ජනපතිටත් කොකා පෙන්වා මුතුරාජවෙල අනවසර ගොඩකිරීම ජයටම කරගෙන යන හැටි..!

(06.01.2017 – 23:30 +0530 – lankaenews.com)

ජාඇළ, දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකක  නීති විරෝධී ලෙස මහා පරිමාණයෙන් සිදුකෙරුණු අනවසර ඉඩම් ගොඩ කිරීමක් පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීමෙන් පසුව පසුගිය හතර වෙනිදා එම ක්‍රියාව මුළුමනින්ම නතර කොට ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනුණු බව ජනාධිපති ලේකම් කාර්යාලය පසුගිය දා  නිවේදනය කළේය. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ නිලධාරීන් සමග ජාඇළ පොලීසියේ නිලධාරීන් ඒ ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමෙන් පසුව ය. නමුත් මෙම නිලධාරීන් එහි යන අවස්ථාවේ එම ස්ථානයේ ඉඩම් ගොඩ කරමින් සිටි පුද්ගලයින් පළවා හැරීමක් මිස ඔවුන් අත්අඩංගුවට ගැනීමක් හෝ එතැන තිබූ ලොරි රථ දෙක සහ බැකෝ යන්ත්‍ර දෙක පොලිස් භාරයට ගැනීමක් සිදු වී තිබුණේ නැත. පොලීසිය කියා තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය කී පරිදි ඉඩම් ගොඩ කළ පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඔවුන්ට නඩු පැවරීමක් සිදු කරන බව පමණි. එහෙත් පසුගිය 4 වෙනිදා පෙරවරු 10.30 ට පමණ මෙම ස්ථානයට පැමිණි නිලධාරීන් පස්වරු 1 ට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගිය සැණින් ටිපර් රථ සහ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම ගොඩකිරීම ඊටත් වඩා කාර්යක්ෂමව සිදු කෙරුණු බව ප්‍රදේශවාසීහු කියති. ඒ අනුව  මේ වන විට එම ගොඩ කිරීමේ ක්‍රියාවලිය මුළුමණින්ම නිමාවීමට ආසන්න බව ද ඔවුහු වැඩි දුරටත් ප්‍රකාශ කරති.

ආසියානු තෙත් බිම් නාමාවලියට පවා ඇතුළත්ව ඇති මුතුරාජවෙල තෙත් බිමට අයත් කොටසක් වන මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇළ දඬුගම් ඔයේ පාළමේ සිට මීටර් 500 ක් පමණ කොළඹ දෙසට වන්නට පාරේ වම් පසිනි. දඬුගම් ඔය සහ ජාඇළ අතර තිබෙන ප්‍රධාන ජල මාර්ග දෙක වන්නේ කළු ඇළ සහ ගැමියන් ‘මෝඩ ඇළ‘ නමින් හඳුන්වන ‍ඓතිහාසික ඕලන්ද ඇළයි. ඉහත කී ගොඩ කිරීම සිදුකෙරෙන ප්‍රදේශය හා මෙකී කළු ඇළත් ඕලන්ද ඇළත් අතර ඍජු සම්බන්ධතාවයක් තිබේ. දඬුගම් ඔය සහ ජාඇළ ගං වතුර කාලයට පිටාර යාමේ දී පිටාර කලාපයක් නොහොත් පිටාර තැන්නක් ලෙස ද මෙම ප්‍රදේශය ක්‍රියා කරයි. ඒ අනුව මෙම ප්‍රදේශවල ගං වතුර  පාලනය වන්නේ ද මෙකී ගොඩ කරමින් පවතින ප්‍රදේශය නිසා ය.

මෙම ප්‍රදේශය ගොඩකිරීමේ මූලික ගැටළුව වන්නේ ගං වතුර කාලයට අත්තනගලු ඔය නමින් ද හඳුන්වන දඬුගම් ඔයේ සහ ජාඇළේ ජලය ගලා බසින්නට ඉඩක් නොමැති වීම නිසා ජනාවාස ප්‍රදේශවල ගං වතුර තත්වයක් හට ගැනීමට මුල් වීමයි. එනම් දැනටමත් ගං වතුර අවදානමක් ඇති මේ ප්‍රදේශවල ගම් වැසියන්ට ඉදිරියේ ගං වතුර නිසා ඇති විය හැකි අවදානම විශාල වශයෙන් ඉහළ යා හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති. දෙවැනි කාරණය නම් එකී ගොඩකරන ප්‍රදේශයේ වටිනාකම කියන්නට බැරි තරම් සුවිශාල කඩොලාන පද්ධතියක් තිබීමයි. මෙකී ඉඩම් ගොඩ කිරීමත් සමග මෙම කඩොලාන පද්ධතිය ද සම්පූර්ණයෙන්ම වැසී විනාශ වී යමින් පවතී. මෙම දැවැන්ත පරිසර සංහාරය ආරම්භ වී ඇත්තේ මීට දෙසතියකට පමණ පෙරය.  පළමුව ඔවුන් සිදුකොට ඇත්තේ ගොඩ කරන පරිශ්‍රයට පිවිසෙන මාර්ගයේ අඩි 25 ක පමණ උසකින් යුතු අඩි 35 ක පමණ පළලකින් යුතු දැවැන්ත කටවුට් එකක් සවි කිරීමයි. මේ නිසා මෙම දැවැන්ත පාරිසරික විනාශය මීගමු පාරේ සිට බලන්නෙකුට කිසිසේත්ම පෙනෙන්නේ නැත.

මෙය මහා පරිමාණ ව්‍යාපෘතියක් බව කිව හැක්කේ එක් දවසකට ටිපර් රථ සිය ගණනක් මෙම ස්ථානයට පස් ගෙන යනු දැකිය හැකි නිසාය. මේවායේ ඉඩම් හිමිකම පිළිබඳව ද විවිධ ප්‍රශ්න තිබේ. එනම් රජයේ ඉඩම්, බෙදා වෙන් නොකළ ඉඩම් සහ නිරවුල් ඔප්පු නැති ඉඩම් ලෙස ය. ඒ අනුව මෙය පැහැදිලි ලෙසම අනවසර ඉඩම් කොල්ලයක් බව ද පෙනෙන්නට තිබේ. ඒ සඳහා මුලින්ම ජනතා විරෝධය එල්ල වූ විට මෙම ව්‍යාපෘතිය පසුපස සිටින බලවතුන් එම ප්‍රදේශයේ තෝරා ගත් ගැමියන් පිරිසකට එක් දිනකට රුපියල් 5000 බැගින් ගෙවා ඔවුන් නිහඬ කර ඇති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. මේ නිසාම මේ ප්‍රදේශවල සිටින බොහෝ දෙනෙකු රුපියල් 5000 බැගින් දෛනිකව අල්ලස් ලබන අය හඳුන්වන්නේ ‘පන්දහේ කෑලි’ නමිනි. එමෙන්ම මෙම ප්‍රදේශයේ සිටින ප්‍රභූන් කීප දෙනෙකුට නිතිපතා රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ගෙවන බවට ද තොරතුරු ලැබී තිබේ. මෙම දැවැන්ත පරිසර සංහාරය පිටුපස ලංකාවේ සුප්‍රකට මූල්‍ය ආයතනයක හිමිකරුවෙකු  සිටින බව ද ගම්මු කියති.

පසුගිය 4 වෙනිදා ජනාධිපතිවරයාගේ නියමයෙන් සිදු කළ වැටලීමෙන් පසුව අධිකරණ භාරයට ගත යුතුව තිබූ අදාළ ස්ථානයේ සිටි පුද්ගලයන් පළවා හැර බැකෝ යන්ත්‍ර සහ ටිපර් රථ එහිම තබා යෑම විශාල රඟපෑමක් බව ගම්මු කියති. ඔවුන් එසේ කියන්නේ එදිනම සවස් කාලයේ ඉහත කී ස්ථානයේ තිබූ විශාල කටවුට් එක ඉවත් කර ඒ වෙනුවට අමානෝ තහඩු සෙවිලි කර එම ස්ථානය පිටතට නොපෙනෙන පරිදි වසා දැමීම නිසාය. ඉන් පසු නැවතත් ගොඩ කිරීම් කටයුතු ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී.

මෙය අයත් වන්නේ ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඬුගම අංක 194 ග්‍රාම නිලධාරී වසමට ය. ග්‍රාම නිලධාරීවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම මධ්‍යම පරිසර අධිකාරයේ නිලධාරීන්, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ නිලධාරීන්, ජාඇළ පොලීසිය සහ ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලඥයින් යන කිසිවෙකුත් මෙම ක්‍රියාව හෙලා දකින්නේ හෝ නැත. ඒ අනුව මෙම පරිසර සංහාරය යෝධ හස්තයකින් සිදු කරන වැඩක් බව පැහැදිලිය.

වෙන් වෙන් වශයෙන් ස්ථාන දෙකක සිදු වන මෙම ගොඩ කිරීම පසුව එක් විශාල ගොඩ කළ ඉඩමක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ඇති බව ද පෙනී යයි. ඒ අනුව මෙසේ ගොඩ කරන මුළු තෙත් බිම් ප්‍රමාණය අක්කර 30 කට පමණ ආසන්නය. මෙය දැනට පවත්නා අණ පනත් අනුව මෙය බරපතල පාරිසරික අපරාධ ගණයට වැටෙන ක්‍රියාවලියකි.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙම සංහාරය නතර කොට ඇති බවට අසත්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බැවින් පිටස්තර බොහෝ දෙනෙකු සිතන්නේ මේ වනවිට මෙම විනාශය සැබැවින්ම නතර වී ඇති බවකි. නමුත් ඇත්ත වශයෙන්ම එම විනාශය තවමත් පෙරටත් වඩා  ශීඝ්‍රයෙන්  සිදුවෙමින් පවතී. ඒ අනුව ඕනෑම කෙනෙකුට මූලික වශයෙන් සිතෙන්නේ මෙම සෙප්පඩ විජ්ජාවට ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපතිතුමාත් කිනම් ආකාරයකින් හෝ සම්බන්ධ බවකි.

දුලංජලී මුතුවාඩිගේ
මුතුරාජවෙල මිතුරෝ සංවිධානය, සීදුව

මුතුරාජවෙල ගොඩ කිරීම ගැන සාක්කි සහිත වැඩි දුර තොරතුරු දැන ගැනීමට පහත ෆේස් බුක් පිටුවට පිවිසෙන්න :
https://www.facebook.com/Muthurajawela-wetlands-Dadugama-356427598070614/

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *