන වචන කීපය පමණක් බෑන් කී මූන් විසින් පවසා තිබේ.
එහෙත් බටහිර ප්‍රජාව ලෝකයේ අර්බුද පවතින රටවල් දෙකට කිරීමේ කුමන්ත්‍රණයේ නිරත වන බව සනාථ කරලීමට සාක්‍ෂි අවශ්‍ය නැත.
ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව ඊට එකම සාක්‍ෂියයි. හිෂාෂි ඕව්ඩා නමැති ජපන් ජාතික විනිසුරුවරයාගේ මේ තීන්දුව අනුව ඕනෑම රටෙක ත්‍රස්‌ත හෝ බෙදුම්වාදී කණ්‌ඩායමකට භීෂණය පතුරමින් ස්‌වාධීනත්වය ඉල්ලා සිටීමට ඉඩ ලැබේ.
එම භීෂණ ක්‍රියාදාමය ඔහු අනුමත කරයි. මේ නිසා මෙය අපූරු තීන්දුවකි. මේ අන්දමට නෝර්වේ රටේ සිටින සාමි ගෝත්‍රිකයන් ස්‌වාධීනත්වය ඉල්ලා සිටියොත් ඊට එකඟ වන්නේද? ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්‌වී සෑම වසරකම ලෝකයේ අලුතින් බිහිවන රටවල් ගැන වාර්තා සකස් කරන බව රහසක් නොවේ. ඇමරිකාවේ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සිටින හමුදා සැලසුම්කරුවන් ඊට සම්බන්ධ වී සිටී.
මේ නිසා හිලරි ක්‌ලින්ටන් ජාත්‍යන්තර අධිකරණයේ තීරණය අනුමත කිරීම පුදුමයක් නොවේ.
කොටි සංවිධානය විසින් වසර කීපයකට පෙර ප්‍රකාශයක් කරමින් අර්බුද විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් ඊට ශ්‍රී ලංකාව කිසිසේත් එකඟ වූයේ නැත.
අද මෙරට ඇතැම් මහාචාර්යවරුන් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නැතැයි කියමින් ජනතාව රැවටීමේ යෙදී සිටී.
එසේ වුවත් ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව මෙම ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ අවසාන කොටස වේ. මුලින්ම සර්බියාවේ හිටපු ජනාධිපති ස්‌ලොබදාන් මිලොසවික්‌ව ඉවත් කෙරිණි. ඔහුව යුද අපරාධකරුවකු ලෙස නම් කෙරිණි. සිර භාරයට ගත් මිලොසවික් අබිරහස් ලෙස මියගියේය.
ඔහු මියයැමෙන් මාස කීපයකට පසු ජාත්‍යන්තර අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සර්බියාව යුද අපරාධ කළේ නැතැයි කියා සිටියේය.
සර්බියාව යුද අපරාධ කළේ නැත්නම් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර මිලොසවික්‌ව අත්අඩංගුවට ගත්තේ ඇයි?
ඇමරිකාව විසින් “කොසවෝ“ නිර්මාණය ශ්‍රී ලංකාව වෙතද දියත් කිරීමට උත්සාහ කරන බව දැන් පැහැදිලිය. මේ අනතුරුදායක තත්ත්වය මෙරට ජනතාව තේරුම්ගත යුතුය. ඇමරිකානු සහකාර ලේකම් රොබට් බ්ලේක් මෙරටට පැමිණ සහජීවනය සහ අවතැන්වූවන් ගැන හඬ නඟන්නේ එබැවිනි. බ්ලේක් යනු ද්‍රෝහියෙකි. ඔහු මේ සතියේ මෙරටට පැමිණ පැවසුවේ යුද අපරාධ ගැන සොයන ලෙසයි. ඇමරිකානු බලධාරීහු සර්බියානු රජය වෙත ප්‍රකාශ කර සිටියේ ද එයයි. එහිදී ඇමරිකානු ප්‍රයෝගයට මුළා වූ සර්බියානු නායකත්වය හිටපු හමුදා නිලධාරීන් ද අල්ලා දුන්හ. මේ නිසා මෙරට දේශප්‍රේමී ජනතාව මේ ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව කෙරේ විමසිල්ලෙන් සිටිය යුතුවේ. මන්ද එය බෙදුම්වාදය අනුමත කිරීමක් නිසාය ෴
• [Amarasara News
Home]
• Email :
news[at]amarasara.info
• [Amarasara
Home]
.