රුපියල් කෝටි 2640 ක වියදමින් ඉන්දියාවෙන් යාපනයට සංස්කෘතික මධ්‍යස්ථානයක්..! ධීවර ගැටළුව නිමා කරනවා – ඉන්දීය විදේශ ලේකම් යාපනයේදී

(05.01.2017 – 23:00 +0530 – lankaenews.com)

ඉන්දියානු රුපියල් බිලියන 12 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 2640 ක වියදමකින් සංස්කෘතික මධ්‍යස්ථානයක් යාපනයේ ඉදි කරණ බවත්, ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී අන්දමට මසුන් මැරීම නතර කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවටත් ඉන්දීය විදේශ ලේකම්  සංජෙයි බණ්ඩෙයි යාපනයේදී සහතික විණි.

ඉන්දීය විදේශ ලේකම්වරයා ජනවාරි 04 වෙනිදා දවස පුරාම යාපනයේ සංචාරය කළ අතර එහිදී උතුරේ දේශපාලනඥයින්, පරිපාලන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් හමුවූ අතර ඉන්දීය ආධාර මත උතුරේ සිදු කෙරෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක්ද නිරීක්ෂණයට ලක් කළේය.

යාපනයෙන් පිටව යාමට පෙර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට  පිළිතුරු දෙමින් ලේකම්වරයා කියා සිටියේ ඉන්දීය ධීවරයින්ට ගැඹුරු මුහුදේ මසුන් මරණ අන්දම පිළිබදව විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බවයි.

පුහුණුවෙන් පසුව ධීවරයින්ට අවශ්‍ය තාක්ෂණික උපකරණ හා සෙසු  ආම්පන්න මිලදී ගැනීමට ඉන්දීය රජය ධීවරයින්ට මුදල් ආධාර සපයා දීමට වැඩ පිළිවෙලක් දියත් කරගෙන යන බවද ලේකම්වරයා පැවසීය.

එම වැඩ පිළිවෙල සාර්ථක වීමෙන් පසුව ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට නොපැමිණෙන බව තමන්ට විශ්වාස බවද ලේකම්වරයා කියා සිටියේය.

කච්චතීවු දූපත සම්බන්ධයෙන් මින් ඉදිරියට කිසිදු ප්‍රශ්නයක් උද්ගත නොවන බව කියා සිටි ලේකම්වරයා අනාදිමත් කාලයක සිට දෙරටේම බැතිමතුන් එම දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිදු කළ වාර්ෂික මංගල්ලය මින් ඉදිරියටත් ඒ අන්දමටම සිදුකෙරෙන බවද සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු රුපියල් බිලියන 12 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 2640 ක වියදමකින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදි කරණ බවත්, යුද්ධයේදී විපතට පත් පුද්ගලයින්ට ඉන්දීය රජය තවත් ආධාර සපයා දෙන බවද ඉන්දීය විදේශ ලේකම්වරයා යාපනයේදී පැවසීය.

– සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ

**********************************

දීර්ඝ කාලයක් රක්ෂිත වල හොරෙන් ගස් කැපූ පිරිසක් වන්නියෙන් අල්ලද්දී වන්නි යුද හමුදාව ගස් 2800 ක් පැල කරයි
(05.01.2017 – 23:50 +0530 – lankaenews.com)

වන්නියේ නීති විරෝධීව මහා පරිමාණයෙන් ඉතා රහසිගතව කරගෙන ගිය රක්ෂිත වනයේ හොරෙන් ගස් කැපීමේ ජාවාරමක් අල්ලා ගනිද්දී වන්නි යුද හමුදාව විසින් රුක් රෝපණ වැඩ සටහනක් දියත් කරමින් එක් දිනයක් තුල රුක් 2800 ක් රෝපණය කිරීමේ ප්‍රවෘත්ති දෙකක් අප වෙත ලැබී තිබේ.

නීති විරෝධීව මහා පරිමාණයෙන් ඉතා රහසිගතව කරාගන ගිය දැව ජාවාරම් කරුවන් පිරිසක් වව්නියාව පුලියන්කුලම පලෙයිවාඩි ප්‍රදේශයේදී  බුරුත දැව තොගයක් සමග පසුගියදා පුලියන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පලෙයිවාඩි රක්ෂිතයෙන් කපාගන්නා ලද බුරුත දැව ඉතා සූක්ෂමව ප්‍රවාහනය කරනු ලබන අතර මේ පිළිබඳව පුලියන්කුලම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.

අදාල වැටලීම සිදු කරන අවස්ථාවේදී  සැකකරුවන් දෙදෙනෙකු සමග බුරුත දැව තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් බුරුත දැව රුපියල් ලක්ෂ 05 කට ආසන්න බවද පුලියන් කුලම් පොලීසිය කියා සිටියේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර දීර්ඝ කාලයක් පුරා මොවුන් මෙලෙස දැව ජාවාරමේ නිරත වී ඇති අතර වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුලියන්කුලම් පොලීසිය විසින් පියවර ගෙන ඇත.

මේ අතර ජනාධිපති දෙවර්ෂ පූර්ණය සමරමින් වන්නි අරක්ෂක මූලස්ථානය මගින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් පසුගියදා වන්නි ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේදී සිදුවිය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතාගේ උපදෙස්  යටතේ බ්‍රිගේඩියර් ජාලිය සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවත්වූ අතර මෙහිදී වන්නි බල ප්‍රදේශය ආවරණය වන පරිදි පැල 2800 ක් රෝපණය කිරීම සිදුවිය.

(සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ විසිනි)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *