හම්බන්තොට කර්මාන්ත පුරයේ අනාගත කතාව සහ ‘ස්වර්ණභූමියේ මනරම් මාළිගාව කෝ..?“ – විසල්ගේ විග්‍රහය

(08.01.2017 – 17:25 +0530 – lankaenews.com)

හම්බන්තොට ආයෝජන කලාපයට එරෙහිව පරාජිත දේශපාලන බලවේග විසින් ගෙනයන ගොරහැඩි උද්ඝෝෂණයක් අපි මාධ්‍ය මගින් දැක්කා. උද්ඝෝෂණයේ නියමුවෝ උනේ ක්‍රිස් සමාගමෙන් මිලියන ගණනක් කෙලපු, මූල්‍ය අවභාවිතයන් නිසා නිතර නිතර වැලිකඩ වන්දනාවේ යන නාමල් ඇතුළු පරාජිත බලවේග වල නියෝජිතයින්. පසුගිය කාලයේ මුන් ගේ කෙරුවාව ගැන ඇති තරම් ලියවී ඇති නිසා නැවත වරක් ලියන්න දෙයක් නැහැ.

සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහි උද්ඝෝෂණ අමුතු දේවල් නොවෙයි. ඉතිහාසය පුරාම ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ තැන්වලත් මේ වගේ උද්ඝෝෂන සුලභයි. අමාත්‍ය රාජිත ආරම්භක උත්සවයේදී කිව්වා සේ ගල්ඔය ව්‍යාපාරයට එරෙහිව එවකට වමේ එවුන් ප්‍රකාශ කලේ මිනිස්සුන්ව මරන්න ගෙනියනවා කියලා. කාක්කෝ තරම් විශාල මදුරුවො ඉන්නවා කියලත් කිව්ව. බොහෝ වමට බර පිරිස් ගල්ඔය ජනපද වලට ගියේ නැහැ. නමුත් ගල්ඔය ව්‍යාපාරයට ගිය මිනිස්සු අම්පාර කියලා නගරයක් බිහි කලා. රටේ වැඩිම වී අස්වැන්නක් ලබා දෙන කලාපයක් බිහි කලා. අම්පාර සිට සමන්තුරේ දක්වා ඇති මාර්ගය මා දැක ඇති බැලූ බැලූ අත කුඹුරු පමණක් පෙනෙන එකම ප්‍රදේශය. ඇති දුෂ්කර අර්ධ වැදි ජීවිත ගෙවපු (මායා රන්ජන් ගේ දිගාමඩුල්ලේ ආශ්චර්ය) මිනිස්සු අද දුප්පත් කමෙන් මිදිලා. හැම තැනකම පහසුකම් සපිරි නිවාස. රජයේ ආයතන, පළල් මාර්ග. විශාල කඩ වීදි. සෑම කෙනෙක් ලඟම වාගේ වාහනයක්.  අද වසර 60 කට පස්සෙ එකෙක් වත් ඩී.එස් ගෙ ගල්ඔය ව්‍යාපාරය වැරදි දේශපාලන තීන්දුවක් කියලා කියන්නේ නැහැ. ඒත් ඊට එරෙහි වූ වමේ එවුන්ට නම් යන එන මන් නැති උනා.

ගල්ඔය ව්‍යාපාරය අයත් වන්නේ අපට පෙර පරම්පරාවට. එහි කොටස් කරුවෝ උනේ අපේ තාත්තලා. ගල්ඔය ව්‍යාපාරයට එරෙහි උද්ඝෝෂණ හෝ විරෝධතා අපි දන්නේ සාහිත්‍යයක් මගින්. අපේ කාලයේ ඇස් පනාපිට බොරු වෙච්ච, පච වෙච්ච, ව්‍යාජ උද්ඝෝෂණයක  ව්‍යාපාරයක් තියනවා. ඒ පැල්වත්ත සිනී සමාගම ඇති කිරීමට එරෙහිව, ‘වෙල්ලස්සේ ඉඩම් කොල්ලය‘ කියා ගෙන ගිය උද්ඝෝෂන ව්‍යාපාරය.

මේ කෙටි සටහන ඒ ගැන. ඒ උද්ඝෝෂණය කළේ නාමල්ල වගේ තඩි හොරු නොවෙයි. ඒ උද්ඝෝෂනය දේශපාලන න්‍යයාය පත්‍රයක් අනුව ඉදිරියට ගෙන ආ බල ලෝභී ව්‍යාපෘතියක් ද නොවෙයි. එහි මූලිකත්වය දැරුවේ වෙනත් පිරිසක්. වමේ කොටස්, පරිසර වේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, කලා කරුවන් මේ උද්ඝෝෂණයේ ඉදිරියෙන් සිටිය. නමුත් විරෝධතා ව්‍යාපාරයක නායකත්වය කෙතරම් හොඳ වූවත් ව්‍යාජ කාරණා මත කෙරෙන විරෝධතා ඉතිහාසයේ හාස්‍යයන් බවට පත් වෙනවා. මෙය ඊට හොඳ උදාහරණයක්.

1977 බලයට පැමිණි ජේ.ආර්. රජයල රට තුල සීනි නිෂ්පාදනය කිරීම සඳහා ලෝක බැංකු සමග කළ අධ්‍යනයකදී උක් වගාවට (rain-fed sugar cane cultivation) මොණරාගල සුදුසු යැයි හඳුනා ගන්නවා. ඒ 1978 දී. මේ සඳහා ශක්‍යථා වාර්තාවක් සකස් කිරීමට උක් වගාව සම්බන්ධ විශේෂඥයින් වූ බ්‍රිතාන්‍ය සමාගමක් වන ‘බුකර් ටේට්‘ සමාගමට භාරදෙන අතර වසරක් ඇතුලත එනම් 1980 දී ඔවුන් එය අවසන් කර නැවත ශ්‍රී ලංකා රජයට භාර දෙනවා. වර්ෂා පතන සාධකය අනුව ඔවුන් හඳුනා ගන්නවා බුත්තල පැල්වත්ත ප්‍රදේශය උක් වගාවට සුදුසු බව. මේ අනුව ජේ.ආර්. රජය බුකර් ටේට් සමාගම සමග 25 වසරක බදු ගිවිසුමක් ඇතුලත්ව සමාගමට ‘අක්කර ලක්ෂයක්‘ පැල්වත්ත ප්‍රදේශයෙන් පවරා දීමට තීරණය කරනවා.

පැල්වත්ත ප්‍රදේශයෙන් එක් පැත්තකට හදපානාගල වැව සහ අනෙක් පැත්තට මැණික් ගඟ මායිම්ව මේ ඉඩම් වෙන් කරනු ලබනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ වැඩි කොටසක් රජයේ ඉඩම් වන අතර යම් කොටසක ජනයා පදිංචි වී සිටියා. වැඩි දෙනෙක් සංචාරක හේන් ගොවිතැන් කළ අය. පදිංචි කරුවන් සිටියෙ ටික දෙනයි. ඔවුන් සමස්තයක් ලෙස දුෂ්කර එමෙන්ම දුගී ජීවිත ගෙවපු හේන් ගොවියන්. කිලෝ මිටර් 10 ක් එහාවත් විදුලිය තිබ්බෙ නැහැ. නළ ජලය, දුරකථන ඒ කාලේ බුත්තලට වත් නැහැ. සමාගම පදිංචි කරුවන් ඉවත් කරන්න ආකර්ශණීය වන්දි යෝජනා කර තිබුණා.

ඒත් උද්ඝෝෂණ නොනවත්වා ඉදිරියට ගෙන ගියා. කොළඹ සිට බුත්තලට ගිය පිරිස් මේ උද්ඝෝෂන වල ඉදිරියෙන් සිටියා. මොණරාගල දිසාපති කාර්යාලය නිතර වැටළුවා. ජේ. ආර්. විරෝධීන් මේ ඉඩම් පවරා දීම හඳුන්වා දෙන්නේ ‘සුද්දන්ට නැවත රට පවරා දීමක්‘ ලෙසයි. අපේ පාරම්පරික ඉඩම් වලින් ජනයා පලවා හැර නැවත සුද්දන්ට රට පාවා දෙනවා යැයිද දිවි හිමියෙන් මේ පවා දීමට එරෙහි වනවා යැයි ද විරෝධතා කරුවන් පැවසුවා. අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ වලින් අඩුවක් තිබුනෙ නැහැ. පරිසර වේදීන් කියා සිටියේ රජය විශාල වන විනාශයකට සූදානම් වන බවයි.

ඒත් ජේ.ආර්. රජය තම තීන්දුව විරෝධතා නිසා පස්සට ගත්තේ නැහැ. කැලේ සුද්ද කරන්න විශාල ඩෝසර් (Cat D-9, Komatsu 115) ගෙනාවා. ඩෝසර් දෙකක් අතරේ අඟල් දහයක පමණ මහත චේන් යවා ගස් පෙරළුවා.මේ යන්ත්‍ර ඉදිරියේ විරෝධතා කරුවන් නිදා ගත්තා. ඔවුන්ව ඇද දමමින් දිගටම කැලය සුද්ද කලා. කැලේ සුද්ද කර උක් වගාවට පොළොව සකස් කරන්න ගෙනා County ට්‍රැක්ටරයේ රෝදයක් අපේ උසට වැඩියි.

‘‘බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ’’

මේ ගීතය රත්න ශ්‍රී ලියන්නේ, කපුගේ ගයන්නෙ පැල්වත්තෙ මේ සිදු වීම ගැන. ජීවිතේට පැල්වත්ත දැක්ක නැති එවුන් මේ ගීතයෙන් වහාම අධිරාජ්‍ය විරෝධීන් වෙනවා. හය හතරක් දන්නෙ නැතිව සුද්දන්ට ඉඩම් දෙනවා කියා ජේ.ආර්. මරන්න යෝජනා කරනවා. කොළඹ අවට ජාතිකවාදී මධ්‍යම පාංතිකයෝ ගීතය අහලා අඬනවා. එක දිගට වැඩමුළු, සම්මන්ත්‍රණ පවත්වනවා. ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ කියලා ඒ කාලෙ නාට්‍යයකුත් නිතර රඟ දැක්වූවා. රත්න ශ්‍රී මේ කාලයේ මොණරාගල සිටිය කියලා තමයි කියන්නෙ.

ඒ අතරේ කර්මාන්ත ශාලා, කාර්යාල, ගම්මාන ඇතුළු  සියළු ඉදි කිරීම් අවසන් කර, උක් වගාව ඇති කර, 1986 දී සීනි නිෂ්පාදනය ආරම්භ කරනවා. කර්මාන්ත ශාලාව විවෘත කරන්න ජේ.ආර්. එනවා. සමාගම සියළු සේවකයින් වෙනුවෙන් පදිංචියට සියළු පහසුකම් සහිත ගම්මාන ඇති කරනවා. ඒවට කියන්නේ ‘හැම්ලට්‘ කියලා. දේශීය නිළධාරීන් වෙනුවෙන් වෙනම ගම්මානයක් ඉදි කරනවා. පාසල් සහ ළදරු පාසැල් ඇති කරනවා. ළමුන්ට පාසල් යෑමට වෙනම ප්‍රවාහන සේවයක් ඇති කරනවා. අවට හේන් ගොවියන් සමාගමේ වැඩට යනවා. සුද්දෝ තමන්ට ගොල්ෆ් පිට්ටනියක් වගේම ක්‍රිකට් පිට්ටනියක්ද හදා ගන්නවා. උන්ගේ ක්ලබ් එකේ උන් එක්කම අපිටත් බොන්න පුළුවන්. ඒ කාලයේ හොඳම වැටුප් ගෙවපු සමාගම් අතරට පැල්වත්ත සීනි සමාගම එකතු වෙනවා.

මා 1990 දී පමණ බුත්තලට යන විට එහි දුප්පත් කමක් නැහැ. සමාගමේ වැඩට නොයන අය තමන්ගේම වත්තේ උක් වගාකර සමාගමට විකුණා හොඳ ආදායම් ලැබුවා. ප්‍රවාහනය වැනි අතුරු සේවාවන් වලින් ආදායම් බැලුවා. සවසට බාර්වල මිනිස්සු අරක්කු ගන්න පොරකනවා මා දැක්කේ බුත්තලදී. උක් ප්‍රවාහනය කළේ රාත්‍රී කාලයේ. බුත්තල රෑටත් ක්‍රියාකාරී නගරයක් බවට පත් වී තිබුණා. උදේ 7 වන විට බස් මගින් සේවකයින් වැඩ බිම් වලට ප්‍රවාහනය කරනවා. සවස නැවත ගෙවල් වලට බස්සනවා. ප්‍රවාහන පහසුකම් නිසා ඈත පස්සර ප්‍රදේශයෙන් පවා කම්කරුවන් වැඩට ආවා.

1994 දී බුකර්ටේට් සමාගම සහ සුද්දෝ, සියල්ල පැල්වත්තේ තිබිය දී නැවත බ්‍රිතාන්‍යයට යනවා. මේ වන විට පැල්වත්ත සීනි සමාගම රජයේ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒත් බුකර්ටේට් සමාගම හිටිය කාලෙ වගේ සශ්‍රීක නැහැ.

මොණරාගල ප්‍රදේශයේ අද කිසි කෙනෙක් ජේ.ආර් ගේ තීරණය වැරදියි කියන්නෙ නැහැ. කිසි කෙනෙකු අවතැන් වෙලත් නැහැ. ඒ වගේම සැමගේම පොදු ජීවන තත්වය උසස් වෙලා තියනවා. සැඟවී තිබුණු  බුත්තල-පැල්වත්ත ප්‍රදේශය ඉදිරියට ඇවිත් තිබෙනවා.

“මිනීමල් පිපුන සීතල
නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි“

රත්න ශ්‍රී ගේ ගීතය අද මොණරාගල – බුත්තල කොල්ලො සංගීත සංදර්ශණ වල ගයමින් නටනවා. උන්ගේ ත්‍රී වීල් වල සද්දේ දාගෙන වාදනය කරනවා. උන් දන්නෙවත් නැහැ ඒ කියන්නෙ උන් ගැන කියලා. මාගේ ජීවිතයේ වසර 10 ක් බුත්තල ගෙව්ව. ඒ බුකර් ටේට් අවධිය. එය මතක සටහන් පිරි සශ්‍රීක කාලයක්. පැල්වත්ත ඇතුලේ වාහනය යනවිට දෙපැත්තේ පෙනෙන්නේ උක් වගාව පමණයි. ඈතින් මධ්‍යම කඳුකරය පෙනෙනවා. රෑට බණ්ඩාරවෙල, බදුල්ල නගර වල ලයිට් එළි පෙනෙනවා. ලස්සන දර්ශනයක්. බෝතලයක් ගහන්න අපි යන්නේ උක් වගා මායිමේ  මැණික් ගඟ අසලට.

‘හැම්ලට්’ වල ගෙවන කම්කරු ජිවිත, ළමුන් සමාගමේ බස් වලින් පාසල් යන-එන හැටි, සාමාන්‍ය ජනයාගේ ජීවන තත්වය ඉහලට ඇවිත් තියන හැටි රත්න ශ්‍රී ට පෙන්නන්න තිබුණ නම් හොඳයි.

සංවර්ධන ව්‍යාපෘති වලට විරුද්ධ වීම ඉතා පහසුයි. ඒක වාමාංශික, ජාතිකවාදී, පරිසර වාදී  මොස්තරයක්. ඒත් ඒ උද්ඝෝෂණ, විරෝධතා පමණක් නොවෙයි ඒවාට සහභාගි වූ අයත් ඉතිහාසයේ කුණු කූඩයට යනවා. ඒත් සංවර්ධන ව්‍යාපෘති වලට නායකත්වය දීපු අය තම නම ඉතිහාසයේ කොනක සටහන් කරනවා. ඩී.එස්, ජේ.ආර් වගේ.

හම්බන්තොට කර්මාන්ත පුරයේ අනාගත කතාවත් මෙයට ව්‍යතිරේකයක් වෙන්නෙ විදිහක් නැහැ.

– විසල් කරුණාරත්න විසිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *