.

29.04.2010 - 04 (10:00 SLT)


29.04.2010 - 04 (10:00 SLT)

By Amarasara - Wednesday, April 28, 2010

. [Amarasara News Home] . (Sinhala Unicode - Malithi Web Font) .

නිවැරැදිව කටයුතු කරන මාධ්‍යවේදීන් රැක ගන්න පැය 24 පුරාම කැප වෙනවා - වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා
(29-04-2010 - දිනමිණ)

මාධ්‍ය ආයතනයක වගකීම විය යුත්තේ රටත්, ජනතාවත් නිවරැදි මාර්ගයට ගෙනයා හැකි වැඩ සටහන් ඉදිරිපත් කිරීම යැයි වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවැසීය.

එසේ නොවුනහොත් මාධ්‍යයන් කෙරෙහි ජනතාව තුළ තිබෙන ප්‍රසාදය අඩුවී යන බවද ඇමැතිවරයා කීවේය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැතිවරයා එසේ පැවැසීය.

ඇතැම් මාධ්‍ය ආයතන රජයේ අඩුපාඩු පමණක් පෙන්වන බව පවසන මර්වින් සිල්වා මහතා අඩුපාඩු මෙන්ම රජය කරන සංවර්ධනයන්ද පෙන්වන්නයි කියා සිටියේය.

මාධ්‍යවේදීන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට තමා වැඩසටහන් රැසක් සැලසුම්කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය. මාධ්‍යයන් සිය ගෞරවය රැක ගනිමින් කටයුතු කිරීමට පියවර ගන්න යැයි ද හෙතම ප්‍රකාශ කෙළේය.

නිවරැදිව වැඩ කරන ආයතන හා මාධ්‍යවේදීන් රැක ගැනීමට තමන් පැය 24 පුරාවට කැපවී සිටින බව ඇමැතිවරයා කීවේය.

ආචාර්ය මර්වින් සිල්වා අද වැඩ බාර ගනී

වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා සිය ධූරයේ වැඩ බාරගැනීම අද (29) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරේ.

++++++++++++++++++++++++++++++++++++

ඇමැති; ආචාර්ය මර්වින් සිල්වා !
(29-04-2010 - දිනමිණ කතුවැකිය)

අද අපගේ චරිතය ඇමැති; ආචාර්ය මර්වින් සිල්වා මහතා ය. ඔහු ගැන පුංචි විවරණයක යෙදීම හැම අතින් ම කාලෝචිත ය. සමහරු ඉතා ආශාවෙන් ඔහුට කන්දෙති. තව සමහරු ඉතා ආශාවෙන් ඔහුට බැණ වදිති. තවත් සමහරු ඉතා කුහුලින් යුතු ව ඔහු ගේ ක්‍රියා කාරකම් දෙස බලා සිටිති.

මර්වින් සිල්වා යනු මුළු රට ම දන්නා පෙරැළිකාර චරිතයෙකි. ඔහුට ආදේශකයක් නැත. මර්වින් සිල්වලා දෙදෙනෙක් ශ්‍රී ලංකාව තුළ නැත. ඒ හැරත් සුවිශේෂ චරිතයක් පසුපස හඹාගොස් ඔහු හෝ ඇය හෝ පිළිබඳ චූර්ණිකාවක් සැපයීම ජන මාධ්‍යයේ එක් සම්ප්‍රදායයෙකි. ඒ සියල්ල ගැන සලකා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා දෙසට හැරෙමු.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පිටිසරබද ග්‍රාමයෙක දුප්පත් පන්සලෙකි. මර්වින් සිල්වා ඉරිදා දිනයෙක පන්සල පැත්තට ගියේ ය. දහම් පාසලට පැමිණි ළමයි ගස්යට අඹ ඇට පනිමින් සිටියහ. "පුතේ දහම් පාසල නැති ද?" ඇමැතිතුමා ඇසී ය. "මාමේ බණ මඩුව කැඩිල උගන්නන්ඩ බෑ!" ළමයි පිළිතුරු දුන්හ.

ඇමැතිවරයා පන්සලට ගොඩවැදී නායක හාමුදුරුවන් මුණ ගැසුණේ ය. "වහලෙ සීට් කැඩිල මහත්තයො! හුඟ දෙනකුට කීව වැඩක් වුණේ නෑ!" නායක හාමුදුරුවෝ දුක්මුසුව කියාගෙන ගියහ. එදා ඉරගල වැටෙන්නට පෙර බණමඩුවට වහල තහඩු ලැබිණි. දැන් සෑම ඉරිදාවකම දහම් පාසල පැවැත් වේ.

මෙබඳු සත්‍ය කතා සිය ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයා ගත හැකි ය. ගම්පහ මිනිස්සු කෙළින් මනුෂ්‍යයා යැයි මර්වින් සිල්වා හඳුන්වති. ඔහු කළ යුත්ත නොවලහා කරයි. කල්මැරීමක් ඇත්තේ ම නැත. බැරි දේ භාර නො ගැනීමත්; බොරු පොරොන්දු දී ජනතාව මුළා නො කිරීමත් ඔහුගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයෙකි.

අසාධාරණය ඉදිරියේ ඔහු ගේ වචන මෙන් ම ක්‍රියාව ද බර අවි ප්‍රහාරයක් සේ බලවත් ය. සාධාරණය ඉදිරියේ ඔහුගේ වචන මෙන් ම ක්‍රියාව ද මීදුමක් සේ සැහැල්ලු ය. සුන්දර ය. මේ අපූරු මිනිසා අවබෝධ කරගත හැක්කේ ඔහුගේ විවිධ ක්‍රියාකාරකම් පසුපස ඇති සැබෑ වුවමනාව හඳුනා ගැනීමෙන් ය.

ආචාර්ය මර්වින් සිල්වා මහතා හත්වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කැරිණි. එය තරමක ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඔහු මේ දිනවල වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

මේ වනවිට ද ඔහු සිය රාජකාරි පටන්ගෙන තිබේ. රාජ්‍ය ජනමාධ්‍ය ආයතනවල නිරීක්ෂණ චාරිකාවක යෙදුණු මර්වින් සිල්වා මහතා ජනමාධ්‍යවේදීන්ගේ සුබ - සාධනය කෙරෙහි බෙහෙවින් උනන්දු වන බව කියා සිටියේ ය. පොදුවේ සියලු ජනමාධ්‍ය වෙත කතා කළ ඔහු "අපි මිතුරෝ වෙමු! අපි රට හදමු!" යනුවෙන් ඉල්ලීමක් කළේ ය.

මර්වින් සිල්වා මහතාට ඇතැම් ජනමාධ්‍ය ආයතන සමඟ සංවාදයක් තිබිණි. තවත් ජනමාධ්‍ය ආයතන සමඟ අරගලයක් තිබිණි. සමහර ජනමාධ්‍ය ආයතන සමඟ සමීප ඇසුරක් තිබිණි. මේ සියල්ල ගොනු වී ඇත්තේ ඇමැතිවරයා අදහන දර්ශනය මත ය. රටක ජාතික ජනමාධ්‍ය ගුරුවරයකුගේ හෙවත් උපදේශකය කුගේ භූමිකාවට පණදිය යුතු බව මර්වින් සිල්වා මහතා විශ්වාස කරයි.

රටේ සංවර්ධනයට හා ජාතියේ අභිමානයට හේතු - සාධක වන ලෙස ජන මාධ්‍ය හැසිරිය යුතු බව ඇමැතිවරයා කියා තිබේ. සමාජයේ සදාචාරය, අධ්‍යාපනය හා යහ පැවැත්ම සඳහා උත්තේජකයක් ලෙස ජනමාධ්‍ය භාවිත කළ හැකි බව මර්වින් සිල්වා මහතාගේ අදහස ය.

මහා බ්‍රිතාන්‍යයේ දී සිව්වන ආණ්ඩුව ලෙසින් හැඳින් වූ ජනමාධ්‍ය; පළමුවන ආණ්ඩුව බවට පත් කිරීමේ අවශ්‍යතාවක් දියුණු රටවලට නැත. වාර්තාකරණයට නිදහස තිබිය යුතු ය. මතවාද අතර ගැටීමට ඉඩ තිබිය යුතු ය. එහෙත් ජනමාධ්‍ය යනු රට මෙහෙයැවන ප්‍රධාන මෙවලම බවට පත් විය යුතු නැත. ජනමාධ්‍ය දෙපැත්ත කැපෙන අවියක් බවත්; එය පාලනයකින් යුතුව භාවිත කළ යුතු බවත් පිළිගත් මතය වී තිබේ.

චීනයේ දේශීය සංගීතයට යම් එකතු කිරීමක් කිරීමට නම් එරට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුය. ඇමෙරිකාවේ පෞද්ගලික ජනමාධ්‍ය රජයේ මතය ම නිරූපණය නොකරන’මුත් රාජ්‍ය උපදේශන රාමුව උල්ලංඝනය කරන්නේ නැත.

ශ්‍රී ලංකාවේ නූතන ජනමාධ්‍ය භාවිතය ගතහොත් එය ඉතා සංකීර්ණ පසුතලයක් මත නිර්මාණය වී ඇති බව පෙනෙයි. පෞද්ගලික අංශයේ ඇතැම් ජන මාධ්‍ය ආයතනවල ප්‍රධාන ඉලක්කය වෙළෙඳාමය. ඔවුන් අතින් සමාජ හර පද්ධතීන් ගිලිහී යනු කදිමට දක්නට ලැබේ.

මේ ක්‍රියාවලියෙහි පවත්නා එක් දුර්වලතාවක් වනුයේ රාජ්‍ය මාධ්‍ය වෙතින් පමණක් ජනතාවට වග කියන වාර්තාකරණයක් අපේක්ෂා කිරීම ය. සියලු ජන මාධ්‍ය ජනතාවට වග කියන මහජන ආයතන බවට පත්විය යුතුය යන වැදගත් අදහස ආචාර්ය මර්වින් සිල්වා මහතා ළඟ තිබේ. ඔහු ඒ අනුව කටයුතු කරගෙන යන බව ද පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහසක් නැතැ’ යි කීම අමූලික බොරුවෙකි. ඒ මතය තුළ ඇත්තේ ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට ඉඩක් දෙනු! නව යටත්විජිතවාදයට හෙවත් බටහිර කරණයට යටත් වෙනු! යන ප්‍රබල හඬයි. තිස් වසරක් පුරාවට පැවැති උග්‍ර ත්‍රස්තවාදයේදී මේ හඬ බලවත් ලෙස නැඟී සිටියේ ය. ඒ හඬ අපගේ උරුමයන් හා දේශීයත්වය යට කරගෙන නැඟී සිටියේ ය.

එහෙත් අවසන් සටනේ දී ඔව්හු පරාජයට පත් වූහ. ඔවුන් පරාජයට පත්වනුයේ ආචාර්ය මර්වින් සිල්වා බඳු නිර්භීත හා සෘජු සමාජ නායකයන්ගේ ක්‍රියාකාරකම් නිසා ය. මේ අත්දැකීම්වලට හුරු වූ ආචාර්ය මර්වින් සිල්වා මහතාට මෙරට ජනමාධ්‍ය ගැන අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නැත.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය භාවිතයෙහි යම් වෙනසක් ඇති විය යුතු බව අපි විශ්වාස කරමු. එය සාධනීය වෙනසක් විය යුතු ය. රට හා ජාතිය ගැන ගැඹුරු හැඟීමක් ඇති ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාට ඊට ආරම්භයක් ලබා දිය හැකි බව අපගේ අදහස ය. අපි ඔහුට ඉත සිතින් ම සුබ පතමු ! ෴

[Amarasara News Home]
• Email : news[at]amarasara.info
[Amarasara Home]
.




Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010