.
[Amarasara
News Home] . (Sinhala Unicode - Malithi Web Font)
.
රිදී සීනු හඬ නැවතත් ඇසේවා !
(24-04-2010 - දිවයින කතුවැකිය)
ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ හැසිරීම මගින් පැහැදිලි වන්නේ මේ රටට යහපත් දේශපාලන අනාගතයක් උදාවීමට යන බැව් යෑයි අපි ඊයේ (23 දා) මේ තීරුව මගින් කියා සිටියෙමු. අද ඒ ටිකම තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමු. සාමාන්‍යයෙන් ප්‍රකෝපකාරී පුද්ගලයකු ලෙසට හංවඩු ගසනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා පවා සිය මංගල කතාව තුළින් ඉතා සංවේදී ලෙස ආත්මය අවදි කළේය. කතානායකවරයාට සුබ පැතූ ඔහු රජයේ යහපත් ක්‍රියා කලාපයන්ට සහයෝගය දෙන බව ද කීය. කැබිනට් මණ්‌ඩලය පිහිටුවීමට ගත් උත්සාහයේදී ආණ්‌ඩුවට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා ගැන මේ අවස්‌ථාවේදී සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු නොවෙමු. මහ මැතිවරණයට ඉදිරිපත් වූ සන්ධානයේ සෑම අපේක්‍ෂකයෙක්‌ම පෘථග්ජනයෙකි. මේ හැමෝම කැබිනට් ඇමැති ධුරවලට කැමැත්තාහ. සන්ධානයේ මන්ත්‍රීවරුන් එකසිය හතලිස් ගණනකගේ අවශ්‍යතා කැබිනට් තනතුරු 36 කට කැටි කිරීම ඉතා දුෂ්කර කාරණයකි. මේ සියලු ප්‍රශ්න විසඳී යහපත් දේශපාලන සංස්‌කෘතියක් මේ රට තුළ ගොඩ නැගෙනු ඇත යන්න අපගේ ප්‍රාර්ථනයයි. එතැනදී ජනාධිපතිතුමාගේත් විපක්‍ෂ නායකතුමාගේත් අත්වැල් බැඳ ගැනීමක් සිදුවන්නේ නම් එය රටේ වාසනාවක් බව ද අපගේ වැටහීමයි. මේ රට සාමුහිකව ගොඩ දැමිය යුතු රටකි. ආණ්‌ඩුව හා විපක්‍ෂය දෙපැත්තට ඇද්දොත් රට ඉරි තැලෙන අතර ඒ ඉරි තැලීම තුළින් ත්‍රස්‌තවාදය මතුවන්නට ඉඩ ඇත. ඒ අඳුරු අතීතයට අප නැවතත් ගමන් කළ යුතුද?
මේ රට 1948 න් පසු මේ දක්‌වා දුරක් පැමිණියේ දේශපාලන යුග කිහිපයක් පසුකිරීමෙන් පසුය. ඒ හැම යුගයකම පරමාදර්ශී දේශපාලන චරිත මේ රටේ ජනයාට පරමාදර්ශ සැපයූහ. ඒ විශිෂ්ට චරිත ගැන අපි ඊයේ ස්‌වල්ප වශයෙන් සඳහන් කළෙමු. එහෙත් නරකම තත්ත්වය වූයේ ඒ පරමාදර්ශී චරිතවලින් සමහරක දෙවන පරම්පරාව සාර්ථක දේශපාලනඥයන් බවට පත් නොවීම ය. සිදුවිය යුත්තේ ගුරුවරයා නැතත් හොඳ පාඩම් ඒවා ලෝකයට ගැලපෙන තාක්‌කල් පැවැතීමය. ලෙනින් රුසියාව සමාජවාදී රාජ්‍යයක් බවට පත්කරන විට සමාජවාදයේ පීතෘවරයා වූ කාල්මාක්‌ස් ජීවතුන් අතර සිටියේ නැත. පයිතගරස් අද නැතත් ඔහුගේ ගණිත න්‍යායයන් අදටත් පවතී. මාරි කියුරි අද නැතත් ඇය විසින් සොයාගන්නා ලද රේඩියම් අදටත් ලොව පවතී. එමගින් සිදු කෙරෙන පිළිකා නාශක ප්‍රතිකාරය අදටත් එහෙමම ය. එහෙත් මේ රටේ සිදුවූයේ එහි අනෙක් පැත්තය. එන්. එම්. පෙරේරාගේ අභාවයත් සමඟම සමසමාජ පක්‍ෂය දියවී ගිය අතර එස්. ඒ. වික්‍රමසිංහගේ අභාවයත් සමඟම කොමියුනිස්‌ට් පක්‍ෂය දිය වී ගියේය. මේ නිසා ආසියානු පාර්ලිමේන්තුවක තිබිය යුතු මාක්‌ස් ලෙනින්වාදී පාර්ලිමේන්තු සංයුතිය අපට අහිමි විය. අද මේ රටේ පවතින්නේ විවිධ වර්ණවලින් සමන්විත දේශපාලන පක්‍ෂ සමූහයකි. මේ වර්ණ ඉවත් කළ විට සියලුම දේශපාලන පක්‍ෂ ප්‍රතිපත්තිමය වශයෙන් එක සමාන ය. මේ නිසා එක් පක්‍ෂයක මන්ත්‍රීවරයාට ලෙහෙසියෙන්ම තම පක්‍ෂය හැර දමා වෙනත් පක්‍ෂයක අසුන් ගත හැකිය. එසේ වී යෑයි කිසිදු ආකාරයක ප්‍රතිපත්ති ගැටීමක් හටගන්නේ නැත.
වසර 30 කට පසු නිදහස් පාර්ලිමේන්තුවක අසුන් ගැනීමේ වාසනාව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයගත් මන්ත්‍රීවරුන්ට ලැබී තිබේ. මේ අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම එකී මහජන නියෝජිතයන්ගේ යුතුකමය. පසුගිය කාලයේදී මේ පාර්ලිමේන්තුව තුළ සෙලවුණු බෙලිකටු මලුවල මලකඩ හඬ වෙනුවට රිදී සීනු හඬ ඇසේවා! අපගේ පැතුම එයයි ෴
• [Amarasara News
Home]
• Email :
news[at]amarasara.info
• [Amarasara
Home]
.