.
[Amarasara
News Home] . (Sinhala Unicode - Malithi Web Font)
.
• ආරක්ෂක ලේකම්ගේ උපදෙස් සැණෙකින් ක්‍රියාත්මකයි - අපරාධ මඬින මෙහෙයුමට පොලීසිය සූදානම්!
• මැයි 1 වැනිදා වැටුප් සහිත නිවාඩු දිනයක් කරන්න - කම්කරු ඇමැති පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් ඉල්ලයි
• බළංගොඩ බස්-ලොරි ගැටුමෙන් 04 ක් මරුට 20 කට තුවාල
• ගිගුරුම් වැසි සමඟ අකුණු අවදානමක්
• භූතාන රජතුමා සාර්ක් රාජ්‍ය නායකයන් හමුවෙයි
• නෙදර්ලන්තයේදී අත්අඩංගුවට ගත් අය අතර මුල් පෙළේ කොටියෙක්
• යළි පදිංචි කිරීමට ඉතිරිව ඇත්තේ 45,000 ක් පමණයි - උතුරු පළාත් ආණ්ඩුකාර
• ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව ගැන අද සාකච්ඡාවක්
• කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉවත් කෙරේ
(29-04-2010 - දිනමිණ)
ආරක්ෂක ලේකම්ගේ උපදෙස් සැණෙකින් ක්‍රියාත්මකයි - අපරාධ මඬින මෙහෙයුමට පොලීසිය සූදානම්!
(29-04-2010 - දිනමිණ)
කොටි ත්‍රස්තවාදයත් සමග හටගත් දැවැන්ත අපරාධ ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා ක්ෂණිකව පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතා මේ බැව් ප්‍රකාශ කෙළේය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ ජාලය විනාශ කිරීමට ක්‍රියා කරන්නැයි පොලීසියට උපදෙස් දී පැය කිහිපයක් ඇතුළත පොලිස්පති මහින්ද බාලසුරිය මහතා දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
පසුගියදා (26) කටාන පොලිස් විද්‍යාපීඨය විවෘත කිරීමට ගිය ආරක්ෂක ලේකම්වරයා කොටි ත්‍රස්තවාදයත් සමග උපන් අපරාධ ජාලය තවමත් රට පුරා පැතිරී ඇති බැවින් එම ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට පියවර ගන්නැයි පොලිසියට උපදෙස් දුන්නේය.
උත්සවය අවසන් වීමත් සමගම පොලිස්පති මහින්ද බාලසුරිය මහතා දිවයිනේ සියලුම පළාත් භාර පොලිස්පතිවරුන් එම උත්සවය පැවැති විද්‍යා පීඨය වෙත කැඳවනු ලැබීය.
එම උත්සව අවස්ථාවට පැමිණ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අමතරව තවත් කිහිප දෙනෙක්ද ඒ අවස්ථාවේ එම ස්ථානයට කැඳවනු ලැබූහ.
පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් එහිදී සාකච්ඡාව ආරම්භ කෙරුණු අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් එම පළාත් වල තත්ත්වය විමසා බලා අනතුරුව ආරක්ෂක ලේකම්වරයා උපදෙස් දුන් එම අපරාධ ජාලය විනාශ කිරීමේ මෙහෙයුම සිදුකළ යුතු ආකාරය විමසා සාකච්ඡා කෙරිණි.
එම අපරාධ ජාලයේ බුද්ධි තොරතුරු හෙළි කර ගැනීම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා සිදු කළ යුතු යූක්ෂ්ම මෙහෙයුම් පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරුද එම මෙහෙයුම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එම මෙහෙයුමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදා ගැනීම සම්බන්ධවද පොලිස්පතිවරයා උපදෙස් ලබා දුන්නේය.
පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන විශේෂ දක්ෂතා පෙන්වූ පොලිස් නිලධාරීන් විශේෂයෙන් එම මෙහෙයුම්වලට සම්බන්ධ කර ගැනීමටද තීරණය කෙරුණි.
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදු වෙන අවි ආයුධ ජාවාරම විශේෂයෙන් මත්ද්‍රව්‍ය, මත්කුඩු, මෙන්ම නීති විරෝධී මත්පැන් නිපදවීම අලෙවිය කප්පම් ගැනීම ව්‍යාජ මුදල් නෝට්ටු ක්‍රෙඩිට් කාඩ් වංචා මංකොල්ල කෑම් පාතාලය ඇතුළු සියලුම අපරාධ සම්බන්ධව වැටලීම්ද මීට අමතරව රථ වාහන අපරාධ පිළිබඳවද විශේෂ අවධානය යොමුකිරීමටද පොලිස්පතිවරයා උපදෙස් ලබා දුන්නේය.
පැය හතරකට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි ෴
************************************
මැයි 1 වැනිදා වැටුප් සහිත නිවාඩු දිනයක් කරන්න - කම්කරු ඇමැති පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් ඉල්ලයි
(29-04-2010 - දිනමිණ)
මැයි දිනය වැටුප් සහිත නිවාඩු දිනයක් බවට පත් කරන්නැයි කම්කරු සබඳතා හා ඵලදායිතා සංවර්ධන ඇමැති ගාමිණී ලොකුගේ මහතා පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටී.
වැඩකරන ජනතාවට එදින නිදහසේ සිය අයිතිවාසිකම් භුක්ති විඳීමට අවස්ථාව ලබාදිය යුතු යැයි ද ඇමැතිවරයා පැවසීය.
කොළඹ මහවැලි කේන්ද්‍රයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය. පඩිපාලක සභාවක් සමඟ සාකච්ඡා කර පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ දැමීම ඇතුළු වැඩ කරන ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ රැසක් මැයි දින රැලියේදී ප්‍රකාශ කරන බවද ඒ මහතා කීවේය.
ඇතැම් ආයතන සිය ආයතනයේ සේවාවන් කොන්ත්‍රාත් ක්‍රමයට වෙනත් ආයතනවලට බාරදී ඇති බව පවසන ඇමැතිවරයා ඒ මගින් එහි යෙදී සිටින සේවකයින්ට අසාධාරණයක් සිදුවන බවද කීවේය.
එවැනි ක්‍රමවේදයන් සීමා කිරීමට අවශ්‍ය පියවරයන් කඩිනමින් ගන්නා බවද ගාමිණී ලොකුගේ මහතා පැවසීය ෴
************************************
බළංගොඩ බස්-ලොරි ගැටුමෙන් 04 ක් මරුට 20 කට තුවාල
(29-04-2010 - දිනමිණ)
බලංගොඩ ඉඹුල්පේ පාලම අසලදී ඊයේ (28) සවස 2.00 ට පමණ ලංගම බස් රථයක් සහ ලොරියක් එකට ගැටීමෙන් සිවුදෙනෙකු මියගොස් තවත් විසිදෙනෙක් තුවාල ලැබූහ.
මියගිය අය අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බව පොලිසිය සඳහන් කරයි. උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර තුවාලකරුවන් බලංගොඩ සහ රත්නපුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
බස් රථය බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක්ව තිබේ. තුවාලකරුවන් අතරින් දස දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි ෴
************************************
ගිගුරුම් වැසි සමඟ අකුණු අවදානමක්
(29-04-2010 - දිනමිණ)
ඉදිරි දිනවලදී රට අභ්‍යන්තරයේ ප්‍රදේශ රැසක තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රට අභ්‍යන්තරයේ කඳුකරය ආශ්‍රිතව ඇතිවන වැසි බස්නාහිර වයඹ ප්‍රදේශවලට ද පැතිර යාමට ඉඩ ඇති අතර අපරභාගයේදී වැසි සහිත තත්ත්වය වර්ධනය විය හැකි බවද ප්‍රකාශ කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණුවලින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි ෴
*************************************
භූතාන රජතුමා සාර්ක් රාජ්‍ය නායකයන් හමුවෙයි
(29-04-2010 - දිනමිණ)
භූතාන රජතුමා සහ සාර්ක් රාජ්‍ය නායකයන් අතර විශේෂ හමුවක් භූතානයේ තිම්පු නුවර දී අද (29) පැවැත්වේ.
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම හමුවට සහභාගි වීමට නියමිත අතර සතුරු බලවේගයන්ට එරෙහිව ජයග්‍රහණය සංකේතවත් කරන භූතාන ධජය එසවීමේ උත්සවයක්ද මේ රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.
ඊට අමතරව 16 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුව සංකේතවත් කරමින් සමුළුව පැවැත්වෙන ශාලා පරිශ්‍රයේ දී පැළ රෝපණයක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන අතර සාර්ක් ව්‍යාපාරික සමුළුව සංවිධානය කළ සාර්ක් කළාපීය රටවල නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් නැරැඹීමටද රාජ්‍ය නායකයෝ සහභාගි වෙති.
16 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුව අද (29) අවසන් වන අතර මේ සඳහා සහභාගි වූ දූත පිරිස භූතාන අගමැති ජිග්මි වයි කිත්ලි මහතා විසින් සංවිධානය කරන රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගි වීමට නියමිතයි ෴
***************************************
නෙදර්ලන්තයේදී අත්අඩංගුවට ගත් අය අතර මුල් පෙළේ කොටියෙක්
(29-04-2010 - දිනමිණ)
නෙදර්ලන්තයේදී අත්අඩංගුවට ගත් එල්. ටී. ටී. ඊ. සැකකරුවන් අතර කොටි සංවිධානයේ ප්‍රබලම සාමාජිකයෙකු සිටින බවට වාර්තා වෙයි.
නෙදර්ලන්තයේදී කොටින්ට මුදල් එකතු කළ දමිළ ජාතිකයින් 7 දෙනෙකු පසුගිය (26) දා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිරිස නෙදර්ලන්තයේ ක්‍රියාත්මක විවිධ දෙමළ සංවිධානවල ක්‍රියාකාරීන් බව ද, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, දෙමළ තරුණ සංවිධානය, දෙමළ කාන්තා සංවිධානය, නෙදර්ලන්තයේ දෙමළ කලා හා සංස්කෘතික සංසදය ආදිය ඒ අතර වන බව ද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රබල සාමාජිකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රංශ ගමන් බලපත්‍රයකින් පෙනී සිට ඇතැයි ද සඳහන් වේ.
මෙම සැකකරුවන්ගේ නිවාස හා ව්‍යාපාර පරීක්‍ෂා කිරීමේදී යූරෝ 40000 ක මුදලක් පොලිසිය මගින් සොයාගෙන ඇති අතර පරිගණක, ලිපි ද්‍රව්‍ය, ජංගම දුරකථන, ඩී. වී. ඩී. තැටි ආදී උපකරණ කීපයක් ද සොයාගෙන ඇත ෴
****************************************
යළි පදිංචි කිරීමට ඉතිරිව ඇත්තේ 45,000 ක් පමණයි - උතුරු පළාත් ආණ්ඩුකාර
(29-04-2010 - දිනමිණ)
අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්ගෙන් යළි පදිංචි කිරීම සඳහා ඉතිරිව ඇත්තේ පුද්ගලයින් 45000 ක් පමණ බව උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පැවැසීය.
නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා පුද්ගලයින් 245000 ක් පමණ නැවත පදිංචි කර ඇතැයි සඳහන් කළ ආණ්ඩුකාරවරයා ඉතිරි වී සිටින පිරිස ඉදිරි මාස දෙක ඇතුළත යළි පදිංචි කිරීමට හැකි වෙතැයි විශ්වාසය පළ කළේය. මැතිවරණ කටයුතු හා අලුත් අවුරුදු කටයුතු වෙනුවෙන් නැවත පදිංචි කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබූ අතර පසුගිය 22 දා සිට මැයි මස 01 දා තෙක් කාලය තුළ පුද්ගලයින් 10000 ක් යළි පදිංචි කිරීමට අපේක්ෂිත බවද හෙතෙම අවධාරණය කෙළේය.
මේ වනවිට මුලතිවු දිස්ත්‍රික්කයට අයත් වට්ටපලෙයි, මුතියන් කට්ටුව හා අක්කරායන්කුලම් ප්‍රදේශවල නැවත පදිංචි කිරීම සිදුකෙරෙන බව කී ආණ්ඩුකාරවරයා දැනටමත් 1200 ක පමණ පිරිසක් යළි පදිංචි කැර තිබෙන බව කීවේය. මේ නැවත පදිංචි කිරීමට ප්‍රථම මුලතිව්, කරච්චි ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීම සිදුකරන බවද පැවැසීය.
මැතිවරණ කටයුතු හා අලුත් අවුරුදු කටයුතු වෙනුවෙන් නැවත පදිංචි කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීම සුබවාදී කටයුත්තක් බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ සංවිධානය සඳහන් කරයි. තවද මේ කටයුතු වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදෙන බවද එම සංවිධානය කියයි ෴
***************************************
ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව ගැන අද සාකච්ඡාවක්
(29-04-2010 - දිනමිණ)
ලබන 1 වැනිදා සිට ගෑස් මිල ඉහළ දැමීමට අදාළ සමාගම් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු අද එම අමාත්‍යාංශයේදී රැස්වෙති.
මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් ගෑස් මිල සම්බන්ධව සංශෝධනයක් සිදුවන බැවින් මැයි 1 වැනිදා සිට ගෑස් මිල ඉහළ දැමීමට ලාෆ්ස් සහ ෂෙල් ගෑස් සමාගම් අවසර ඉල්ලා තිබේ.
ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග ලේකම් අනුර සිරිවර්ධන, පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් සහ එම අධිකාරියේ මිල කමිටුව අතර සාකච්ඡාව අද පැවැත්වෙයි
එම සාකච්ඡාවෙන් පසු ඇමැතිවරයාගේ තීරණය ගෑස් සමාගම්වලට දැනුම් දෙනු ලබයි. ගෑස් මිල ඉහළ දැමීම තවත් කාලයකට නවත්වා, පවතින තත්ත්වයෙන්ම තබාගැනීමට උත්සාහ ගන්නා බව අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධන මහතා පවසයි ෴
***************************************
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉවත් කෙරේ
(29-04-2010 - දිනමිණ)
පිටකොටුව ඕල්කොට් මාවතේ පදික වේදිකාවේ තනා තිබූ අනවසර තාවකාලික වෙළෙඳසල් (තට්ටු) ඊයේ (28) අලුයම පොලීසිය මගින් ඉවත් කොට ඇත.
තම වෙළෙඳසල් ඉවත් කරගන්නා ලෙසත්, නොඑසේ නම් පොලීසිය ඒවා ඉවත්කරන බවත් එම වෙළෙඳසල් පවත්වාගෙන ගිය වෙළෙඳුනට කලින් දිනයේදී දැනුම්දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතා දිනමිණට කීය.
එහෙත් කඩ ඉවත් කිරීමට ලක් වූ පදික වෙළෙඳුන් කියා සිටියේ තට්ටු ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය තමන්ට කලින් දැනුම්නොදුන් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතාගෙන් දිනමිණ කරන ලද විමසීමේදී ඒ මහතා තවදුරටත් කියා සිටියේ මෙම අනවසර වෙළෙඳසල් ඉවත් කළේ මහජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් ඒවා පවත්වාගෙන යාම හේතුවෙන් මහජනයාගේ පහසුව තකා බවයි.
පිටකොටුව මල්වත්ත පාර සිට බෝගහ හන්දිය දක්වා ඇති තාවකාලික වෙළෙඳසල් මෙසේ ඉවත් කළ බව ඒ මහතා කීය.
පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදෙන උපුල් වීරතුංග මහතා කීවේ කිසිම දැනුම්දීමක් නොකළ බවයි. මෙහි වෙළඳාම් කළ කේ. ඩී. ඒ. පාල, නිහාල් ඊදැල්ලගේ, එම්. කේ. සිරිපාල, සුනිල් ගුණතිලක යන අයද කඩ ඉවත් කිරීම ගැන නොසතුට පළ කළහ.
පදික වෙළෙඳුන්ට යහපතක් කරනවා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා :
මේ ක්‍රියාව දැන ගත්තම මා දැඩිසේ කම්පාවට පත්වුණා. මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක්. යම් වැරැද්දක් තියෙනව නම් ඒ පිළිබඳ සොයා බලා නීති මාර්ගයෙන් කටයුතු කළයුතුයි.
මෙය තනිකරම හොරකමක් විදියටයි කරලා තියෙන්නේ. පොලීසියෙන් මා සිද්ධිය පිළිබඳ විමසුවම ඔවුන් කොළේ වහලා තමයි කතා කරන්නේ.
අද බෞද්ධයන්ට ඉතා වැදගත් දවසක්. ඒ වගේම කම්කරු ජනතාවගේ දිනයක් පැමිණ තිබෙනවා. ආණ්ඩුකාරවරයා විදියට නොවෙයි කම්කරු ජනතාවගේ නායකයෙක් විදියට මා මීට විරුද්ධව පදික වේදකාවේ මිනිසුන් සමඟ එකතු වෙලා රැස්වීමක් පවත්වනවා.
සටන් කරලා නියත වශයෙන්ම පදික වෙළෙඳුන්ට ජයග්‍රහණය ලබා දෙනවා ෴
• [Amarasara News
Home]
• Email :
news[at]amarasara.info
• [Amarasara
Home]
.