නියමුවා නැතුව සමරණ ජනවාරි 08 විප්ලවය..! ‘‘ජනාධිපතිතුමා අපිට බනින්න නිදහස දෙන්න කලින් අපියි ඔහුට කතාකරන්න නිදහස ලබාදුන්නේ’’

(08.01.2017 – 06:20 +0530 – lankaenews.com)

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෙතින් දෙවන සංවත්සරය වෙනුවෙන්

ජනවාරි 08 විප්ලවය කියන්නේ සමර සමර ඉන්න ලබාදුන් ජයග්‍රහණයක් නොවේ. මේ රටට ජයග්‍රහණය ලබාදීමට කලයුතු වැඩ කොටසක් සහ රටේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගීම සඳහා ලබාදුන් ස්වර්ණමය අවස්ථාවකි. සෝභිත හාමුදුරුවන් කෙළේ රටේ ගෙවී ගිය වසර 60  පමණ කාලයක් රට කරවපු නායකයන් රට ඒ වන විට පත්කොට තිබු අගාධයෙන් ගොඩ ගන්න රටට න්‍යාය පත්‍රයක් හදපු එකයි. මොකද ගෙවී ගිය දශක ගණනාවක් තුල උනේ දේශපාලකයෝ බලය ලබාගෙන ඔවුන්ගේ න්‍යායපත්‍ර හදාගත්තු එකයි. මෙන්න මේ නිසා උන්වහන්සේ ඒ හදපු න්‍යාය පත්‍රය අනුව රට නිවැරදි මාවතට ගන්න වසර 05ක් සියලු දෙනාම එකතුවෙලා මේ රටේ න්‍යාය පත්‍රය අංක එකට තියල වැඩකරන්න කියලයි උන්වහන්සේ හැමෝගෙන්ම ඉල්ලා සිටියේ.

අපි අද බලන්න ඕන අපි කවුරු කවුරුත් ඒ අනුව වැඩ කරලා තිබෙනවද කියලයි. එහෙම නැතුව ආයෙත් අර පුරුදු විදියටම එක එක්කෙනාගේ න්‍යායපත්‍ර ක්‍රියාවට නගමින් ඉන්නවාද කියන සැකය දැන් ජනතාවට ඇති වෙලා. මොකද ඒ න්‍යාය පත්‍රය අනුව වැඩ කළා නම්  දින 180 කින් උන්වහන්සේ බලාපොරොත්තු උන ‘වෙනස‘ කරන්න තිබුන. ඒක කරන්න බැරි උන එක ගැන එක එක හේතු ජනතාව ඉස්සරහ කියන්න නෙවේ රටකට නායකයෙක් පත්කරගන්නේ. මේ වැඩ කරන්න මිස ඒවට හේතු දැනගන්න නොවේ. දැන් අපි බලමු එහෙම නම් මේ වැඩ පමා වෙන්නේ ඇයි  කියල. එදා ජනවාරි 8 න් පස්සේ  ඒ විප්ලවය ගැන පත්තර වල පිටු පිරුන. පොත් ලියන්න ගත්ත.

මේ හැම එකකම තිබුනේ මෛත්‍රී ගෙන්න ගහපු  ‘ගේම්‘ ගැනයි. කරපු ‘රහස් කුමන්ත්‍රණ‘ ගැනයි. නමුත් සෝභිත හාමුදුරුවෝ ‘ගේම්‘ ගැහුවේ නැහැ. කුමන්ත්‍රණ  කළේ නැහැ. ජනතාව එක්ක එකතුවෙලා වැඩපිළිවෙලක් හැදුව.  ව්‍යවස්ථාවක් හැදුව. ඒක කරන විදියත් හැදුව. ඒක කරගන්න සුදුසු කෙනෙක් පත්කරගන්න උන්වහන්සේට කරන්න පුළුවන් හැම කැපවීමක්ම කළා. නමුත් උන්වහන්සේ මේ කිසිවකින් කිසිම දෙයක් බලා පොරොත්තු උනේ නැහැ. උන්වහන්සේට ඕන උනේ මේ විධායක හස්තයෙන් රට මුදාගන මේ ක්‍රමය වෙනස් කොට යුක්තිය, සාධාරණත්වය, සමානත්වය  රජයන  සමාජයක අපි හැමෝම එකතුවෙලා සාමයෙන් සමගියෙන් ජීවත්වීම පමණි.

එහෙත් ඔය ‘ගේම් ‘ගහපු ‘ඩීල්‘ දමාපු උදවිය කළේ මොනවාද? අන්තිමේ හැම තැනම බලන් ගියාම තිබිල තියෙන්නේ ‘ගේම් සහ ඩීල්‘. හිටපු කෙනා යවන්නත් ‘ඩීල්‘. අලුත් කෙනා ගේන්නත් ‘ඩීල්‘. බලන් ගියාම මේක ‘ඩීල් ලන්තයක්‘. පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ ‘ඩීල් රජවරු‘. අද මේ අර්බුද සේරටම මුල මොකක්ද?

පාර්ලිමේන්තුව තුල ජනමතය නියෝජනය නොවීම. එතන තියෙන්න ජනමතය විකෘතියක්. හොඳට බලන්න එදා මේ වෙනස කරපු දවසේ රටේ තිබුන එකම මතය මේ විධායක ක්‍රමය අහෝසි කළ යුතුයි. මනාප ක්‍රමය අහෝසි කළ යුතුයි. දුෂණ , වංචා , මිනිස් ඝාතන කළ යම් අයකු වේ නම් ඔවුන් සියල්ලන්ටම රටේ නීතිය හරියට ක්‍රියා කළ යුතුයි. උන්වහන්සේ කිසි විට කීවේ නැහැ කාගෙන්වත් පලි ගත යුතුයි කියල.  නමුත් ඒ සියල්ලන්ටම අද බාධක ඇවිත්. නොයෙක් අන්දමේ ‘ඩීල්‘ වලින් සේරම යට යනවා.

රටේ මතය, ජනමතය පාර්ලිමේන්තුව නියෝජනය උනානම් අද ඔතන ඉන්න ඕන උන්වහන්සේගේ දැක්ම, වැඩ පිළිවෙල අනුමත කරන දූෂණය පිටු දැක ඊට එරෙහි විධායක ක්‍රමය අහෝසි කිරීමට එක පයින් කැමති පිරිසක් පමණයි. නමුත් ඒක එහෙම වෙලා නැහැ. දැන් මේ වැඩේ කරගන්නත් ‘ඩීල්‘ දමන්න වෙලා. ජනාධිපතිතුමා දූෂණයට විරුද්ධයි, වංචාවට විරුද්ධයි.  හොරකමට විරුද්ධයි, විධායක ක්‍රමයටත් විරුද්ධයි. නමුත් එතුමාත් ඒ පාර්ලිමේන්තුවේ නැහැ. එතුමාට මේක කරන්න ඕන කම තිබුනත් ‘ඩීල්‘ නැතුව මේක කරගන්න  බැරිවෙලා. මෙන්න මේ නිසයි මේ පාර්ලිමේන්තුව රටේ ජනමතයේ ප්‍රතිබිම්බ වීමට නම් එතනට යාමට සුදුසු පුද්ගලයන්ට පමණක් එතනට යාමට ක්‍රමයක් අපි දැන්වත් හදා ගත යුත්තේ. ජනාධිපතිතුමා හැම විටම කියන්නේ ‘අනේ මම ඔය විධායක ක්‍රමයේ තිබෙන බලතල කිසිවක් පාවිච්චි කලේ නැහැ. කරන්නෙත් නැහැ. තියන ඒවත් බොහොමයක් දීල තියෙන්නේ. ඉතුරු ටිකත් ඕන වෙලාවක දෙන්න ලැහැස්තියි‘ කියලනේ. ඒ උනාට එතුමා එතුමාගේ පක්ෂය බේරා  ගැනීම සඳහා එය ඉතාම සූක්ෂම අයුරින් උපරිමයෙන් භාවිත නොකළා නම් අද ඔය කියන ඒකා බද්ධ විපක්ෂයක් වෙනුවට තිබෙන්නේ එදා ජනවාරි 08 මේ රටේ තිබු ජන මතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක්. එහි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නියෝජනයේ අඩුවක් වුවත් මෙවැනි ජනමතයේ විකෘතියක් පාර්ලිමේන්තුව නියෝජනය නොවනු ඇති. එසේ වුවා නම් අද විධායක ක්‍රමය අහෝසි කිරීම මෙන්ම නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි මෙවැනි අර්බුද වලට ගොදුරු නොවනු ඇති. නැවත ජාතිවාදී බලවේග   මෙන්ම විධායක ක්‍රමය පවත්වා ගත යුතු බවට තර්ක විතර්ක ඇති නොවනු ඇති.

උන්වහන්සේ මොකද කීවේ. ‘මම තැටිය රත්කළා රොටියකුත්  හදල දුන්න. නමුත් රොටිය පිච්චුවේ බාගෙට.‘ අන්තිමට රොටිය කෙසේ වෙතත් උන්වහන්සේ පිච්චුනා.  දැන් ඒ තැටිය  රත් කරන්න දර ඇදපු, ගිනි පිඹපු අපිත් පිච්චෙන්න පටන් අරන්. දැන් මේ යන විදිය අනුව දමන ‘ඩීල්‘ දිහා බැලුවාම  තව ටික දොහකින් අපිත් පිච්චිලාම යයිද දන්නේ නැහැ. අන්තිමේ අඩි 6ක් පොළොව යට ඉන්න හිටපු කෙනා බේරගන උන්වහන්සේ පොළොව යට තැන්පත් උනා.

සමහරු කියනවා ජේ. ආර්. වැඩකළේ මක්කියවෙල්ලිගේ  ක්‍රමයට කියල. මහින්ද වැඩකලේ ගොබෙල්ස්ගේ න්‍යායට කියල. ජනාධිපතිතුමා  වැඩකරන්නේ කාගේ ක්‍රමයටද කියල මං දන්නේ නැහැ. නමුත් ගොබෙල්ස්ලගේ, මක්කියවෙල්ලිලගේ ක්‍රමයට වැඩ කළ අය වැටුනේ ඉතිහාසයේ කුණු බක්කියට. පිදෙල් කස්ත්‍රෝලගේ , නෙල්සන් මැන්ඩෙලාලගේ, මහත්මා ගන්ධිලගේ ක්‍රමයට වැඩ කළ උදවිය පමණයි ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනේ. ජන හදවත් තුල සදා කල් ඉන්නේ.  දැන් කිඹුලත් තලගොයෙක් වෙලා. මේ විධායක ක්‍රමය ගැන විවිධ මත ප්‍රකාශ වෙන්න අරන්. මම දන්නා විදියට මේකට කැමති වෙන්නේ කවද හරි මේ පුටුවේ වාඩි වෙන්න බලන් ඉන්න අයෙක් පමණයි.

ජනාධිපතිතුමා  ගෙන්න  ගේම් ගහපු උදවිය පොත් ලීවනේ. ඒවා බොහොම හොඳයි. අපිත් ගොඩක් දේවල් දැනගත්තේ ඒවායින්. මමත් පොතක් ලීව “තැටිය රත්කළ හැටි ” කියල.   එකේ අපි කොතනකවත් ජනාධිපතිතුමා  ගෙනෙන්න කරපු කිසිම කුමන්ත්‍රණයක්  ගැන කියල නැහැ. අපි කීවේ උන්වහන්සේ පොදු අපේක්ෂකයෙක් ගෙන එන්න 2011 අවසන් භාගයේ සිට කරපු කැපවීම ගැන විතරයි. අපි එහෙම නොකියපු එකත් හොඳයි. මොකද තව ටික දිනක් යනකොට ඔය ලියපු අයම ලියයි ‘අනේ අපිනම් ඕවට සම්බන්ධ නැහැ‘ කියලත්. ජනවාරි 8 විප්ලවය ගැන ලිවීම පැත්තක තියල “ජනවාරි 08 න් අපට ලැබුනේ මොනවද ” කියල දැන් අපිට ලියන්න වෙලා.

අනික මේ අගේට උන්න ජනාධිපතිතුමාට ඇයි මේ රණවිරුගායක් එක පාරටම හැදුනේ? කවුද රණවිරුවෝ  කියන්නේ ? මම දන්නා විදියට මේ රටට ආදරය කරන, රටට විපතක් උනාම ඉදිරියට එන රට වෙනුවෙන් කැපවෙලා වැඩ කරන අපි හැමෝම රණ විරුවෝ. ජනාධිපතිතුමාත් රණ විරුවෙක්. ඒ නිසානේ එදා බය නැතුව එලියට බැහැල රට වෙනුවෙන් ඉදිරිපත් උනේ. අනෙක හරි නම් මේ යුද්ධය තිබුන කාලේ මේ රටේ ජීවත් උන හැමෝම සැලකියයුත්තේ රණවිරුවන් ලෙසයි. ජනාධිපතිතුමාට වගේම අපිටත් ලොකු කැක්කුමක් තිබෙනවා මේ රණවිරුවෝ ගැන. අපිට ප්‍රශ්නේ තිබෙන්නේ ඒ රණවිරුවන් ගැන නොවේ. යුද්ධයෙන් පස්සේ රට තමුන්ට ලියල දුන්න කියල හිතාගන සදාකල් බලයේ ඉන්න එම රණවිරුවන් යොදාගත් උදවිය  එක්කයි. ඒ අභීත රණවිරුවන් ඔවුන්ගේ අතකොළු කරගෙන ඔවුන්ගේ බලය රැකගන්න ඔවුන් යොදා ගැනීම   නිසා එම රණවිරුවන් අවභාවිතයට ගැනීම එක්කයි. ඒ කාරණයේදී රණවිරුවෙක්  නම් ඔහු කළ යුත්තේ තමා නියම රණ විරුවෙක් ලෙස ක්‍රියා කිරීම මිස අසවලා දුන්න නියෝගය නිසා බලපෑම නිසා කළා කියල රණවිරු කම සළුවක් කර නොගෙන අර සරත් ෆොන්සේකා වගේ ඒවාට විරුද්ධ වීමයි. ඒ අතින් බැලුවාම රණවිරුවාගේ සංකේතය, පරමාදර්ශය තමයි සරත් ෆොන්සේකා. ඒ නිසයි සෝභිත හාමුදුරුවෝ එතුමා වෙනුවෙන් හැම විටම පෙනී සිටියේ. ඒක නිසා නීතිය හමුවේ මේ සියලු දෙනාටම එක සේ ක්‍රියා කළ යුතුයි.

අනික දේශපාලකයෝ ඒ උදවියගේ කාරිය කරන්න ඕන. සිවිල් සමාජයේ අපි අපේ කාරිය හරියට කරන්න ඕන. මාධ්‍ය ඔවුන්ගේ වගකීම කාරිය හරියට තේරුම් ගන්න ඕන. මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය වල වැඩකරන, ලියන, කියන සියලු දෙනාම දැනගත යුතුයි ඔවුන් ඔතන ඉන්නේ රටේ ජනතාව නිසා මිස දේශපාලකයන් නිසා නොවේ. ඔවුන්ට කඩේ යන, ඔවුන් උලුප්පන  ජනමාධ්‍ය වගේම ඒ වෙනුවෙන් කුලියට ලියන සියලු දෙනාම ජනතාව ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නොවේ. ලංකා ඊ නිව්ස් වගේ තවත් සමාජ වෙබ් අඩවි මේ සියල්ල ආක්‍රමණය කරන දිනය වැඩි ඈතක නොවේ. ඒක දන්නා නිසා තමයි මේ  දේශපාලකයන් දැන්ම ඒවාට තහංචි දමන්න පෙරමුණ ගෙන ඉන්නේ.    දැන් ජනතාව දේශපාලකයින්ට මේ පාලන කටයුතු ටික කාලෙකට භාර දෙනවා. ඔවුන් භාර කාරයෝ. සිවිල් සමාජයේ අපි තමයි මුර කාරයෝ. මාධ්‍ය කියන්නේ දේශයේ මුර බල්ලෝ. නමුත් අපි සේරම දැනගන්න ඕන මේ සියලු දේ අයිති කාරයෝ මේ රටේ ජනතාවයි.  අවාසනාවට ටික කාලයක් යනකොට අර භාරකාරයෝ උරුම කාරයෝ වෙනවා. මුර කාරයොත් ඔවුන්ගේ මුර කාරයෝ වෙනවා. මුර බල්ලෝ ඔවුන්ගේ දඩ බල්ලෝ වෙනවා. එහෙම උනාම රටේ ජනතාව ආයෙත් අනාථ වෙනවා. මෙන්න මේ නිසා දේශයේ මුර කාරයෝ වන අපි හැමවිටම ජනතාවගේ, රටේ මුර කාරයෝ වෙනවා මිස දේශපාලකයන් මුර කරන්න යා  යුතු නැහැ.

අනෙක අපිට දැන් අවලාද ලු. අවලාද වලට පිළිතුරු දෙන්න යාමෙන් වෙන්නේ අපිත් ඒ අවලාද නගන උන්ගේ තත්වයටම වැටෙන එකයි.   ඇයි  අපි මේ පුද්ගලයන් ඉලක්ක කරගෙන පහර ගසන්නේ. මාදුළුවාවේ සෝභිත හිමි කවදාවත් පුද්ගල ප්‍රහාර එල්ල කලේ නැහැ. උන්වහන්සේගේ ප්‍රහාරයට ලක් උනේ ක්‍රමයයි. ක්‍රමය වෙනස් කළාම පුද්ගලයෝ හැදෙයි. උන්වහන්සේ අල්ලාගත්තේ නයාගේ ඔලුවෙන්. නමුත් අපේ ගොඩක් දෙනා අල්ලගන්නෙම නයාගේ වලිගෙන්. ඒකනේ සරත් ෆොන්සේකා මහත්තයට නයා දෂ්ඨ කළේ. මෙන්න මේකයි උන්වහන්සේගෙයි අනෙක් උදවියගෙයි වෙනස.

අපිට එන් ජී ඕ කාරයෝලු. අපි මේ සංවිධානයේ වැඩ කෙරුවේ කොහොමද, අදත් කරන්නේ කොහොමද කියල දන්නේ බොහොම ටික දෙනයි. අපි කරපු කැපවීම් ගැන අපි කියන්න යන්නේ නැහැ. අපි ඒවා කළේ අවංක හදවතින් රට ගැන හිතල. ඒක නිසා අපට අවලාද නගන උදවිය කවුද කියල මුළු රටම දන්නා නිසා අපි ඒ ගැන කලබල වියයුතු නැහැ. ඒ නිසයි අපි කියන්නේ ඉක්මනටම මේ ක්‍රමය වෙනස් කරන්න කියල.  අදත් ඔවුන් වියරුවෙන් දඟලන්නේ ඔවුන්ට ජනතාව අතර කිසිම පිළිගැනීමක් නැති නිසයි. ජනතාවට ඔවුන් කැමති කෙනා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනා පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් ක්‍රමයක් අපි හැදුවා නම් එදාට ඔය සේරම ඉන්නේ කොහෙද කියල අපට බලාගන්න පුළුවනි.

අනික නිර්දෝෂී පුද්ගලයන්ට අවලාද නැගුවට දුක්වෙන්න ඕන නැහැ. අපේ හාමුදුරුවන්ට මොනතරම් නිදා අපහාස කලාද? උන්වහන්සේ කවදාවත් ඒවාට පිළිතුරු දෙන්න ගියේ නැහැ. එවන් පුද්ගලයන්ට පහර ගහන උදවියට ස්වභාව ධර්මයෙන් ඒවාට පිළිතුරු අනිවාර්යයෙන්ම ලැබෙනවා. ආසන්නතම උදාහරණය අපේ කතානායක තුමාට “හීන් බබා සීය කීවනේ” වැඩි දොහක් ගියේ නැහැ උන්දැට වෙච්ච දේ. දැන් මේ සරත් විජේසුරිය මහත්තයටත් බනින්න පටන් අරන්. කාගේ හරි ආශීර්වාදය ඇතුව මිලියන දාහක එන්තරවාසියකුත් ඇවිත්.   මෙතුමාට මේක බලෙන් දුන්නේ. එතුමා කිසිම කැමැත්තකින් නෙමේ  ගත්තේ. එතුමාට හොඳ නමක් තිබුන. රටේ ගෞරවනීය පිළිගැනීමක් තියනවා. රස්සාවක් තියනවා. එතුමාගේම කර්මාන්තයක් තියනවා. එතුමාගේ පාඩුවේ ඉන්න පුළුවන්කම තිබියදී රට ගැන හිතල, උන්වහන්සේ ගෙන ගිය වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදියට උත්සාහ කරන කොට මේ වගේ දේවල් සිදුවීම ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. දැන් අපේ සෝභිත හාමුදුරුවෝ පිට රටක ආගමික නායකයෙක් වෙලා  ඉඳල අර ඩෙස්මන්ඩ් ටු ටු වගේ මේ ජනවාරි 08 විප්ලවය කළා නම් උන්වහන්සේට මේ වෙනකොට නොබෙල් සාම තෑග්ගත් ලැබිල. අවාසනාව ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

ඒ නිසා සිවිල් සමාජයේ අපි රටේ නායකයන්ට හාමුදුරුවෝ හදල දීපු න්‍යාය පත්‍රය, රටේ න්‍යාය පත්‍රය අනුව වැඩකරන ලෙස බල කරන ගමන් අපිත් ඒ න්‍යාය පත්‍රයට වැඩ කළ යුතුයි. එහෙම නැතුව එක එක කණ්ඩායම් විදියට මේ සිවිල් සංවිධාන පාවිච්චි කරලා තම තමුන්ගේ න්‍යාය පත්‍ර හදාගන ප්‍රතිරූප හදාගන වැඩ කරන්න ගියොත් අපටත් උරුම වෙන්නේ අර දේශපාලකයන්ගේ තැනමයි. එහෙම කාට හරි වෙන න්‍යාය පත්‍ර තිබෙනවා නම්  දෙවියන්ගේ නාමෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර මේ සංවිධාන වලට මුවා නොවී  ඒ දේශපාලන පක්ෂයකටම සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලයි. මොකද සිවිල් සංවිධාන බෙදෙන්න ගියොත් එක එක ප්‍රතිරූප හදාගන්න ගියොත් එකේ වාසිය යන්නේ දේශපාලකයන්ටයි.

දැන් මෙතුමා පත්වෙනකොට එදා සංවිධාන 49 ක් එක්ක ගිවිසුමක් ගහලනේ පටන් ගත්තේ. දිනුවට පස්සේ මොකද උනේ. හරියට සුජාතාව  සිදුහත් කුමරුට බුදුවෙන්න පෙර කිරිපිඬු 49 ක් පූජා කළා වගේ තමයි මේ සංවිධාන එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප උනේ. බුදුන් නම් බුදු උන ගමන් කළේ සත් සතියක් කෘත ගුණ සැලකීම. නමුත් ජනාධිපතිතුමා?  ජනාධිපතිතුමා  මේ සති 7 මේ සංවිධාන වෙනුවෙන් දිනකට එක ගණනේ අඬ හගල ඔවුන් සමග සාකච්ඡා කරලා ඔවුන් සම්බන්ධ කරගනයි මේ ගමන යා  යුතුව තිබුනේ. හරිනම් ජනාධිපතිතුමා  ජනපති කාර්යාලේ කාමරයක් වෙන්කරලා හාමුදුරුවන් ගේ ආශිර්වාදය ලබමින් අනෙකුත් සංවිධාන සමගත් එකතුවෙලා වැඩ කළා නම් මේ අද තිබෙන අවුල් බොහොමයක් ජයගත හැකිව තිබුන. එහෙත් ඒ වෙනුවට ජනාධිපතිතුමා  කළේ මොනවද කියල එළිදක්වන පොත් වලින් තමයි අපිත් දැනගන්නේ.

දැන් ජනාධිපතිතුමා   කියනවනේ අපි උන්නැහේට බනිනවා විවේචනය කරනවා කියල. අපිට එහෙම  බනින්න නිදහස ලබල දුන්නේ   එතුමා ලු. ඒ නිසා ඕන තරම් බනින්න ලු. ජනාධිපතිතුමා අපිට බනින්න නිදහස දෙන්න කලින් අපියි ජනාධිපතිතුමාට කතාකරන්න නිදහස ලබාදුන්නේ. එදා  එතුමාට කට අරින්නවත් බැරුව උන්නේ. එතුමා එදා අඬ අඬනේ කතා කළේ. ඊට කලින් මේ රටේ මිනිස්සු  දැනගන හිටියෙවත්  නැහැ එතුමාට කතා කරන්න පුළුවනි කියල මේ තරම් ලස්සනට.  අපට නිදහස දෙන්න කලිනුත් අපි මේ ක්‍රමය විවේචනය කළා. මීට වඩා බලගතු ඒකාධිපති ක්‍රමයක් තුලත් මීටත් වඩා අපි විවේචනය කළා. අපි ඒක කරන්නේ  ජනාධිපතිතුමාට තිබෙන ආදරේට මිස තරහකට නෙවේ. අපිට ඕන එතුමා ආපු කාරිය කරනවා  දකින්නයි. මීට කලින් තුන් වතාවක් මේක කරනවා කියල ජනතාවට පොරොන්දුවෙලා ආපු  කිසිම කෙනෙක්  මේක කළේ නැහැ.

දැන් ඔබතුමාත් මේක කළේ නැතිනම් ඔබතුමාත් චේතිය රජ කෙනෙක් විදියටයි ඉතිහාසයට එක්වෙන්නේ. අපි හදන්නේ ඔබතුමා ඒකෙන් බේරගන්නයි. අනික ඔය පුටුවට එනකොට උතුමාණනි, මහරජාණනි කියල අසීමිත ජනප්‍රසාදයකින් ආපු සේරමලා යනකොට ගියේ කොහොමද කියල ඔබ දන්නවා. ඔවුන්ට අන්තිම කාලේ ආමන්ත්‍රණය කෙළේ කොහොමද කියල දන්නවා. අපි හදන්නේ ඔබතුමා ඒ තත්වයට පත්වන එකෙන් බේරගන්නයි. හාමුදුරුවෝ කීව ” මහත්තයෝ ඔය පුටුවේ වාඩි උන කෙනා මාස 06 කට වඩා උන්නොත් එයාට පිස්සු හැදෙනවා‘‘ කියල. දැන් එතුමාටත් එහෙම  වේගෙන එනවාද කියල අපිට බයයි. ඒකෙන් එතුමා බේරගන්නයි අපි මේ කෑ ගහන්නේ.

මගේ පියා උදේට නැගිටලා මුහුණ කට සෝදලා මුලින්ම කරන්නේ බුදුන් වැඳලා දෙවියන්ට පින් දීල හඳුන් කුරක් අරන් යනවා ඩී.ඇස්.උන්නැහේගේ පොටෝ එක ලඟට. මොනවද මුමුනල  දුම් අල්ලලා වැඳලා ඊලඟට යනවා බණ්ඩාරනායක මහත්තයාගේ පින්තුරේ ගාවට. ඒ දෙයම කරනවා. හැබැයි ඒ අසලම තිබුන අර බණ්ඩාරනායක පවුලේ පස්දෙනාම ඉන්න පින්තුරෙටනම් කවදාවත්  වැන්දේ   නැහැ. ඊට පස්සේ යනවා ඩඩ්ලි  උන්නැහෙගේ පින්තුරෙ ගාවට.  මම මේක බලාන උන්නම මට හරි ප්‍රහේලිකාවක්. මම ඇහුව :

‘තාත්තේ, තාත්ත අපට කියල දුන්නේ දෙවියන්ට බුදුන්ට වඳින්න මල් පහන් පුජා කරන්න මිස මිනිස්සුන්ට එහෙම කරන්න කීවේ නැහැනේ.  ඇයි මේ ඩී ඇස් උන්නැහෙට බණ්ඩාරනායක උන්නැහේට  වඳින්නේ පුදන්නේ.?“

“මේ තමයි අපේ දෙවිවරු. එයාල දැන් ඉන්නේ දිව්‍ය ලෝකේ”.

‘හොඳයි ඒක එහෙම කියමුකෝ. දැන් ඩඩ්ලි තවම ඉන්නවනේ එයාට මොකද.?‘

“එහෙම කියන්න එපා පුතා එයත් යන්නේ එහාටම තමයි. ඒක නිසා මම දැන්ම ඉඳලම වඳිනවා.”

බලන්න එදා අපිට එහෙම නායකයෝ හිටියාට ඊට පස්සේ හිටපු විශේෂයෙන් 78 න් පස්සේ හිටපු කාටවත් එහෙම වැඳුම් පිදුම් ලැබුනද? අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උදවිය මරුනාම කොහේ යයි කියල ද හිතන්නේ? අර ගිජ්ජ කූඨ පර්වතය අසල විමානයක් තිබෙනවා ලු. අපේ හාමුදුරුවෝ මට කියල තියනවා  මුගලන් හාමුදුරුවෝ  දැකපු ඒ උදවිය කොයි වගේද කියල. අපි අද මේ එතුමාට බනින්නේ එතුමාත් අර එදා අපිට උන්න ඒ ශ්‍රේෂ්ඨ නායකයින් ඉන්න තැනට යවන්නයි. අර ගිජ්ජ කූඨ පර්වතේ අසලට යන එකින් එතුමා බේරා ගන්නයි.

අපේ අමරදේව තුමා ගැන එතුමාගේ මුහුණු පොතේ කියා තිබුන එතුමා තවුතිසා දෙවුලොවට වැඩිය කියල. ඇත්ත එතුමා ආවෙත් එහෙ ඉඳල නිසා යන්න ඕනත් එහාටම තමයි. එතුමා එහෙ ගියේ ඇයි? එතුමා කිසිම ඇලීමක් නැති ගැටීමක් නැති ජීවිතයකුයි ගත කළේ. එහෙම උදවිය අනිවාර්යයෙන්ම යන්නේ නිවනට හෝ ඉන් මෙහා නම් තවුතිසාවට. ජනාධිපතිතුමාත් මේවයේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ ගමන ගියොත් ජනාධිපතිතුමාත් යන්නේ එහාටමයි. එහෙදි අමරදේව තුමා  සමග ගීත ගයන්නත්  එතුමාට ආයෙත් අවස්ථාවක් ලැබෙයි. නමුත් මේ ‘ඩීල්‘ සහ ‘ගේම්‘ වල එතුමාත් පැටලුනොත් යන්නේ කොහෙද කියල අපි දන්නා නිසා එතුමා බේරගන්නයි අපි මේ සියලු විවේචන කරන්නේ. ඒක නිසා දැන්වත් සෝභිත හාමුදුරුවෝ හදපු රටේ න්‍යාය පත්‍රය අනුව වැඩ කරලා උන්වහන්සේ පැතූ ලෝකය ඉදිකරන්න අපි හැමදෙනාම කැපවෙමු. එතකොට උන්වහන්සේ දැන් වැඩ ඉන්න ඒ තවුතිසාවටම යන්න ඒ පින් මහිමයෙන්ම අපි හැමෝටමත් වරම් ලැබෙනු ඇත. එහෙම නොවුනොත් එතුමාට විතරක් නෙවේ එතුමා ගැන විශ්වාසය තියල මේ වැඩේ භාර දුන්න අපිටත් එතුමා සමගම  අර ගිජ්ජ කූඨ පර්වතය අසල තිබෙන විමානයට තමයි යන්න වෙන්නේ. එතුමා සෝභිත හිමියන්ට වූ පොරොන්දුව පරිදි පාර්ලිමේන්තුවට යැවීමට නුසුදුසු පුද්ගලයන්ට නාමයෝජනා නොදුන්නා නම් අද එකාබද්ධ විපක්ෂයක් නැත. එවැන්නක් නොතිබුනා නම් මේ අර්බුද අවුල් ඉතාම අවම වනු ඇත. නමුත් අද මේ ගහන ‘ගේම්‘ දිහා බැලුවම නැවත 2015 ජනවාරි  08 ට කලින් තිබුන තැනටම රට පත්වන තැනට කටයුතු සිදු උනොත් ඉතාම ඉක්මනින්ම අපි සේරටම ඒ ගිජ්ජ කූඨ පර්වතය අසලට යන්න කලින් මහා සයුර මැද ඉන්න මිනී මෝරුන්ගේ බඩවැල් වල දිග මනින්නටද සිදුවනු ඇත. ඒ මහා පාපකර්මයට දායක වනවාද නැතිනම් අර අපේ සෝභිත හාමුදුරුවෝ  සහ අමරදේව තුමා ඉන්න   තවුතිසාවට යනවාද කියල තීරණය කිරීම ජනාධිපති තුමනි ඔබට බාරයි.!

සිසිර ජයමහ

ප්‍රධාන ලේකම්
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *