ෆොක්ස්වාගන් සමාගම ලංකාවේ ආයෝජනයක් කර නැහැ – අගමැති කියයි

(06.01.2017 – newsfirst.lk/sinhala)

කුලියාපිටියේ ඉදිවන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව රටට අදායම් අහිමි කරන තවත් ව්‍යාපෘතියක් විය හැකි බව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය අනතුරු හඟවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අමතර කොටස් ලෙස ගෙන්වා එකලස් කර මෝටර් රථ මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීම රටට ආදායමක් ලැබෙන මාර්ගයක් නොවන බව ය.

තම සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ කිසිදු ආයෝජනයක් මෙතෙක් සිදු කර නැතැයි එම සමාගම ඊයේ නිව්ස්ෆස්ට් සමග තහවුරු කළේ ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේ ය :

‘‘රැකියා බිහිවෙන මේ ප්‍රදේශවල දැන් රැකියා බිහිවෙන කර්මාන්තකරණය අපි ආරම්භ කරද්දී ඒකට විරුද්ධවත් ව්‍යාපාර යනවා එකක් හම්බන්තොට තිබුණා. තවත් මේ ව්‍යාපාර කඩාකප්පල් කරනවා තරුණ තරුණයින්ට රැකියා දෙන ආදායම් මාර්ග තියෙන හොඳ ඒවා, මං මේ දැක්කා නිවුස්ෆස්ට් කියන ආයතනය කියනවා ෆොක්ස්වාගන් සමාගමේ ආයෝජනයක් නෑ කියලා වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි සමාගමට, ඕක එහාට යන්න වැඩැක් නැහැ මගෙන් ඇහුවනම් මං කියන්නම් නැහැ කියලා. 2015 ඕක එද්දී අපි කිව්වා ෆොක්ස්වාගන් සමාගම සමග ආයෝජනයක් ගෙන්න ඕනේ කියලාග ඒත් 2015 අවසන් වෙනකොට 2016 මුල් භාගයේ දී ෆොක්ස්වාගන් ආයතන විශාල ජාත්‍යන්තර අර්බුධයකට පරීක්ෂණයකට ලක්වෙලා තියෙද්දී විශේෂයෙන්ම ආණ්ඩුවෙන් කිව්වා ෆොක්ස්වාගන් ආයෝජනය ගන්න එපා‍..’’

ෆොක්ස්වාගන් සමාගමේ ආයෝජනය මෙරට ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව අගමැතිවරයා කරන ප්‍රකාශයට අදාළව අද අප යළිත් එම සමාගමෙන් විමසුවේය.

ඊමේල් පණිවුඩයක් මගින් අපි එම සමාගමෙන් විමසුවේ 2015 සැප්තැම්බර් මාසයට පෙර මෙරට කර්මාන්ත ශාලාවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා පැවත්වුවා ද යන්න ය.

ෆොක්ස්වාගන් ආයතනයේ ආයෝජන වළක්වමින් ශ්‍රී ලංකා රජයේ නිල දැනුම්දීමක් තිබේදැයි අප විමසුවා ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ෆොක්ස්වාගන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ ‘කැතරින් හොමන්’ මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකාවේ තම සන්නාමයට අදාලව ආයෝජනයක් සිදු කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නොකල බව ය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ සඳහන් කළේය :

‘‘මේ භූමි ප්‍රදේශය මහා භාරකාරය යටතේ තිබුණු ‍භූමි ප්‍රදේශයක්, එහා පැත්තේ අක්කර 50ක් අපි වෙන්කරලා තියෙනවා ෆොක්ස්වාගන් කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න ඒක දෙසැම්බර් මාසේ මුල්ගල තියන්න බලාපොරොත්තු වෙනවා.පොඩ්ඩක් පරක්කු වූ වත් මං දැක්කා ෆේස්බුක් එකේ විවිධ දේවල් යනවා නමුත් අපි පොඩ්ඩක් පරක්කු වුනත් ඒකත් මුල්ගල් තියනවා තව දෙසැම්බර් වෙනකොට දැන් ඒ ඉඩම් පවරගෙන සියල්ල ඉවරයි දැන් ඉදිරි කටයුතු ටිකත් තව තියෙනවා දෙසැම්බර් මාසේ මුල්ගල තැබීමට නියමිතයි’’

අමාත්‍ය සුජීව සේනසිංහ මහතා :

‘‘ෆොක්ස්වාගන් කර්මාන්තය අපිට ගෙන්න පුළුවන් ඉදිරි අනාගතයේදී, ඒ එනකන් අනෙකුත් යුරෝපීය වාහන නිර්මාණය කරන ආයතන කිහිපයක් එකතු කරලා මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් වාහනයක් නිෂ්පාදනය කරන්න කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න කටයුතු යෙදුවා.මෙහි දී විශාල රැකියා ප්‍රමාණයක් 20000ක් වගේ සපන්න පුළුවන් කියන පදනම උඩ තමයි අපි මේක ඇති කළේ’’

කුලියාපිටිය කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා සෙනොක් ඔටෝ මොබයිල්ස් සමාගම සමග ආයෝජන මණ්ඩලය ඇති කරගත් ගිවිසුම අනුව වසර 03 ක කාලයක් දේශීය වෙළෙඳපොළට මෝටර් රථ නිෂ්පාදනය කරනු ලැබේ.

පළමු වසරේ දී 500ක් දෙවන වසරේ දී 750ක් හා තුන්වන වසරේ 1000ක් ලෙස මෝටර් රථ නිපදවීමට මෙම ගිවිසුමෙන් අවස්ථාව ලබා දී තිබේ.

සිව්වන වසරේ දී වාහන 1500 ක් නිපදවීමට ඔවුන්ට අවසර ලැබෙන අතර ඉන් 75 ක් පමණක් අපනයනය කරනු ලැබේ.

මේ අනුව, සෙනොක් ඔටෝ මොබයිල් සමාගමට විදේශ සෘජු ආයෝජනයක් ලෙස සහන ලබා දෙන්නේ කුමන පදනමකින්දැයි ගැටලුවක් මතු වේ.

රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වනු ඇතැයි පැවසූව ද ආයෝජන මණ්ඩලය හා අදාළ සමාගම අතර ගිවිසුමෙන් ඒ පිළිබඳව කිසිදු එකගතාවක් ඇති කර නොගැනීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් අවශ්‍ය වුවහොත් අනුමැතිය ලබාගෙන විදේශිකයින් සේවයට යොදාගත හැකි බව ගිවිසුමේ සඳහන් වේ.

වසන්ත සමරසිංහ මහතා :

‘‘ෆොක්ස්වාගන් කර්මාන්ත ශාලාව පිළිබඳ සාකච්ඡාව අද වෙනකොට හරිම පැහැදිලියි රටටම විතරක් නෙවෙයි මුලු ලෝකයටම බොරු කරලා අගමැතිවරයා මේ රටේ ජනතාව රවට්ටලා තියෙනවා.ෆොක්ස්වාගන් ආයතනය මේ වෙන කොට රටට කරලා තියෙන ප්‍රකාශය අනුව ලංකාවේ එවැනි ආ‍යෝජනයක් කරන්නේ නැහැ කියන එක තහවුරු කරලා තියෙනවා .ඒ නිසා ජාතියෙන් සමාව ගත යුතුයි මේ ‍කරන වංචාව පිළිබඳව. එහෙම නැත්තන් කරුණාකරලා ගෙදර යන්න ඕනේ ‍මේ විදිහේ බොරු නොකර.දැන් කිව්වා රස්සා 3500ක් දෙනවා කියලා .ඉතින් අපි අහනවා කොහෙන් ද රස්සා දෙන්නේ…’’

පූජ්‍ය කොස්ගහඉන්නේ ජිනානන්ද හිමි :

‘‘මේ ෆොක්ස්වාගන් කාර් කම්පැනියක් හදන්නේ කොහෙද ? ඒ අයිති සමාගම කියනවනම් නෑ කියලා, ඒ රටේ තානපති නැහැ කියනවනම් ඇයි මේ අගමැතිතුමා මේ තරම් මේ බොරු කිය කිය මුලාවට පත් කරන්‍නේ? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හිතාගෙන ඉන්නේ අපි මේ තණකොල කන මිනිස්සු කියලා..’’

පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි :

‘‘බලය තියෙන කොට මොලය සම්පුර්ණයෙන්ම නැහැ. බලය නැති වේලාවට මොලය සම්පුර්ණයෙන් ම තියෙනවා. ජනතාව බලය දුන්නාට පස්සේ මුන් ටික පිස්සු බල්ලෝ ටික වගේ නටනවා. ෆොක්ස්වාගන් ආයතනයක් ලංකාවේ නැත්නම් රුපියල් මිලියන ගණන් දීලා මේ වගේ ආයතන පිහිටු වීම සදහා රැස්වීම් තියලා උත්සව පවත්වලා මේ කරපු වියදම් කවු ද ගෙවන්නේ කාගේ සල්ලි ද ඔබතුමාගේ රජයේ ඉන්න මැති ඇමතිවරුන්ගේ සල්ලි ද එහෙම නැත්නම් ඔබතුමා‍ලාගේ ඒ මැති ඇමතිවරුන්ගේ අම්මලාගේ තාත්තලා ගෙනාපු සල්ලි ද?’’

මේ අතර රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා අද පෙරවරුවේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැ දුටු අවස්ථාවේ දී ෆොක්ස්වාගන් පිළිබඳව අදහස් පළ විය.

සුජීව සේනසිංහ මහතා :

‘‘දැන් අපි ග්ලවුස් ෆැක්ටරි එකක් ඇරියා.ඒ වගේම අපේ හාමුදුරුවනේ රෙදි ‍පිළි අපි එකක් ඇරියා’’

මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් :

‘‘වොක්ස්ගන් එකක් අරිනවා කිව්වා ඒක දැන් නැහැ කියන්නේ’’

ඊට පිළිතුරු ලෙස සුජිව සේනසිංහ මහතා මෙසේ ප්‍රකාශ ක‍ළේය :

‘‘නැහැ, හාමුදුරුවනේ මේකයි ඒකේ ෆොක්ස්වාගන් එක අපේ හාමුදුරුවනේ ජර්මන් එම්බසියෙන් එකෙන් ගෙනාවේ. එතකොට අපේ හාමුදුරුවනේ ෆොක්ස්වාගන් කර්මාන්තයට ප්‍රශ්ණයක් ආවා මේ දුම් සහතිකය සදහා යුරෝපනයෙන් නිකන් රටවල් නෙවේ. යුරෝපයේ අපේ හාමුදුරුවනේ දශම ගානක් වුනත් දුම් මේව්වා වුනොත් දැන් අපේ එහෙම බලපාන්නේ නැහැ. යුරෝපයේ එහෙම ප්‍රශ්ණයක් ආවා ෆොක්ස්වාගන් කර්මාන්ත ශාලාවට ඩොලර් බිලියන 800 ක් ගෙවන්න වුනා වන්දි වශයෙන්. එතකොට ඒගොල්ලන් කිව්වා අපිට මේක පටන් ගන්න තියෙන අවස්ථාව දැන් අඩුයි අපිට මුදල් ප්‍රශ්ණයක් තිබුනා. එතකොට අපි ඒ කර්මාන්තයේම වෙනත් යුරෝපීය කර්මාන්ත දෙක තුනක් එකතු කරගෙන අපේ හාමුදුරුවනේ දැන් වාහන නිර්මාණය කරන්න බොහෝ දුරට කෑලි ගෙනැල්ලා පුලුවන් කෑලි මෙහේ නිර්මාණය කරලා පටන් ගන්න හදන්නේ..’’

++++++++++++++++++++++++++++++

සිරස නිවුස් ෆර්ස්ට් මගෙත් එක්ක තරහට වොක්ස්වැගන්ලගෙන් අහලා ; ඕක මගෙන් ඇහුව නම් කියල දෙනවා – අගමැති රනිල්ගෙන් පිළිතුරු
(06.01.2017 – gossiplankanews.com)

පසුගියදා කුලියාපිටියේ ඉදිකිරීම ඇරඹූ වාහන එකලස් කිරීමේ කම්හල ජර්මනියේ වොක්ස්වැගන් සමාගම හාන්කවිසියක්වත් නොදැන ලංකාවේ ඇරඹූ එකක් බව සිරස නිවුස් ෆර්ස්ට් ඊයේ හෙළිදරව් කර තිබුණා.

මෙම කම්හලින් රැකියා අවස්ථා උදාවීම පිළිබඳ ජනතාවට සතුටු වියහැකි නමුත් වොක්ස්වැගන් නම පාවිච්චි කරමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදී පසුව ඒ බව සඟවා දේශපාලන අවාසි සිදුවීමේ කාරණාව ගැන හිතා වොක්ස්වැගන් නොමැති බව නොකියාම වෙනත් ආකාරයකින් ඊට සමාන සලකුණු පාවිච්චි කරමින් ජනතාව මුළා කිරීමක් රජය සිදු කර තිබීම මේ වනවිට ආන්දෝලනයක් ඇති කර තිබේ. කල් ඇතිවම ඇත්ත කියන්න තිබුණා නේද යන්න ඇතැමුන් විමසන පැනයයි.

මෙම හෙළිදරව්වෙන් පසු වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඇත්ද නැත්ද යන්න වොක්ස්වැගන් සමාගමෙන් විමසීමට පෙර තමාගෙන් විමසීමක් කළා නම් එයට පිළිතුර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිරසට පිළිතුරක් දෙමින් උත්සවයකදී පවසා තිබේ.

වොක්ස්වැගන් සමාගමේ ආයෝජන නැතිව වොක්ස්වැගන් වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් ඇතිකරන බවට තීරණය කරනු ලැබුවේ 2016 වසරේ මූලාරම්භයේදීම බවත් තමා සමග පවත්නා පුද්ගලික තරහකට අන් අය මනස විකෘති කරගත යුතු නැති බවත් ඔහු එහිදී කියා ඇත.

එම වීඩියෝව පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *