හම්බන්තොට විරෝධතාවයේ නියැලුණු 52 ක් අත්අඩංගුවට

(07.01.2017 – 22:16 +0530 – lankatruth.com)

හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝග නොතකමින් හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයේදී පොදු දේපොළවලට අලාභහානි කිරීමට සැකපිට 52කු අත්අඩංගුවට ගෙන තිබේ.

එම චෝදනාවටම අදාළව තවත් පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

කෙසේ නමුත් මෙතෙක් අත්අඩංගුවට ගත් පිරි අතර ප්‍රභල දේශපාලනඥයන් කිසිවෙකුත් නොමැති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14 කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගිය 06 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නමුත් ඊයේ (06) රාත්‍රියේ වලව විහාරස්ථානයේදී භික්ෂූන් වහන්සේලා සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාට නියෝග කර තිබුණේ එම අධිකරණ නියෝගය ඉවත්කරගැනීමට පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසය.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍යවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයාව සහභාගී කරවාගෙන තිබුණේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් වන අතර අදාළ අතුරු තහනම භික්ෂුන් වහන්සේ පස් නමකටද හිටපු කථානායක චමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 26 දෙනකුට නිකුත් කර තිබුණි ෴

+++++++++++++++++++++++++++++

ජනතා විරෝධයට එල්ල කළ ප්‍රහාරය ඉතා පිළිකුලෙන් හෙළා දකිනවා
(07.01.2017 – 16:26 +0530 – lankatruth.com)

හම්බන්තොට වරාය හා ජනතාවගේ ඉඩම් අක්කර 1,5000 ක් චීනයට පවරාදීමට එරෙහිව නැගුන ජනතා විරෝධයට එල්ල කළ ප‍්‍රහාරය ඉතා පිළිකුලෙන් හෙළා දකිමින් ජාතික භික්‍ෂු පෙරමුණ මාධ්‍ය වෙත් නිවේදනයක් යොමු කර තිබේ.

ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උධිත හිමියන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහතින් පල වේ :

‘‘හම්බන්තොට වරාය හා ජනතාවගේ ජීවිත හා සමාන ඉඩම් අක්කර 15 දහසක් චීනයට වසර 198 කට පවරාදෙමින් කරන්නට යන ද්‍රෝහී බිලිදීමට විරෝධය පෑ මහා සංඝරත්නයට හා මහජනතාවට පොලීසිය යොදවා කළ පහරදීම ඉතා පිළිකුල් සහගතව හෙළා දකින්නෙමු.

සටන්කාමී එම මහජනතාවට හා මහ සඟරුවනට ජාතික භික්‍ෂු පෙරමුණ ආශිර්වාදාත්මක ශක්තිය එකතුකරන අතර ප‍්‍රහාරයෙන් පීඩාවටපත්ව රෝහල්ගතවූ සැමට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන්නෙමු.

මෙවැනි ප‍්‍රහාර වික‍්‍රසිංහ මහතා ප‍්‍රමුඛ හවුල් ආණ්ඩුවේ නායකයින්ට නුහුරු ඒවා නොවේ. වික‍්‍රමසිංහලා, චන්ද්‍රිකාලා, මහින්දලා, සිරිසේනලා ආදී සියලු පාලකයින් ජනතාවගේ කරපිටින් බලයට පැමිණ ජනතාවට පස්ස හරවා ජනයා මර්දනය කරන්නට කටයුතු කළ අතීතය හා වර්තමානය අමතක නැති ජනතාව වීදි බැස, මර්දන හමුවේ සටන් වදින්නේ තම අයිතිය උදෙසා මිස පාලන බලය ඉල්ලා නොවේ.

මහා නායක හිමිවරුන් ඇතුළු මේ රටේ ජනතාව නැවත වරක් රැවටීමට පත්කොට අද දින ඉහත බිලිදීම සඳහා වන ගිවිසුම අත්සන් කර ඇත. එහෙත් රටේ පාලකයින් පුද පූජා රැගෙන මහ නාහිමිවරු වන්දනා කරමින්, මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් රටට කීවේ එබඳු ගිවිසුම් අත්සන් නොකරන බවයි.

දෙබිඩි, දෙමුහුන් ආණ්ඩුව මෙවැනි ප‍්‍රහාර තව කොතෙක් එලල් කළද ජනතා ප‍්‍රශ්න හමුවේ ඉදිරියට එන ජනතා බලවේග නතර කිරීමට ආණ්ඩුවට නොහැකිවනු ඇත. කපටි හා නරුම පාලකයින්ගෙන් මීට වඩා යමක් අපේක්‍ෂා කළ නොහැකි හෙයින් මෙවැනි නරුම පාලකයින් හා නරුම පාලනයන් පෙරළා ජනතාවට වගකියන සැබෑ ජනතා පාලනයක් ගොඩනගන තෙක් ජනතාවගේ මේ සටන්කාමී නැගිටීම් ඉදිරියට ගෙනයායුතු බව අපි තරයේ අවධාරණය කරන්නෙමු.

මෙයට,
ප‍්‍රධාන ලේකම්,
ජාතික භික්‍ෂු පෙරමුණ’’

+++++++++++++++++++++++++++++

විරෝධතා කරුවන්, ආරක්ෂක අංශ නිලධාරීන් 21 කට තුවාලයි
(07.01.2017 – 15:41 +0530 – lankatruth.com)

හම්බනතෝට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කළ විරෝධතාවය අතරතුර ඇති වූ ගල් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තුවාලකරුවන් අතර විරෝධතාවයේ නිරතවූවන්, කර්මානතපුරයේ සමාරම්භක උත්සවයට පැමිණි ජනතාව සහ ආරක්ෂක අංශ නිලධාරීන්ද සිටින බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් මනතුංග මහතා සඳහන් කරයි.

හම්බන්තොට ඉඩම් අක්කර 15000 ක් චීනයට පැවරීමට සහ හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව අද (07-01-2017) උදෑසන පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසින් උත්සව භූමියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ අතර එය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

එහිදී විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ද තුවාල ලැබූහ.

++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++

අම්බලන්තොට නගරයේ උණුසුම් තත්වයක්
(07.01.2017 – 13:20 +0530 – lankatruth.com)

හම්බන්තොට වරාය හා හම්බන්තොය ඉඩම් අක්කර 15,000 ක් චීනයට පවරමින් ඉදිකිරන කර්මානත පුරයට විරෝධය දක්වමින් පැමිණි පිරිස ආපසු යමින් සිටියදී අම්බන්තොට නගරයේ තැනින් ටයර් පුළුස්සමින් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට නගරය පුරා ගිණි ජාලාවන් දක්නට ලැබෙන අතර මේ වනවිට කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් එම විරෝධතා කරුවන් පලවා හැරීමට බැටන් පොලු සහ කඳුළු ගෑස් ප්‍රහාර දියත්කමින් සිටින බවද වාර්තා වේ.

අදාළ විරෝධතාවය සඳහා ජනතාව කැඳවාගෙන පැමිණි පිරිසට එම ජනතාව පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ ෴

++++++++++++++++++++++++++++++

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
(07.01.2017 – 12:41 +0530 – lankatruth.com)

හම්බන්තොට වරාය හා හම්බන්තොය ඉඩම් අක්කර 15,000 ක් චීනයට පවරමින් ඉදිකිරන කර්මානත පුරයේ සමාරම්භක උත්සවය ආරම්භ වන අද (07) දින එයට විරෝධය දැක්වීමට භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කර ඇති විරෝධතාවයට සහභාගීවීම සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙමින් සිටි ජනතාවට මග හරස් කළ කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් අවට නිවාසවලටද කඳුළුගෑස ප්‍රහාර එල්ල වී ඇත. එම නිවැසියන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් මෙම පරිශ්‍රයේදී උද්ඝෝෂකයින් සහ එම උත්සවට සහභාගී වූ පිරිසක් අතර ගල්මුල් ප්‍රහාරයක්ද සිදු ව තිබේ.

++++++++++++++++++++++++++

හම්බන්තොට පාරවල් වසාදමයි
(07.01.2017 – 11:58 +0530 – lankatruth.com)

හම්බන්තොට වරාය හා හම්බන්තොය ඉඩම් අක්කර 15,000 ක් චීනයට පවරමින් ඉදිකිරන කර්මානත පුරයේ සමාරම්භක උත්සවය ආරම්භ වන අද (07) දින එයට විරෝධය දැක්වීමට භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කර ඇති විරෝධතාවයට සහභාගීවීම සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වන ලෙස පොලිසිය යොදා මාර්ග අවහිර කර ඇති බව වාර්තා වේ ෴

++++++++++++++++++++++++++

චමල්, රනිල්, සාගල භික්ෂු සටන වැලැක්වීමේ දැඩි උත්සාහයක
(07.01.2017 – 08:07 +0530 – lankatruth.com)

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දක්ෂින සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (06) රාත්‍රියේ අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේදී දිස්ත්‍රික්කයේ මහා සංඟයා වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

හම්බන්තොට වරාය සහ හම්බන්තොට ඉඩම් අක්කර 15,000 ක් චීනයට පැවරීම සඳහා අද (07) අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුමට එරෙහිව අද පැවැත්වෙන විරෝධතාවය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලිසිය ඊයේ කටයුතු කර ඇති අතර එහිදී ප්‍රදේශයේ මහජන සාමය කඩවී කැළඹිලි සහගත තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසට භික්ෂුන් වහන්සේ හතර පස් නමකටද හිටපු කථානායක චමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු 27 දෙනෙකුටද අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.

එම අධිකරණ නියෝගය පැවතියදී වුවද හම්බන්තොට වරාය හා ඉඩම් විකිණීමට එරෙහිව අද මහ සංඟරත්නයේ මූලිකත්වයෙන් විරෝධතා පාගමණක් පැවැත්වීමටත් සංඟ ආඥාවක් නිකුත් කිරීමටත් කටයුතු සූදානම් වෙමින් පැවති පසුබිමක් තුළ හදිසියේම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයා සම්බන්ධ කරගනිමින් චමල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාව සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රදේශයේ දැඩි කතා බහක්ද ගොඩනැගෙමින් පවතියි.

චීන සමාගම්වලට ලබාදෙන්නේ අක්කර 1,235 ක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇති අතර ජනතාව පදිංචි ඉඩම් චීනයට පවරාදෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ එයට විරුද්ධව ක්‍රියා කරන බව භික්ෂූන් වහන්සේ අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

කෙසේ නමුත් අක්කර 1,235 කට වඩා ප්‍රදේශයේ ඉඩම් පවරා නොගන්නා බවට මෙහිදි භික්ෂූන් වහන්සේලා ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර අත්තේ පවරා ගැනීමට නියමිත අක්කර 15,000 න් ඉතිරි ප්‍රමාණය ලබාගන්නේ කුමන ප්‍රදේශවලින්දැයි තීරණය කිරීම සාගල රත්නායක අමාත්‍යවරයාට සහ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට භාරදෙන බවත්ය. එය ඔවුන් දෙදෙනාගේ මූලිකත්වයෙන් සිදු වනු ඇතැයිද අග්‍රාමාත්‍යවරයා භික්ෂූන් වහන්සේ ඉදිරියේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ මොහොතේ තමන් වහන්සේලාට කිසිවෙකුත් විශ්වාස කළ නොහැකි බැවින් තම විරෝධතා ක්‍රියාමාර්ග නොනවත්වා ක්‍රියාත්මක කරන බවත් එය අඩියක් හෝ පස්සට නොගන්නා බවත් එහිදී භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ අධිකරණ නියෝගය නිකුත් වීමත් සමග ක්‍රියාත්මක වූ චමල් රාජපක්ෂ මහතා මෙම විරෝධතා ලිහිල් කිරීම සඳහා දැඩි උත්සාහයක යෙදී සිටින බවය. මෙම ඉඩම් පවරාගැනීමේ ව්‍යාපෘතියට තමන්ද හවුල් වන්නේ යැයි භික්ෂූන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කර භික්ෂූණ් වහන්සේලාගේ විරෝධතා ක්‍රියාමාර්ග අඩියක් හෝ පස්සට තල්ලු කිරීට ඔහු උත්සාහ ගත්තද එය සීතූ පරිදි සාර්ථක වී නොමැති බවද දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටිති.

හම්බන්තොට වරාය සහ හම්බන්තොට ඉඩම් අක්කර 15,000 ක් චීනයට පැවරීමට එරෙහි සටන් ක්‍රියාමාර්ග පාවාදීමට චමල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින්නේයැයි සැක සංඛා මතුවන්නේ යැයි එම ඉඩම් පැවරීමට එරෙහි බොහෝ පුද්ගලයින් ප්‍රකාශ කරමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *