අද මධ්‍යම රාත්‍රියේ සිට රටින් ගෙන්වන සම්බා, නාඩු, රතු කැකුළු සහල් වල බදු වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කරයි

(06.01.2017 – 23:55 +0530 – lankaenews.com)

තොග සඟවා සහල් මිල ඉහල යැවූ කූඨ වෙළෙඳුන්ට එරෙහිව ජනතාවට සහන දීමට ගත් තීන්දුවක් – ජීවන වියදම පිළිබඳ ඇමැති අනුකාරක සභාව

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් සඳහා බදු අඩු කිරීමට රජය තීරණය කළැයි මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අද සවස නිල නිවේදනයක් මගින් දන්වා සිටී. එම නිවේදනයේ මෙසේ දැක්වේ.

නියඟය හේතුවෙන් ඉහළ ගිය සහල් මිල හමුවේ දුෂ්කරතාවයට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පනවා ඇති බදු අඩු කිරීමට රජය තීරණය කරයි.

අද (06) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව මෙම තීරණයට එළැඹින. මුදල් අමාත්‍ය රවි කරුණානායක, විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ධීවර ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර සහ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අනුකාරක සභාව රැස්විය. වෙළෙඳපොලේ පවතින සහල් මිල සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.

ඒ අනුව සහල් කිලෝ ග්‍රෑම් එකක් ආනයනය කිරීමේ දී පනවා තිබූ රුපියල් 50/- ක් වූ රේගු බද්ධ (CID), 15% ක් වූ එකතු කළ අගය මත බද්ද (VAT), 7.5% ක මට්ටමේ පැවැති වරාය හා ගුවන් තොටුපොල බද්ද (PAL) සහ 2% ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) ඉවත් කිරීමට තීරණය කෙරිණ.

මෙම සියළු බදු වෙනුවට ආනයනික සහල් කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 15 ක් වූ අඩු ප්‍රමාණයක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් (SCL) පමණක් අයකරනු ඇත.

මෙසේ බදු ඉවත් කරන සහල් වර්ග වන්නේ සම්බා, නාඩු සහ රතු කැකුළු වේ. බාස්මතී සහල් වෙනුවෙන් මෙම සහනය හිමි නොවේ.

ජීවන වියදම පහත හෙළීමේ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව මෙම තීරණය ගනු ලැබුවේ දැනට දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති සහල් මිල හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීමේ පියවරක් වශයෙනි. එසේම අනවශ්‍ය ලෙස සහල් තොග රඳවාගෙන ඉහළ මිලට අලෙවි කළ කූඨ වෙළෙඳුන්ගේ ක්‍රියා කලාපයන්ට ප්‍රතිචාර වශයෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.

අධ්‍යක්ෂ ජෙනරාල්
වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *