ලසන්ත ඝාතනය කර වසර 8 යි : සැකකරුවන් නිදැල්ලේ සිටියදී අට වන ගුණ සමරුව කොළඹ කනත්තේ

(08.01.2017 – 23:30 +0530 – lankaenews.com)

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර අටක් සපිරේ. ඒ මහතාගේ අටවැනි ගුණ සමරුව අද බොරැල්ල කනත්තේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොන අසලදී පැවැත්විණි.

එම අවස්ථාවට වික්‍රමතුංග පවුලේ සාමාජිකයින්, හිතවතුන්, මාධ්‍යවේදීන් මෙන්ම දේශපාලනඥයින්, විදේශ සේවයේ අයද සහභාගී වී සිටියහ.

ගුණ සැමරුමේදී අදහස් පල කළ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන නඩුවේ නීතිඥ අතුල රණගල මහතා ලසන්ත වික්‍රමතුංග ඝාතනය විමර්ෂණය නිවැරදි මඟකට යොමු කර ගැනීම සඳහා ප්‍රබල සාක්ෂි මතු වී තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නොමැති බව සඳහන් කළේය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුරවරයෙකු හා හිටපු කර්තෘවරයෙකුද වූ ගාමිණී වීරකෝන් මහතා සහ මධ්‍යවේදිනී නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති ද මෙහිදී අදහස් දැක්වූ අතර ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග මහතාගේ නිවේදනය රයිසා වික්‍රමතුංග මෙනවිය විසින් කියවනු ලැබිණි.

කතානායක කරු ජයසූරිය, රවී කරුණානායක, මංගල සමරවීර, රාවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, එරාන් වික්‍රමරත්න, හර්ෂද සිල්වා, ඩග්ලස් දේවානන්ද, මනෝ ගනේෂන් වැනි මැති ඇමතිවරු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි මස 08 වැනිදා රත්මලාන අධි ආරක්ෂක කලාපයට අයත් ප්‍රදේශයකදී සාහසික ලෙස ඝාතනය කෙරිණ. ඔහුගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අවසන් වී නොමැති අතර ඝාතකයින් තවමත් නිදැල්ලේ ය. අත් අඩංගුවට ගෙන සිටි හමුදා බුද්ධි අංශ සැකකරුවා ද ජනාධිපතිවරයාගේ ‘සයනයිඩ් කතාවෙන්‘ පසු පසුගියදා ඇප මත නිදහස් කෙරිණ.

—————————-

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *