‘‘විගණන පනත තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට’’ – කතානායක විගණන නිලධාරීන්ට සහතික වෙයි

(06.01.2017 – 23:20 +0530 – lankaenews.com)

විගණන පනත නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබඳව පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කර රජයේ විගණන නිලධාරීන්ට කශේරුකාවක් සහිතව රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවත්,  රජයේ මූල්‍ය කලමනාකරණය ජනතාවට ප්‍රශ්න කළ හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර ලක්ෂණයක් බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මෙසේ කිවේ අද (06) කොළඹ නව නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති බස්නාහිර හා මහනගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, විගණකාධිපති ගාමිණී විජේසිංහ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති සමුළුව අමතමින් කථානායකවරයා පෙන්වා දුන්නේ ගිණුම් කාරක සභා ක්‍රියාවලිය මෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතුද සාර්ථක වීමට විගණන නිලධාරීන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය අනිවාර්යය අංගයක් වන බවයි.

විගණන නිලධාරීන් මහජන මුදල් ආරක්ෂා කිරීමට කරන නිහඬ සේවය කාගේත් ගෞරවයට පාත්‍ර විය යුතු බව ද පැවසූ කථානායකවරයා එහිදී අභීතව දිවි පරදුවට තබා දූෂණයට එරෙහිව කටයුතු කරන ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තව දුරටත් සිටින බවට ඔවුන් අවස්ථා ගණනාවකදී පූර්වාදර්ශ සපයා ඇති බවද සඳහන් කළේය.

සමුළුව අමතමින් කථානායකවරයා මෙසේද කීය :

“විගණන නිලධාරීන් ඉටු කරනුයේ විශාල ජාතික යුතුකමක්. එය කෙතරම් අමාරු වුවත් ඔවුන් එම අභියෝගයන්ට   උරදී සිටීම තුල රාජ්‍ය අංශයේ මූල්‍ය විනය ආරක්ෂා වෙනවා.

මම දේශපාලනය ආරම්භ කළේ දේශපාලන ඉණිමගේ පළමු පියවර වන පලාත් පාලන ආයතනයකින් එදා මෙදා තුර පැමිනි සෑම පියවරකදීම මූල්‍ය විනය කඩකිරීම් දකින්නට ලැබුණා.  නමුත් වර්තමානය වන විට රටේ මූල්‍ය විනය ආරක්ෂා කරන කාර්යය පාර්ලිමේන්තුව හරහා ශක්තිමත්ව ඉටු කිරීමට පදනම සකස් වී තිබෙනවා.  ‍එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභා‍වේත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේත්, සභාපතිවරු හා නිලධාරී මණ්ඩලය ඉටු කරන අපක්ෂපාතී ප්‍රසංශනීය මෙහෙවර අගය කිරීම මගේ යුතුකමක්.

මීට කලකට පෙර අවංක ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව ආරම්භ කළ Clean Hand වැඩ සටහන ය‍ටතේ සොයා ගනු ලැබුවා, රජයේ මුදල් මහජන කටයුතු සඳහා වියදම් කිරීමේ දී 40% ක් දූෂණයට නාස්තියට ලක් වන බව.

විගණන පනත, තොරතුරු දැන ගැනීමේ පනත මෙන්ම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස මෙම අවාසනාවන්ත තත්ත්වය මුලිනුපුටා දැමිය හැකි වනු ඇතැයි මා විශ්වාස කරනවා.“

පුද්ගලික අංශයේ දශක 03 ටත් වඩා තමා සාර්ථක ප්‍රථිඵල නෙලා ගත්තේ නම් එයට ප්‍රධාන හේතුව නිසි මූල්‍ය පරිපාලනය සහ විගණනය සඳහා දක්ෂ අවංක නිලධාරීන් යොදා ගැනීම බව ද කී කථානායකවරයා එය ඕනෑම  ක්ෂේත්‍රයක සාර්ථකත්වයට ඉවහල් වනු ඇති බවද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපති බස්නාහිර හා මහනගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසූයේ රටේ අවධානය අඩු නමුත් විගණන නිලධාරීන්  කිසිදු රාජ්‍ය සේවයකට නොදෙවෙනි ජාතික මෙහෙවරක් ඉටු කරනු ලබන බව ය.

පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන ක්‍රියාදාමය වෙනුවෙන් කැපව සිටින රාජ්‍ය ගිණුම් කාරක සභාවත්, පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවක් බල ගැන්වීමට කථානායක කරු ජයසූරිය මහතා ලබා දෙන ශක්තය ධෛර්යය අගය කරන බව ද මෙහිදී ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මින් පෙර විගණකාධිපති දෙපාර්තමේනත්තු නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත එවු වාර්තා පිටුවක්වත් නොපෙරලා ඉවත දමන තත්ත්වයක් තිබූ නමුත් අද එම වාර්තාවන්හි සෑම පිටුවක්ම අවධානයට ලක් කරමින් වැඩ ගැනීම අරඹා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක් වූ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති මහතා :

“1998 දී කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස මම මුලින්ම මුදල් කාරක සභාවක අත්දැකීම් ලැබුවේ වත්මන් කථානායක කරු ජයසූරිය මහතා කොළඹ පුරපතිවරයා ලෙස ලබාදුන් ඉඩ ප්‍රස්ථාව අනුවයි.

එදා පක්ෂ භේද පැත්තක තබා අප සතු දැනුම ප්‍රායෝගිකව ජනතා මුදල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය සදහා යොදා ගන්නට එතුමා අපව යොමු කළා.

වර්තමානයේ පාර්ලිමේන්තුවේදීත් එතුමා සමග එක්ව ජනතා මුදල් ආරක්ෂා කරන ක්‍රියාවලියට දායක වීමට ලැබීම ගැන සතුටු වෙනවා.  පසුගිය කාලයේ රටේ මහජනතාවගේ අවධානය කවරදාටත් වඩා මූල්‍ය පාලනය පිළිබදව යොමු වුනා. ජනතාව වඩාත්ම නිලධාරියෙක් ගැන කතාබහ කළේ නම් ඒ විගණකාධිපතිවරයායි.

එය ජනතාවගේ අවධානයට කතාබහට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුභ ලකුණක්. රාජ්‍ය මූල්‍ය පාලනයේදී අපේ කමිටු දෙකේ කොදු නාරටිය විගණකාධිපති ඇතුළු එම විගණන නිලධාරීනුයි.

මුළු රාජ්‍ය සේවයම ආවරණය කරන්නේ මෙම පිරිසයි. සමහර රාජ්‍ය සේවාවන්වල අල්ලස, අනිවාර්යය ලක්ෂණයක් බවට පත්ව තිබෙනවා.  ඔබේත් අපේත් අවංක අරමුණු සාර්ථක වීමට නම් විගණන පනත ගෙන ආ යුතුමයි.

එය මේ වසර නිම වීමට පෙර ගෙන ඒමට නොහැකි නම් මේ කිසිම දෙයක් ඵලදායක නොවන බව මාගේ විශ්වාසයයි’’ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *