.
[Amarasara
News Home] . (Sinhala Unicode - Malithi Web Font)
.
රටට වැඩ කරන්න මේ හොඳම කාලයයි - විදුලිබල හා බලශක්ති ඇමැති, ජාතික හෙළ උරුමයේ ප්රතිපත්ති සම්පාදක පාඨලී චම්පික රණවකයෝ
(24-04-2010 - දිනමිණ)
නව රජය අභියස ඇති අභියෝග මොනවාද, සන්ධානය ලැබූ ජයග්රහණය රටේ ඉදිරි යහපත සඳහා යොදා ගත හැකි ආකාරය හා තවත් කාලීන දේශපාලන හා සමාජීය කරුණු රැසක් පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැති , ජාතික හෙළ උරුමයේ ප්රතිපත්ති සම්පාදක පාඨලී චම්පික රණවක මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ !
* එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ විශිෂ්ට ජයග්රහණය ඉදිරියටත් ආරක්ෂා කර ගනිමින් එම ජයග්රහණය රටේ ජයග්රහණය සඳහා මෙහෙයවීමට ආණ්ඩුවට කුමන ආකාරයේ වැඩපිළිවෙළක් ද තිබෙන්නේ?
ජයග්රහණය පිළිබඳ අපට විශාල සතුටක්, ආඩම්බරයක් තිබෙනවා. අවුරුදු තිහක් පුරා රටට, ජනතාවට කොඩිවිණයක් වෙලා තිබුණ යුද්ධය ජයග්රහණය කිරීමට ජනාධිපතිතුමා ලබා දුන්න දේශපාලන නායකත්වයට, කැපකිරීමට කෘතගුණ සැලකීමක් විදිහට තමයි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට මහජනතාව ජය ලබා දුන්නේ. මුළු රටම බහුතර සම්මුතියක් මගින් තම ජනමතය ඉදිරිපත් කරලා තිබෙනවා. රට බෙදීමේ යෝජනා, පෙඩරල් යෝජනා සියල්ල ප්රතික්ෂේප කරලා තිබෙන්නේ.
ඒ සමඟම සන්ධානය රටේ යුද්ධය නිමාකිරීමට එළැඹී සිටි ප්රතිපත්තිය ආදී සියල්ල පිළිබඳවම මහජන සහයෝගය උපරිම ලෙස ලැබී තිබෙනවා. ඔවුන්ගේ සහයෝගය නිසි ලෙස නොලැබී ගියා නම් මේ තරම් විශිෂ්ට හා විශ්මිත වූ ජයග්රහණයක් අපට අත්පත් කර ගැනීමට නොහැකි වෙනවා. දැන් ජනතාවගේ පැත්තෙන් ඉෂ්ට විය යුතු සියලු දේ ඉෂ්ට කර අවසානයි. දැන් එළැඹී තිබෙන්නේ අපේ වාරය. ජනතා සේවයට රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. ඒක තමයි මේ මොහොතේදී රට වෙනුවෙන් අලුත් ආණ්ඩුවට තිබෙන වගකීම විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ.
මේ විජයග්රහණය නිසා අවුරුදු තිහකට කිට්ටු කාලයක් රට තුළ උද්ගත වූ දේශපාලන අස්ථාවරත්වය නැති වී තිබෙනවා. දේශපාලන ස්ථාවරත්වය මනා ලෙස ඇතිවී තිබෙනවා. මෙය රටේ ආර්ථික සමාජීය සංවර්ධනය සඳහා යොදාගැනීමට පුළුවන්කම තිබෙනවා. ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවෙන් ප්රයෝජන ගත යුතුයි. ආර්ථික සංවර්ධනය සිදුකිරීමෙන් අපේ රටට ආසියාව තුළ ඉතාමත් හොඳ තත්ත්වයක් ඇතිකර ගැනීමට පුළුවන්. පසුගිය තිස් අවුරුද්ද තුළ රටේ ආර්ථිකය ගොඩනැගීමට ස්ථාවරත්වය ඇතිකිරීමට පුළුවන්කම ලැබුණේ නැහැ. එම අවස්ථාව දැන් රටට ලැබී තිබෙනවා. අපි එම අවස්ථාවෙන් ප්රයෝජන ලබා ගත යුතුයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට පසුගිය අවුරුදු හතරේදී දහසක් බාධා මැද විශාල සංවර්ධනයක් ආර්ථික නවෝදයක් රට තුළ ඇතිකිරීමට අවස්ථාව ලැබුණා. එදා තිබුණු බාධා සියල්ල අද දුරස් වී තිබෙනවා.මේ නිසා රටට යහපත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම සඳහා අලුත් ආණ්ඩුවට හොඳ ඉඩක් තිබෙනවා.මේ වෙද්දි විපක්ෂය සමඟත් සුහදතාවයකට පැමිණීමට පුළුවන් වීම මේ අලුත් ප්රවේශයට හොඳ මඟ සලකුණක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉදිරි කාලය සුබයි. එම සුබදායී ප්රතිලාභ ලබාගැනීමට ඉදිරියේදී ජනතාව ඒකරාශී විය යුතුයි.
* ව්යවස්ථා සංශෝධනය කිරීම ආදී කරුණු පිළිබඳව මේ වෙද්දි සමාජය තුළ විශේෂ කතිකාවතක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳව ඔබේ මතය කුමක්ද?
අපේ ව්යවස්ථාව පිළිබඳ සමාජය තුළ දීර්ඝ කාලයක සිට විවිධ මතවාද විරෝධතා තිබෙනවා. අද වෙද්දි මේ ව්යවස්ථාව හඳුන්වා දීමට මූලික වූ දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයත් අද ව්යවස්ථාව තුළ සංශෝධනයන් ඇතිකළ යුතු බවට පිළිගෙන තිබෙනවා. ඒ වගේම එ. ජා. ප. ය, ශ්රී. ල. නි. ප, පමණක් නෙමෙයි සියලු පක්ෂත් එකඟතාවයෙන් මෙම සංශෝධනයන් සිදුකිරීමට අවස්ථාවක් උදාකර ගත හැකියි. මේ වෙද්දි රටේම බහුතර මතය වෙලා තිබෙන්නේ කිසියම් සංශෝධනයක් සිදුවිය යුතු බවටයි. මේ මොහොතේදී රටම අලුත් යුගයක් අරඹද්දී රටේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති ව්යවස්ථාව සංශෝධනය කිරීම සිදුවිය යුතුයි. ඉදිරි පාර්ලිමේන්තුවේදී මෙය මූලික කාරණයක් විදිහටයි සලකන්න පුළුවන්.
* ඒත් වර්තමානයේ ක්රියාත්මක මැතිවරණ ක්රමය නිසා සුළු දේශපාලන පක්ෂවලටත්, පාර්ලිමේන්තුව තුළ සාධාරණ නියෝජනයක් ලැබුණා. මෙම ව්යවස්ථා සංශෝධනය නිසා සුළු පක්ෂවලට තිබෙන ඉඩකඩ ඇහිරී යාමක් ඇතිවිය හැකියි...?
මැතිවරණ ක්රමය පිළිබඳව තමයි අද ප්රධාන කතාබහ ඇතිවෙලා තිබෙන්නේ. මෙම සමානුපාතික ඡන්ද ක්රමය තුළ අයහපත් දේ බොහොමයක් තිබෙන අතර යහපත් දේවල් ද තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමෙන් පසු මිශ්ර මැතිවරණ ක්රමයක් තමයි ඇතිවිය යුත්තේ. එවැනි ක්රමයක් මගින් සියලු පාර්ශ්වවලට බහුතර මහජන මතයට ගරු කරන මැතිවරණ ක්රමයක් ඇතිවිය යුතුයි.
* මනාප ක්රමය තුළ තරග කිරීමේදී අධික වියදමක් හා විශාල පරිසර විනාශයක් සිදුවෙනවා. ඒත් ඔබ පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්රික්කයෙන් ලක්ෂයකට අධික මනාප ප්රමාණයක් ලබා ගත්තා. ඔබට මෙවැනි ජයග්රහණයක් ලබාගැනීමට පුළුවන්කම ලැබුණේ කොහොමද?
අපි ජනතාව සමඟ සමීපව ඉන්නවා නම් ජනතා ප්රසාදය පිළිබඳව බය වෙන්න ඕනෑකමක් නැහැ. මැතිවරණ ක්රමය තුළ මුදල් ප්රමුඛ සාධකයක් විදිහටයි තිබෙන්නේ. ඒත් මගේ මැතිවරණ ව්යාපාරය තුළ ප්රචාරක කටයුතු කළේ මුදල් පදනම් කරගෙන නෙමෙයි. පෝස්ටර් ගැසීම වගේ දේවල් නිසා රටේ පරිසරයට විශාල හානියක් සිදුවෙන්නෙ. ඒත් මට පුළුවන්කම ලැබුණා පෝස්ටරයක් නොගසා ශිෂ්ට සම්පන්න පරිසර හිතකාමී මැතිවරණ ව්යාපාරයක් සිදුකිරීමට.ඒ නිසා මුදල් විනාශ නොකර පරිසරයට හානි නොකර මහජන විශ්වාසය පමණක් පදනම් කරගෙන තමයි පසුගිය මැතිවරණයේදී විශාල මනාප ඡන්ද ප්රමාණයක් ලබා ගත්තේ.
* කැබිනට් මණ්ඩලය සීමාකිරීමට ආණ්ඩුව තීරණය කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
පසුගිය ආණ්ඩු කාලයේදී කැබිනට් මණ්ඩලය ඇතුළු ඇමැති මණ්ඩලය විශාල වීමට බලපෑවේ එවකට තිබූ දේශපාලන අස්ථාවරත්වයයි. එය නැතිකර ගැනීමට තමයි විපක්ෂයේ සිට පැමිණි මන්ත්රීවරු ආණ්ඩුවට සම්බන්ධ කර ගත්තේ. ඒ අයට ඇමැතිකම් ලබාදීම සිදුකළ යුතු වුණා. ඒත් මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට 144 ක මන්ත්රී ධූර ප්රමාණයක් ලැබීම නිසා අපිට ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇතිකර ගැනීමට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන්න අවශ්ය නැහැ. රටට හිතවත්... රටට වැඩදායී පිරිසක් සහිත ආණ්ඩුවකින් තමයි මහජනතාව බලාපොරොත්තු වන සේවාවන් ඉෂ්ට කිරීමට පුළුවන්කමක් තිබෙනවා.
* ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර යම් කිසි එකඟතාවයක් ඇතිවීමේ සුබදායී පෙරනිමිති දිස්වෙනවා. මේ එකඟතාවය පිළිබඳව ඔබේ අදහස මොන වගේද?
එකඟතාවයක් පිළිබඳ විපක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර කතාබහ ඇතිවීම ගැන සමාජය තුළ සුබදායී බලාපොරොත්තු ඇති වී තිබෙනවා. එවැනි එකඟතාවයක් ඇතිවී තිබේ නම් එය රටට වැඩදායක නම් එයින් ජනතාවට සෙතක් ඇතිවෙනවා නම් එම එකඟතාවය යහපත් ප්රවේශයක් විදිහට හඳුන්වා ගත හැකියි. ඇත්තෙන්ම මේ මොහොතේදී සිදුවිය යුත්තේ බේද භින්න වී සිටීම නෙමෙයි, රටක් විදිහට එකට සිටගැනීම තමයි සිදුවිය යුත්තේ.
* පසුගිය කාලයේදී දේශපාලන කරළිය තුළ ප්රධාන භූමිකාව වූ ජනතා විමුක්ති පෙරමුණ අද වෙද්දි කුඩා දේශපාලන කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා. එමෙන්ම එජාපයේ මන්ත්රී ධූර ප්රමාණයත් විශාල ලෙස අඩුවෙලා තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව ඔබේ විග්රහය කුමක්ද?
ඔවුන්ට මේ ඉරණමට ගොදුරු වීමට සිදුවුණේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, මහජන මතයට පිටුපා කටයුතු කිරීමයි. ත්රස්තවාදය පරාජය කිරීමේ සටනේදී ජනතාව රටට හිතවත්ව කටයුතු කරන දේශප්රේමී පාර්ශ්ව සමඟ එකතු වුණා. එහෙත් විපක්ෂය එදා ඔවුන්ගේ කාර්ය භාරය තේරුම් අරගෙන කටයුතු කළේ නැහැ. මේ අවස්ථාවේදී මහජන මතය තේරුම් අරගෙන විපක්ෂය කටයුතු කළා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. එමෙන්ම එදා එජාපයත්, ජවිපෙත් ඔවුන්ගේ ජාතික වගකීම තේරුම් ගත්තේ නැහැ. අද විපක්ෂය මේ තරම් පහළ අඩියකට වැටුණේ ඒ නිසයි. ජනතාවගේ අරමුණු තේරුම් නොගැනීම නිසා තමයි මේ සියලු දේ ඔවුන්ට වුණේ. දැන්වත් විපක්ෂයට පුළුවන්කම තිබෙන්න ඕනෑ ජනමතය තේරුම් අරගෙන කටයුතු කරමින් දේශප්රේමී විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට.
* පසුගිය ආණ්ඩු කාලය තුළ ඔබ දැරුවේ පරිසර අමාත්යාංශයයි. එම කාලය තුළ ඔබේ අමාත්යාංශය මගින් ඉටු වූ සේවය පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
අනිවාර්යයෙන් ම මම දැරූ වගකීම් නිසි ලෙස ඉෂ්ට කිරීමට පුළුවන් වීම පිළිබඳ මා සතුටට පත් වෙනවා. පරිසර අමාත්යාංශය කාගේත් අවධානය යොමු නොවූ අමාත්යාංශයක් විදිහටයි තිබුණේ. භාණ්ඩාගාරයට බරක් වූ අමාත්යාංශයක් විදිහටයි තිබුණේ. ඒත් මට අමාත්යාංශයේ වගකීම් භාරවීමත් සමඟ එම තත්ත්වය වෙනස් කිරීමට පුළුවන්කම ලැබුණා. ඉදිරියටත් මා වෙත ජනාධිපතිතුමා පවරන ඕනෑම වගකීමක් ඉතාමත් ඉහළින් ඉෂ්ට කිරීමට බලාපොරොත්තු වෙනවා.
* ජාතික හෙළ උරුමය දේශපාලන පක්ෂයක් විදිහට අවුරුදු දහයක සිට ක්රියාත්මක වෙනවා. ඔබේ පක්ෂය රට වෙනුවෙන් ඉෂ්ට කළ කාර්ය භාරය පිළිබඳව සෑහීමකට පත්විය හැකිද?
යුද්ධය යුදමය වශයෙන් පරාජය කළ හැකියි කියන වචනය තහනම් වචනයක් වෙලා තිබුණ කාලයක තමයි හෙළ උරුමය ඒක එහෙම නෙමෙයි, යුද්ධය ත්රස්තවාදය යුදමය විදිහට පරාජය කළ හැකියි කියන මතය රට තුළ අරගෙන ගියේ. අද වෙද්දි අපි දැරූ මතය ජය අරගෙන තිබෙනවා. යුද්ධය ත්රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරලා සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය ඇතිවූ අලුත් සමාජයක්, අලුත් රටක් බිහිකිරීමට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ත්රස්තවාදය පරාජය කළ හැකියි කියන මතය සමාජගත කළ දේශපාලන පක්ෂය විදිහට අප මේ ගැන අවංකවම සතුටට පත්වෙනවා.
(උදිත ගුණවර්ධනයන් විසින් සාකච්ඡාව මෙහෙයැ විනැ)
• [Amarasara News
Home]
• Email :
news[at]amarasara.info
• [Amarasara
Home]
.