බේරේ වැව අවට පදිංචි ජනයාට ස්ථීර නිවාස

(08.01.2017 – 13:10 +0530 – sinhala.adaderana.lk)

බේරේ වැව අවට පදිංචි ජනතාවට මේ වසර අවසානවීමට ප්‍රථම ස්ථීර නිවාස ලබාදෙන බව මහා නගර සහා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

බේරේ වැව ආශ්‍රිතව ඉදිකරන ලද මැකලම් පිවිසුම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද දිනය මේ රටේ ඉතිහාසයේ අතිශය වැදගත් දිනයක්. මීට වසර දෙකකට පෙර මේ රටේ සාමාන්‍ය ජනතාව නව වෙනසක් මේ රට තුළ ඇති කළා. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් එතුමා මේ රටේ ජනාධිපතිධූරයට පත් කළා. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මේ රටේ අග‍්‍රාමාත්‍යධූරයට පත් කරලා ගෝත‍්‍රවාදී විදිහට අවුරුදු 60 ක් කුලල් කා ගත්ත පක්ෂ දෙකක් එකතු වෙලා සහජීවන ආණ්ඩුවකට මගපෙන්වලා අදට වසර දෙකක්.

අපි ඒ නිසා තමයි අද මේ වරාය අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ මැකලම් පිවිසුම විවෘත කරන්න අද දිනයේ තීරණය කළේ. මේක ඉදිරි දශකයේ බේරේ වැව අවට සිදුවන ඒ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානය ගොඩනැංග්වීමේ වැඩපිළිවෙලේ ඒ යෝධ වැඩපිළිවෙලේ පළවෙනි පියවර හැටියට අපි දකිනවා. අපි දන්නව මේ බේරේ වැව පිළිබඳව නොයෙක් මාධ්‍ය නොයෙක් අවස්ථාවල නොයෙක් ආකාරයේ ප‍්‍රචාරයන් කරනවා. සෑම කාලයකම ජල මට්ටම අඩු උනහම බේරේ වැව අවට ප‍්‍රදේශය විශාල දුර්ගන්ධයක් පැතිර යනවා. එවැනි අවස්ථාවලදි අදාල ආයතනවලට බැන වැදීම තමයි ඒ සෑම මාධ්‍යයකින්ම සිද්ධ වෙන්නේ.  නමුත් හේතුඵලවාදීන් හැටියට අපි මුලින් හඳුනා ගන්න  ඕනේ මොකක්ද මේ බේරෙට වෙලා තියෙන හේතුව කියලා. මේ බේරෙට වෙලා තියෙන හේතුව ප‍්‍රධාන රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන 70 වකට අධික ප‍්‍රමාණයකුත් තව තව කුඩා පරිමාණයේ විවිධ පුද්ගල නිවාස සහ අනෙකුත් දේවල් දහසකට අධික ප‍්‍රමාණයකින් මේ බේරේ වැවට තමන්ගේ කැලි කසල, අප ද්‍රව්‍ය, විශේෂයෙන්ම රෝහල් අපද්‍රව්‍ය පවා එකතු කිරීමයි. ඒ නිසා දශක ගාණක් මුළුල්ලේ මේ වැව් ප‍්‍රදේශය විශාල පරිසරය ව්‍යසනයකට, විනාශයකට හසුවෙලා තියෙනවා.

මේ ප‍්‍රදේශය පෘතුගීසි යුගයේ, ලන්දේසි යුගයේ, ඉංග‍්‍රීසි යුගයේ ඉතාම මනරම් ප‍්‍රදේශයක් හැටියට පැතිරිලා තියෙනවා. ඉංග‍්‍රීසීන්ගේ එක වාර්තාවක තියෙනවා බේරේ වැව හරහා පීනාගෙන ආපු විශාල දැවැන්ත හස්තියෙක්, දැනට වරාය පිහිටල තියෙන කොටු දොර කඩාගෙන කොටුවට කඩා වැදිලා ඒ කොටුව ඇතුලේ කරපු මහා වික‍්‍රමයක් ගැන ඉංග‍්‍රීසින්ගේ ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. මේ වැව අවට  විශාල ඇත් රංචුවක් වාසය කරපු බවට සාක්ෂියක් තමයි බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය සමග ඇතිකරගත් එකගතාවය අවස්ථාවේදී මේ ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් හැටියට පවත්වගන්නැයි කියලා යුරෝපයේ එකගතාවයක් පැරීසියේ ඇතිවේච අවස්ථාවේදී, මෙහි පවත්වපු සාදය කඩා කප්පල් කරලා තියෙන්නේ මේ අවට වැවේ හිටපු විශාල හස්ති රංචුවක් විසින්. කාලයක් කොලොං ගග නමින් හඳුන්වපු,  පසුව කොළඹ වැව නමින් පරිවර්තනය වෙච්ච මේ වැව් ප‍්‍රදේශයේ එවැනි පසුබිමක් තිබිලා තියෙනවා. සතා සිව්පාවට නැවත ජීවත් විය හැකි ඒ තත්වය අපි නැවත ඇතිකරගන්න  ඕනේ.

ඒ සඳහා වසරක පමණ කාල සීමාවක් අපේ නිලධාරීන් ඉතාම වෙහෙස මහන්සිවෙලා සිංගප්පූරුවේ තමසෙක් ආයතනයේත් ආධාර ඇතිව විධිමත් සැලසුකමක් අපි හඳුනාගෙන තියෙනවා. කොහෙන්ද මේ බේරේ වැව දූෂණය වෙන්නේ, ඒ වැව පිරිසිදු කරන්නේ කොහොමද,ඒ අවට ප‍්‍රදේශය කොහොමද සංවර්ධනය කරන්නේ කියන එක ගැන ඒ විශිෂ්ඨ සැලසුමේ සඳහන් වෙලා තියෙනවා. ඒ සැලසුම කි‍්‍රයාත්මක කිරීමට සිංගප්පූරුවේ, විද්‍යාත්මක අවවාද උපවාදත්, අරමුදල් සහය සහ තාක්ෂණික සහයත් අපට ලැබිලා තියෙනවා. ඒ නිසා මා ඉල්ලා සිටිනවා මේ බේරේ වැවත් නැවත මත්ස්‍යයින්ට, ජලජ ජීවීන්ට ඉන්න පුළුවන් තත්වයක් ඇති කරන්න, මේ බේරේ වැව හරහා තව කෙටි කාලයකින් පීහිනා යන්න පුළුවන් තත්වයකට පත් කරන්න අපේ නිලධාරීන් සියළු දෙනාම ඇප කැප වෙලා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ බේරේ වැව වටේ සිටින පැල්පත්වාසීන්ට අපි මේ වසර ඇතුළත නිවාස ලබාදෙන්නෙ කටයුතු කරනවා. ඒ වගේම බේරේ වැව වටේට අපි රේඛිය උද්‍යානයක් සැලසුම් කරනවා පමණක් නෙමෙයි, මේ බේරේ වැව වටේට තිබෙන ඉඩම් අක්කර 150 ක් පමණ සංවර්ධනය කරන්න, නව වාණිජ නගරයක් ඇති කරන්න අපි කටයුතු කරනවා. මේ වාණිජ නගරය අපි කෙළින්ම වරාය මූල්‍ය නගරයත් සමග සම්බන්ධ කරනවා. අනෙක් පැත්තෙන් අපි මෙය, මේ ඞී.ආර්. විජේවර්ධන මාවතට එහා පැත්තෙන් ගොඩනැගෙන රටේ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානයත් සමග එකට එකතු කරනවා. ඒ අනුව ඉදිරි වසර 3-4 ඇතුළත මේ ප‍්‍රදේශය අමතක කරලා දාලා තිබිච්ච පැල්පත්වාසීන් යැයි කියලා අවමානයට ලක් කරලා තිබූ, පාතාල ලෝකය යැයි කියලා විග‍්‍රහයට ලක් කරලා තිබූ මේ ප‍්‍රදේශය, රටේ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට ගොඩනගන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා රජයේ ආධාර ලැබුණත් නොලැබුණත් රටට ආර්ථික ප‍්‍රශ්න විශාල වශයෙන් තිබෙන බව අපි දන්නවා. නමුත් ඒ කටයුත්ත ඒ අභියෝගය බාර අරගෙන කරන්න අපි සූදානම්. ඒ වගේම ඒ සඳහා සියළු දෙනාගේම අදහස් හා යෝජනා අරගෙන සුදුසු පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට ඉටු කරන්න අපි සූදානම්. කිසිම දෙයක් බලහත්කාරයෙන් කරන්න, බලහත්කාරයෙන් කි‍්‍රයා කරන්න, අත්පත්කර ගැනීම් කරන්න අපි සූදානම් නැහැ.

මම මේ අවස්ථාවේදී විවෘත ආරධනයක් කරනවා මේ බේරේ වැව අවට ප‍්‍රදේශයේ ඉඩම් හිමි පෞද්ගලික අංශයේ සියළු දෙනාටම, ඒ වගේම වරාය අධිකාරිය වැනි රාජ්‍ය අංශයේ සියළු දෙනාටම තමන්ගේ ව්‍යාපෘති  යෝජනා අපේ සැලසුමට  අනුකූලව අපේ නිලධාරීන් හම්බවෙලා, නාගරික සංවර්ධණ අධිකාරියේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරීතුමා ඇතුලූ සියලූ දෙනා එහි ඉන්නවා ඒ අය හමුවෙලා මේ සැලසුම අරගෙන මේ අවුරුද්ද අවසන් වෙන්න ප‍්‍රථම තමන්ගේ ඒ යෝජනා අපවෙත ඉදිරිපත් කරන්න කියලා අපි ඔබ හැමගෙන්ම කාරුණික ඉල්ලීමක් කරනවා.

ඒ අකාරයට කි‍්‍රයාත්මක වෙන්න ඔබ අපොහොසත් උනොත්, ඒ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට අපට ක‍්‍රියාත්මක වෙන්න සිදුවෙන බවත් අපි මේ අවස්ථාවේදී ප‍්‍රකාශකරන්න  ඕනේ. ඒ නිසා මේ සියළුම පිරිස්වලින් අප ඉල්ලනවා මේරට ඉදිරියට ගෙනයාම සඳහා වෙච්ච වැඩසටහනක්. ඒ සඳහා ඔබ හැමගේම ශක්තිය දායකත්වය මේ යහපාලනය දෙවසරක් පිරෙන මේ දිනයේදී අපි සියළු දෙනාම අධිෂ්ඨාන කරගමු දැන් මේ දුගද හමන මේ බේරේ වැව නිල්වන් ජල තලයක් බවට පත් කරන්න. ජලජ ජීවීන්ට මත්‍යසයින්ට වගේම මිනිස්සුන්ටත් තමන්ගේ ජීවන කටයුතු කර ගැනීම සඳහා වෙච්ච විධිමත් ස්ථානයක් බවට මේ ස්ථානය පත් කරගමු. ඒ වගේම ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ මැදිහත් වීමෙන් මේ ප‍්‍රදේශයේ සිට ජලජ ප‍්‍රවාහන කි‍්‍රයාවලියක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන අයට කොළඹ මහ රෝහලට මිනිත්තු කිහිපයකින් මේ තදබදය මගහැරලා මෙතන ඉඳන් ගමන් කිරීමේ හැකියාවත් ලැබෙනවා. ඒ වගේම අපි වරාය අධිකාරියට දැන් මේ ස්ථානයේ ගබඩා පහසුකම් අවශ්‍ය නැහැ. ඒ නිසා මෙම ස්ථානය විධිමත්ව දියුණුවට පත් කරගැනීමේ හැකියාව වරාය අධිකාරියට ලැබෙන බවත් ප‍්‍රකාශ කරනවා.

අද මේ අප තැබූ පුංචි පියවර තවත් දශකයකින් මේ කලාපයේ විශිෂ්ඨතම වාණිජ මධ්‍යස්ථානය බවට  බේරේ වැව අවට ප‍්‍රදේශය පත්වේවා, ඒ සඳහා සම්බන්ධවන සියළුම දෙනා මෙරට අනාගතයේ ජාතික වීරයින් ලෙස සැලකුම් ලබන දිනයක් උදාවේවා කියා ප‍්‍රාර්ථනා කරනවා’ යැයි පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *