.
[Amarasara
News Home] . (Sinhala Unicode - Malithi Web Font)
.
• සංස්‌ථා සභාපතිවරු පත්කිරීමට කමිටුවක් : සමහරු කැපෙති - සමහරු රැඳෙති
• ජෙනරාල් පෙරේදා පැය 7 ක් පාර්ලිමේන්තු සංකීර්ණයේ - නව මන්ත්‍රී කණ්‌ඩායම සමග සාකච්ඡා කරලා
• ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම ස්‌ථීරයි
• බෑන් කී මූන් කොටින්ගේ ලිපිය කුණු කූඩයට යවයි
• පාසල් අවට මත්ද්‍රව්‍ය විකුණූ තිස්‌නව දෙනකු අත්අඩංගුවට
• පිටකොටුවේ අනවසර පදික වෙළෙඳසල් කඩා ඉවත් කෙරේ
• පිරිමින් වසඟයට ගෙන රන් බඩු මුදල් පැහැරගත් ගණිකාවෝ 20 ක් කොටුවෙති
(29-04-2010 - දිවයින)
සංස්‌ථා සභාපතිවරු පත්කිරීමට කමිටුවක් : සමහරු කැපෙති - සමහරු රැඳෙති
(29-04-2010 - දිවයින)
රාජ්‍ය සංස්‌ථා හා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල සඳහා නව සභාපතිවරුන් තෝරා පත් කිරීම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විශේෂ කමිටුවක් මගින් සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
අලුතින් මෙම ආයතනවලට සභාපතිවරුන් පත්කිරීමේදී අධ්‍යාපන සුදුසුකම්, විෂයත් සම්බන්ධයෙන් ඇති නිපුණතා, පළපුරුද්ද හා දක්‍ෂතා යන කරුණු සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දක්‌වන බව ද වාර්තා වේ.
රාජ්‍ය සංස්‌ථා හා මණ්‌ඩල බොහෝමයක සභාපතිවරුන්ගේ වෙනසක් සිදුවන අතර ඇතැම් ආයතන සඳහා අලුතින්ම පත් කිරීමට නියමිත බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙසේ තෝරා ගන්නා නිලධාරීන් සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඉදිරි දින කීපයේදී පත්වීම් ලබා දීමට නියමිතය ෴
***************************************
ජෙනරාල් පෙරේදා පැය 7 ක් පාර්ලිමේන්තු සංකීර්ණයේ - නව මන්ත්‍රී කණ්‌ඩායම සමග සාකච්ඡා කරලා
(29-04-2010 - දිවයින)
යුද හමුදා රැඳවුම් භාරයේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (27-04-2010) පාර්ලිමේන්තුවට පැමිණ පැය හතකට ආසන්න කාලයක් සිය මන්ත්‍රී කණ්‌ඩායම සමග සාකච්ඡා කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම ඉදිරියේදී මැති සබයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදන්ව දින සියයක් ඉක්‌ම ගොස් ඇති බැවින් ඒ පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටීමටද, මෙම 04 වැනිදා හදිසි නීති විවාදයේදී පක්‍ෂය පළමු කතාව ෆොන්සේකා මහතාට ලබා දීමට සහ හදිසි නීති යෝජනාවට විරුද්ධ වීමට ද මෙම මන්ත්‍රී කණ්‌ඩායම රැස්‌වීමේදී එකඟවී තිබේ.
රජය විසින් ගෙන එන රටට හිතකර යෝජනා සහ පනත්වලට සහාය දීමටත්, රටට අහිතකර වැඩසටහන්වලට විරුද්ධ වීමටත්, අත්‍යවශ්‍ය කරුණුවලදී එක්‌සත් ජාතික පක්‍ෂය සමග එක්‌ව කටයුතු කිරීමට සහ අනෙක් සෑම අවස්‌ථාවකදීම වෙන්ම කටයුතු කිරීමටත් මෙහිදී සරත් ෆොන්සේකා මහතා ඇතුළු මන්ත්‍රීවරු තීරණය කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තවදුරටත් පුළුල් කිරීම සඳහා විපක්‍ෂයේ සෙසු දේශපාලන පක්‍ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමටද කිසිදු පක්‍ෂයකට හෝ පුද්ගලයෙකුට යටත් නොවී විපක්‍ෂයේ ශක්‌තිමත් ස්‌වාධීන පක්‍ෂයක් ලෙස කටයුතු කිරීමටද මෙහිදී එකඟවී ඇත.
තවදුරටත් රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්නේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බවට වැරැදි ප්‍රවෘත්තියක් එක්‌තරා පුවත්පතක පළවී ඇති බව මෙහිදී සරත් ෆොන්සේකා මහතා සිය මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබේ.
දීර්ඝ වේලාවක් පැවැති පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම අවසන් වූ පසු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති හැන්සාඩ් අංශය, පර්යේෂණ අංශය, පුස්‌තකාලය ඇතුළු විවිධ අංශ වෙත ගොස් එහි කටයුතු පිළිබඳ අධ්‍යයනය කර ඇත. ඉන්පසුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ලබාදී ඇති පක්‍ෂ කාර්යාලයටද ගොස් මඳ වේලාවක් එහි ගත කළ ෆොන්සේකා මහතා යළි පුස්‌තකාලයට ගොස් එහි ඇති දේශපාලනය පිළිබඳ පොත්පත් පරිශීලනය කර ඇත.
හැත්තෑව, හැත්ත හත යුගයේදී බහුතර බලයක් තිබූ සමගි පෙරමුණේ ආණ්‌ඩුවේ විපක්‍ෂ නායකයා ලෙස ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ භූමිකාව පිළිබඳ රචනා කර තිබූ පොතක් පුස්‌තකාලයෙන් ඉල්ලා ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එය කියෑවීම සඳහා තමා රඳවා සිටින නාවික හමුදා මූලස්‌ථානය වෙත රැගෙන ගොස් ඇත ෴
****************************************
ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම ස්‌ථීරයි
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(29-04-2010 - දිවයින)
තමිල්නාඩු කොටි හිතවාදින්ගේ තර්ජන නොතකා ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ස්‌ථීර වශයෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ සහ සංචාරක ප්‍රවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්‌ඩායමක් (27 දා) දහවල් ඉන්දීය මහකොමසාරිස් අශෝක කාන්ත මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ගැන වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා රජයේ නියෝජිත කණ්‌ඩායමක් ඉදිරි දිනවලදී මුම්බායි බලා යනබව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.
මෙම චිත්‍රපට උළෙලට යන නළු නිළියන්ගේ නිවෙස්‌වලට පහර දෙන බවටත් ගිනි තියන බවටත් තමිල්නාඩු කොටි හිතවාදීන් විසින් තර්ජනයකර ඇත.
මෙ අතර ශ්‍රී ලංකාවට නොයන ලෙස ඉල්ලමින් තමා වෙත ද්‍රවිඩ කණ්‌ඩායමක් පෙත්සමක් බාරදුන් බවත් මෙම චිත්‍රපට උළෙල පැවැත්වීම ගැන තීරණය කළේ ජය ත්‍රාටඩ් සමාගම බවත් අමිතාබ් බච්චන් විසින් පවසා තිබේ.
මෙම චිත්‍රපට උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව රටවල් ගණනක් සමග තරග කර ජයගෙන තිබේ.
මේ අතර ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම නතර කිරීම සඳහා කැනඩා ද්‍රවිඩ කොංග්‍රසය විසින් තමිල්නාඩු කොටි හිතවාදී කණ්‌ඩායමට ඩොලර් විසිලක්‍ෂයක කොන්ත්‍රාත් මුදලක් ලබාදී ඇත.
මේ බව කැනඩාවේ ස්‌කැබරෝහි කොටි විරෝධී සංවිධානය විසින් හෙළිකර තිබේ.
මෙම ඩොලර් දස ලක්‍ෂයේ කොන්ත්‍රාත්තුව පවරා ඇත්තේ තමිල්නාඩු දේශපාලකයකු වූ නොල් තිරුමාවලන්ට යෑයි තවදුරටත් අනාවරණය වී තිබේ ෴
*************************************
බෑන් කී මූන් කොටින්ගේ ලිපිය කුණු කූඩයට යවයි
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(29-04-2010 - දිවයින)
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලය පත් කිරීම කඩිනම් කරන්නැයි ඉල්ලමින් ඇමරිකානු කොටි ජාලය විසින් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට යෑවූ විද්යුත් ලිපිය ඒ මහතා විසින් කුණු කූඩයට යවා ඇත. මේ බව ඇමරිකානු ඉනර්සිටි ප්‍රෙස් නමැති එන්ජීඕ මාධ්‍ය ආයතනය විසින් හෙළිකර තිබේ.
මේ සම්බන්ධයෙන් මහ ලේකම්වරයා කෝපයට පත්වී තිබේ. මේ අතර එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ පරිගණක යන්ත්‍රයේ ඇති තොරතුරු වෙනත් ආයතනයකට ලැබීම ගැනද මහ ලේකම් විසින් අවධානයට යොමුකර ඇත ෴
************************************
පාසල් අවට මත්ද්‍රව්‍ය විකුණූ තිස්‌නව දෙනකු අත්අඩංගුවට
(29-04-2010 - දිවයින)
කෙසෙල්වත්ත, වැල්ලවත්ත, ග්‍රෑන්ඩ්පාස්, කහතුඩුව, මාලිගාවත්ත, මොරටුව යන ප්‍රදේශවල පාසල් අවට මත්ද්‍රව්‍ය හා මත්පැන් අලෙවි කිරීමේ ස්‌ථාන රැසක් වටලා පුද්ගලයන් තිස්‌නව දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන පොලිස් මධ්‍යම දූෂණ මර්දන ඒකකය පෙරේදා සමත් විය.
ඒ අතර කාන්තාවන් සිව් දෙනකුද වන බව එම ඒකකය කියයි.
එම ඒකකයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බුද්ධික බාලසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් යොදවා මෙම වැටලීම සිදුකර ඇත ෴
+++++++++++++++++++++++++++++++
බාබුල් කිලෝ 24 ක් අත්අඩංගුවට
(29-04-2010 - දිවයින)
කොළඹ ප්‍රදේශයට බාබුල් පැකට් කරන ස්‌ථානයක් වටලා බාබුල් කිලෝ 24 ක් පැකට් කිරීමට ගන්නා උපකරණ හා එක් පුද්ගලයකු පෙරේදා (27 වැනිදා) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය පවසයි.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළෙඳසලක බිම් මහලක මේවා පැකට් කිරීම සිදුකොට ඇති අතර පාසල් සිසුන් ඉලක්‌ක කොටගෙන මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇතැයි එම ඒකකය වැඩිදුරටත් පැවැසීය.
මෙම වැටලීම් සඳහා උප පොලිස් පරීක්‍ෂකවරුන් 4 ක් ඇතුළුව නිලධාරීන් 45 ක් සහභාගි වී ඇත.
එම ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති සිසිර මෙන්ඩිස් අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ඩී. එස්. කරුණානායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා ප්‍රමුඛ කණ්‌ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති ෴
************************************
පිටකොටුවේ අනවසර පදික වෙළෙඳසල් කඩා ඉවත් කෙරේ
(29-04-2010 - දිවයින)
පිටකොටුව පදික වේදිකාවේ ඉදිකර තිබූ අනවසර පදික වෙළෙඳසල් කඩා ඉවත් කිරීමට ඊයේ (28 වැනිදා) අලුයම පොලිසිය පියවර ගෙන ඇත.
ඒ අනුව ඕල්කට් මාවතේ මල්වත්ත හන්දියේ සිට පිටකොටුව බෝධිය දක්‌වා සීමාව තුළ තිබූ සියලු අනවසර වෙළෙඳසල් පොලිසිය විසින් ඉවත්කර තිබේ.
පොලිස් ආඥ පනතේ මහජන අවහිරතා පිටු දැකීම් නීතිය යටතේ අදාළ අනවසර වෙළෙඳසල් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළ බව "දිවයින" කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවැසීය.
මෙම අනවසර පදික වෙළෙඳාම නිසා පදිකයන් විඳින ගැහැට පිළිබඳ පැමිණිලි බොහෝමයක් ලැබී ඇති බවත් අනවසර පදික වෙළෙඳාම හේතුවෙන් පසුගිය දෙවසරක කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 16 දෙනකු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම අනවසර වෙළෙඳසල් පදික වේදිකාවේ පැවතීම නිසා බොහෝ අයථා සිදුවීම් සිදුවන බවත් එම අයථා කටයුතු පාලනය කිරීමට අනවසර පදික වෙළෙඳාම බාධාවක් වී ඇති බවත් පැවැසූ ප්‍රිශාන්ත ජයකොඩි මහතා මහජන සුබ සිද්ධිය උදෙසා අදාළ ඉවත් කිරීම් පොලිසිය විසින් සිදුකළ බව පැවැසීය.
මේ පිළිබඳ අදහස් දැක්‌වූ ඕල්කට් මාවතේ පදික වෙළෙඳ මහතකු පැවැසුවේ පූර්ව ලිඛිත දැනුම් දීමකින් තොරව තම පදික වෙළෙඳසල් ඊයේ (28 දා) අලුයම ඉවත් කර ඇති බවත් එම වෙළෙඳසල් තුළ තිබූ තම අලෙවි භාණ්‌ඩවලට කුමක් සිදුවූයේද යන්න තමන් නොදන්නා බවත්ය.
පොලිසියේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් තමන්ගේ දරු පවුල් අනාථ වන බවත් රජය මීට මැදිහත් වී සාධාරණ විසඳුමක් ලබා දිය යුතු බවත් හෙතෙම පැවැසීය.
බස්‌නාහිර පළාතේ ආණ්‌ඩුකාර අලෙවි මව්ලානා මහතාගෙන් මේ පිළිබඳව "දිවයින" කළ විමසුමකදී හෙතෙම පැවැසූවේ මෙම ඉවත් කිරීම පිළිබඳව කිසිදු පාර්ශ්වයක් තමන්ව දැනුවත් කර නොමැති බවත් පදික වෙළෙඳුන්ට යම් අසාධාරණයක් වී තිබේනම් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර විසඳුමක් ලබාදීමට තමන් කටයුතු කරන බවත්ය.
ඉවත් කිරීම පිළිබඳව කොළඹ නගර සභාවද දැනුවත් කර නොමැති බව "දිවයින"ට වාර්තා වේ ෴
**************************************
පිරිමින් වසඟයට ගෙන රන් බඩු මුදල් පැහැරගත් ගණිකාවෝ 20 ක් කොටුවෙති
(29-04-2010 - දිවයින)
ජනයා ගැවසෙන ස්‌ථානවල රැඳී සිට සිත් ගන්නා සුළු බැල්මෙන් පිරිමින් වසඟයට ගෙන ඉඟ ඉහ අත ගා පලායන ගණිකාවන් විසි දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය පවසයි.
උසස් රැකියා කරන අයුරින් හැඳ පැළැඳ කිරිබත්ගොඩ, දෙහිවල, මිරිහාන හා පිටකොටුව ආදී නගරවල සැරිසැරූ මෙම සුරූපී ලඳුන් උපාය දූතයන් යොදවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පිරිමින් වසඟයට ගෙන හෝටලයකට හෝ පාලු ස්‌ථානයකට රැගෙන ගොස් ඔවුන් සමග අනාචාරයේ හැසිරී මුදල් හා රන් ආභරණ කොල්ලකා පලායන බවට පරීක්‍ෂණ වලදී හෙළිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් මොරටුව, මුදුන්ගොඩ, කොළඹ 15, පස්‌යාල, බොරැලැස්‌ගමුව, පන්නිපිටිය, බණ්‌ඩාරවෙල, සාලියපුර, යටියන්තොට, තුම්මෝදර හා බඩල්කුඹුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 ත් 56 අතර පසු වන්නන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ පොලිස් ස්‌ථානවලට භාර දුන් බව පොලිසිය කියයි.
නියෝජ්‍ය පොලිස්‌පති සිසිර මෙන්ඩිස්, පොලිස් අධිකාරි ඩී. එස්. කරුණානායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ජනක කුමාර හා රාජිත වර්නප්‍රිය යන මහත්වරු ඇතුළු නිලධාරි කණ්‌ඩායමක් මෙම වැටලීම සිදුකළහ ෴
• [Amarasara News
Home]
• Email :
news[at]amarasara.info
• [Amarasara
Home]
.