.

26.04.2010 - 02 (04:45 SLT)


26.04.2010 - 02 (04:45 SLT)

By Amarasara - Sunday, April 25, 2010

. [Amarasara News Home] . (Sinhala Unicode - Malithi Web Font) .

අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් ගෙනෙනවා - අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනයෝ
(24-04-2010 - දිනමිණ)

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ ඉදිරි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවත්, රටක් වශයෙන් අප ජයගත යුතු අභියෝග පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

පසුගිය පාර්ලිමේන්තුවේ ඔබ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස රටේ වැඩි කතාබහට ලක්වුණ විෂය පථයක වගකීම් දැරුවා. මෙවර ඔබට පැවරුණේ විවිධ විචාර විවේචනවලට ලක්වූ අධ්‍යාපන ක්ෂේත්‍රය යි. රටේ අනාගතය සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් අලුත් වගකීම් දෙස ඔබ මොන විදියට ද බලන්නෙ?

 
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනයෝ

අභියෝගවලට ආදරය කරන අමාත්‍යවරයෙක් හැටියට වෙළෙඳ අමාත්‍ය ධුරයේ ජනාධිපතිතුමා පවරපු වගකීම මම ඉෂ්ට කළා. ත්‍රස්තවාදයේ අභියෝගය උච්ඡම අවස්ථාවට පත්ව තිබූ සහ ලෝක ආර්ථික අර්බුදය, ආහාර අර්බුදය, බලශක්ති අර්බුදය වැනි ගෝලීය අර්බුද එකවර දැවෙමින් තිබූ වකවානුවකයි අප ඒ වගකීම් දැරුවේ.

එම දරුණු ගෝලීය අර්බුද අපේ දූපතේ අර්බුද ලෙස සමහරු දැකීම නිසා විවිධ අවලාද, අපහාස, උපහාසවලට මුහුණදීමට සිදුවුණත් අපි අපිට පුළුවන් උපරිමයෙන් ජනතාව දැනුවත් කරමින් ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබා දුන්නා. පසුගිය අවුරුදු සමය වනවිට ඉතාම සහනශීලී වෙළෙඳපොළ ක්‍රමයක් නිර්මාණය කරගැනීමට අපට හැකිවුණා.

පළමුව අපි ජනාධිපතිතුමාව රැක්කා, ආණ්ඩුව රැක්කා, ඒ නිසා රට රැකුණා. දැන් අප ඒ අසීරු යුගය පසුකර අවසන්. නව වෙළෙඳ අමාත්‍ය අප මිත්‍ර ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමාටත්, නියොමාල් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමාටත් පසුගිය කාලයේ අප යළි පණගැන්වූ ලක් සතොස වැනි ආයතන වඩා කාර්යක්ෂමව ඉදිරියට ගෙනයමින් ඵලදායී මෙහෙවරක් ඉටුකළ හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ වගේම ඉතාමත් දරුණු ලෙස විවේචනයට හා විචාරයට ලක්වූ ක්ෂේත්‍රයක් වුණේ අධ්‍යාපනය. එය හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මැතිතුමාගේ වරදක් හෝ දුර්වලතාවක් ලෙස මම දකින්නේ නෑ.

ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙලා දශක ගණනාවක් ගතවන විට එකී ක්‍රමය විසින් නිර්මාණය කළ අර්බුද රාශියක් හා දුෂ්කරතා ගණනාවක් මතුවී තිබෙනවා.

ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ පැත්තෙන් ප්‍රශ්න රාශියක් ඇතිවෙලා. මවුපියන් මෙන් ම ශිෂ්‍ය ප්‍රජාවටත් ප්‍රශ්න තියෙනවා. මේ සෑම පාර්ශවයකම ප්‍රශ්න සියල්ල කෙටිකාලීන හෝ එක් පුද්ගලයකුගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් නෙවෙයි.

මේවා දීර්ඝ කාලයක් තුළ සමස්ත ක්‍රමය විසින්ම ඇතිවී ඇති සමුච්චිත තත්ත්වයක්. ඒ නිසා මේවාට විසඳුම් සෙවිය යුත්තේත් එකිනෙකා දෙසට ඇඟිල්ල දිගු කරගැනීමෙන් නොව වඩා හොඳ විද්‍යාත්මක පදනමක් යටතේ ගැඹුරින් සමාජ සංවාදයකට ලක්කර මහජනතාවගේ අදහස් - උදහස් හා බුද්ධිමතුන් හා විද්වතුන් කියන සෑම පාර්ශවයකම අදහස් ද සැළකිල්ලට ගැනීමෙනුයි. ඒ ඔස්සේ ප්‍රතිපත්තිමය විසැඳුම් මාර්ගයකට එළැඹිය යුතුයි කියල මම විශ්වාස කරනවා.

මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව පංච බල කේන්ද්‍රීය සංකල්ප යටතේ දැනුම එක් කේන්ද්‍රයක් ලෙස දක්වමින් දැනුම් සමාජයක් පිළිබඳ අදහස ඉස්මතු කෙරෙනවා...?

මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ජාතිය ගොඩනැඟීම සඳහා උපයෝගී කරගන්නා වැඩපිළිවෙළට අදාළව පංච බල කේන්ද්‍රීය සංවර්ධන මාවතක් පිළිබඳ ඉදිරිපත් කෙරෙනවා.

එහි එක් කොටසක් දැනුම කේන්ද්‍රීය සංවර්ධනය යි. ඒ කියන්නේ මේ රටේ අනාගතය ලක්ෂ 40කට අධික දූ-දරු පිරිසකගේ අනාගතය පිළිබඳ වගකීම ජනාධිපතිතුමා විසින් මා වෙත පවරා දී ඇත්තේ මේ කාර්යය නිසි ලෙස කරයි කියන උපරිම විශ්වාසයෙන් යුතුවයි.

ඒ උපරිම විශ්වාසය කඩනොකොට මට කළ හැකි උපරිම සේවය කිරීම සඳහා කැපවී වැඩකරන්න සූදානම්. එහිදී මට වැටහෙන ආකාරයට ජනාධිපතිතුමා විසින් 1930 ගණන්වල ඉදිරිපත්වුණු නිදහස් අධ්‍යාපන පනත නිදහස් අධ්‍යාපනය වඩා සුරක්ෂිත කොට පෝෂණය කිරීමට හැකිවන පරිදි එම පනතේ අවශ්‍ය වෙනස්කම් ඇතිකිරීමට විද්වත් කමිටුවක් පත්කර වාර්තා ලබාගෙන තිබෙනවා. එය තවදුරටත් පුළුල් සංවාදයකට ලක් කිරීම සඳහා උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට විශාල වගකීමක් තියෙනවා.

ඒ වගකීම ඉටුකළ හැකිවන පරිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර, ඊට අධ්‍යාපනඥයන්, විද්වතුන්, බුද්ධිමතුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, වෘත්තීය සමිති සංවිධාන, ආගමික නායකයන්, ආදි ශිෂ්‍ය සංගම්, ගුරු - දෙගුරු සංගම් යනාදීන්ගේ යෝජනා විමසා සිටිනවා. අනාගත පරම්පරාව වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි එම යහපත් යෝජනාවලට කන්දී, දේශපාලන පක්ෂ – පාට භේදයකින් තොරව

තේරීම් කාරක සභාව හරහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කර ගැනීමට කටයුතු කරනවා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ඊට අවශ්‍ය යම් නීතිමය රාමුවක් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ලෙස ඉදිරිපත් කරන්න අදහස් කරනවා.

එම පනතට අනුව අධ්‍යාපනය මෙහෙයවීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයා හැටියට මම භාර ගත්තොත් මට එය පළාත් සභා අමාත්‍යවරුන්ගේත් සහාය ලබාගෙන අතුරු ප්‍රශ්න පැන නොනඟින පරිදි වඩා ඵලදායී ලෙස මෙහෙයවීමට හැකිවේ යැයි මම සිතනවා.

නමුත්, බොහෝවිට අපි දකිනවා මේ රටේ වෙනස්කම් ඇති කරන්න ගියාම උද්ඝෝෂණ, විරෝධතා මතුවෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ඔබට ඇති දැක්මත් සමඟ ඔය ආකාරයෙන් ක්‍රියාත්මක වීමේදී සමහරු කියන්න පුළුවන් ඔය හදන්නෙ නිදහස් අධ්‍යාපනය අවසන් කරන්න කියල. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඔය සටන් පාඨ දේශපාලනයට ශ්‍රී ලංකාවේ තවදුරටත් කළ හැකි කාර්යභාරයක් තියෙනවා කියල මම විශ්වාස කරන්නෙ නෑ. මොකද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මවුපියන් පිරිසක් අද යථාර්ථය තේරුම්ගෙන සිටිනවා.

අපට බුද්ධිමත් ජනතාවක් සිටිනවා. ඒ වගේම ජනාධිපතිතුමා කිසිදිනෙක නිදහස් අධ්‍යාපනය විනාශ වීමට ඉඩ නොතබන නායකයෙක් බව රටේ සමස්ත ජනතාව දේශපාලන භේදයෙන් තොරව පිළිගන්නවා.

අපි නිදහස් අධ්‍යාපනයේ ඵලයක් ලෙස මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල හරහා රුපියල් එකසිය අසූවේ බැංකු ණයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා මෙතැනට පැමිණි අය. එනිසා අපි නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට දායක නොවන බව මේ රටේ මවුපියෝ දන්නවා.

ඒ වගේ ම ඔබ සඳහන් කළ ආකාරයේ විරෝධතා මතුවෙන්නෙ වෙනස්කම්වලට පෙර පුළුල් සංවාදයක් රට තුළ ඇති නොවුණොත්. ඒ නිසා තමයි මම මුලින් සඳහන් කළේ කිසිම භේදයකින් තොරව ශ්‍රී ලංකවේ සෑම දේශපාලන පක්ෂයක් ම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සහභාගිත්වයෙන් තේරීම් කාරක සභාවක් ඇති කරනවා කියලා.

ඒ ඔස්සේ යම් එකඟතාවකට එන්න පුළුවන්. එහෙම වුණාම ඒ එකඟතාව මත බහුතර විද්වතුන්ගේ කැමැත්ත ද ඇතිවන රට පිළිගන්න අධ්‍යාපන ප්‍රතිපත්තියකට අපි යොමුවෙනවා. එවිට ඔය විදියේ විරෝධතා ඇති වෙයි කියලා මම සිතත්නෙ නෑ.

යුද්ධය අවසන් කළ පසුබිමක ස්ථාවර හා ශක්තිමත් ආණ්ඩුවක් ද ජනතාව නිර්මාණය කර දී තිබෙනවා. රට ගොඩනැඟීම සඳහා දැන් ලැබී තිබෙන්නේ ඉතිහාසයේ නොවූ විරූ ස්වර්ණමය අවස්ථාවක්. මේ අවස්ථාව කිසි ලෙසකින් හෝ පැහැර හැරියොත් එය විශාල අපරාධයක්. අලුත් අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තුව මේ වගකීම මොන විදියට ද තේරුම් ගන්නෙ?

අලුත් ඇමැති මණ්ඩලයේ වගකීම් පවරන අවස්ථාවේ ජනාධිපතිතුමා ඉතාම පැහැදිලි ව සඳහන් කළා, මේ වගකීම් භාර දෙනවා වගේ ම අමාත්‍යවරු ඒ වගකීම් ඉෂ්ට කරන ආකාරය පිළිබඳ පසු විපරම් කරන බව.

ඒ අනුව වගකීම් නිසි ලෙස ඉටු කළ නොහැකි අමාත්‍යධූර අවශ්‍යයෙන් ම එතුමා වෙනස් කරන බවත් දැනුම් දුන්නා. මොකද, ඇමැතිවරුන් හෝ පුද්ගලයන් පිනවීම නෙවෙයි ජනාධිපතිතුමාට තියෙන වගකීම. සමස්ත රට පිනවීම තමයි එතුමාට පැවරී තියෙන්නෙ.

එය කළ හැක්කේ උදා වී ඇති ස්වර්ණමය අවස්ථාවේ අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා වැඩ කිරීමෙන්. ඒ නිසා එතුමා කිසිම බලවේගයකට, පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට යටත් නොවී අවශ්‍ය තීරණ ගනීවි.

මට මේ වැඩේ කරන්න බැරිවුණොත් මාව මේ අමාත්‍යාංශයෙන් ඉවත් කරයි. මා එය දැන සිටිය යුතුයි, එය පිළිගැනීමට සුදානමින් සිටිය යුතුයි.

මට මෙය කරන්න බැරිනම් කළ හැකි වෙනත් අයකුට භාරදීම තමයි මගෙත් යුතුකම.

මේ වන විට ත්‍රස්තවාදයේ අභියෝගය, ස්ථාවර ආණ්ඩුවක් පිළිබඳ අභියෝගය ආදී බලවත් අභියෝග ආණ්ඩුව ජයගෙන අවසානයි. මේ ආණ්ඩුව වහා ජයගත යුතු ප්‍රමුඛතා හෝ ඉදිරි අභියෝග ලෙස ඔබ හඳුනාගන්නේ මොනවාද?

අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි සංවර්ධනය පිළිබඳ අභියෝගය. රැකියාවල් ඇති කිරීම, බඩගින්න – මන්දපෝෂණය නැති කිරීම, වඩා හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් ලබා දී ජනතාවගේ එම ගුණාත්මක අගයන් වැඩිකර මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම. එය වචනවලින් කියනවාට වඩා විශාල අභියෝගයක්.

මේ සංවර්ධන අභියෝගය ජය ගැනීමට නොහැකි වූ ප්‍රධාන බාධකය කුරිරු ත්‍රස්තවාදය යි. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරදවා ඒ අභියෝගය ජයගත් පසු සිංහල - දෙමළ - මුස්ලිම් – බර්ගර් – මැලේ සියලු ජනතාවට කැමැති තැනෙක ජීවත් විය හැකි හා ජීවනෝපාය සලසාගත හැකි අලුත් ශ්‍රී ලංකාවක් ගොඩැනැඟීම තමයි හෙට දවසේ ප්‍රධාන අභියෝගය.

එය ජය ගැනීම සඳහා නිවැරැදි නායකත්වයක්, කැපවීමක්, පළපුරුද්දක්, දැනුමත්, නිර්භීතභාවයත්, ජනාධිපතිතුමා ළඟ තියෙනවා. ඔහුට සහාය දෙමින් වැඩ කරන එක ඇමැතිවරුන් ගේ පමණක් නොවෙයි රටේ සමස්ත ජනතාවගේ යුතුකම. ඒ සදහා අපි කවුරුත් වැඩි වැඩියෙන් වැඩ කළ යුතුයි.

වරක් සිංගප්පූරුවේ මුදල් අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් කළා. ශිෂ්‍යයන් පාසල තුළත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සරසවි තුළත්, ගොවීන් ගොවිබිම් තුළත්, කම්කරුවන් කම්හලතුළත්, වැඩි වැඩියෙන් වැඩ කිරීම තුළින් පමණක් මේ රටට සෞභාග්‍ය උදාකරගත හැකියි කියලා.

පුද්ගලයෙක් වුණත්, පවුල වුණත්, වෙනත් සංවිධානයක් වුණත්, රටක් වුණත් දියුණුව කරා ගෙනයාහැක්කේ කතා පැවැත්වීමෙන් නොව වැඩකිරීමෙනුයි.

වැඩි වැඩියෙන් වැඩ කිරීමෙන් ඕනෑම අභියෝගයක් ජය ගැනීමට පුළුවන්. ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ඔප්පු කර ඇති සත්‍යයත් එයයි.

ලෝකයේ තිබුණු දරුණුම හා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයට එරෙහි ව දිවිහිමියෙන්, කැපවීමෙන් වැඩ කරලා ජයග්‍රහණය ලබන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ නිසා රටේ ජනතාව වෛරී දේශපාලනයෙන් මිදිලා, ඔබ සඳහන් කළ පරිදි මේ ස්වර්ණමය අවසථාව පාවිච්චි කරල, සියලු දෙනාම පටු දේශපාලන න්‍යයාපත්‍රවලට කොටු නොවී වැඩි වැඩියෙන් වැඩ කළොත් ඒකෙ ප්‍රතිඵලය රටටත්, ජනතාවටත්, අනාගත පරම්පරාවලටත් ලැබේවි කියලා විශ්වාස කරනවා.

(ධම්මික සෙනෙවිරත්නයන් විසින් සාකච්ඡාව මෙහෙයැ විනැ)

[Amarasara News Home]
• Email : news[at]amarasara.info
[Amarasara Home]
.




Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010