කොළඹ සුපිරි පාසැල්වල ‘ඇඩ්මිෂන් නාඩගමේ’ තිරය පිටුපස මේ වසරේ අජූත කෙළිය මෙන්න..!

(09.01.2017 – 19:50 +0530 – lankaenews.com)

දරුවෙකු පාසැලකට ඇතුලත් කර ගැනීම දෙවන ලෝක සංග්‍රාමය තරම්  බිහිසුණු සටනක් වී තිබෙන රටකට සංවර්ධනයට යෑමට තබා හරි හමන් ලෙස වළ පල්ලට යෑමටවත් නොහැකිය. එවැනි රටවල් නවතින්නේ වළ පල්ලටත් එහා අපාය පල්ලේ ය. යහපාලන ආණ්ඩුව පැමිණ වසර දෙකක් ගතවුවද දරුවන් පාසැලට ඇතුලත් කර ගැනීමෙහිලා තිබූ ගෝත්‍රික අජූත ක්‍රමය වෙනස් කර ගැනීමට නොහැකි වී ඇත. පහත දැක්වෙන්නේ 2017 වසරෙහි 1 වන වසරට ළමුන් ඇතුළත් කිරීමේදී කොළඹ ප්‍රධාන පෙලේ පාසල්හි සිදුවූ අක්‍රමිකතා පිළිබඳ අසාධාරණයට ලක්වූ දෙමාපිය එකමුතුව විසින් ලංකා ඊ නිව්ස් වෙත කළ හෙළිදරව්වකි.

2017 වසරෙහි 1 වන වසරට ළමුන් ඇතුළත් කිරීමේදී කොළඹ ප්‍රධාන පෙලේ පාසල්හි සිදුවූ අක්‍රමිකතා

2017 වසරෙහි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ජනවාරි මස 11 දින සිට ඇරඹෙන අතර, මෙම පාසල් හි ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා වූ අවසන් ලේඛනය බොහෝ අක්‍රමිකතාවයන්ගෙන් යුක්ත ය. චක්‍රලේඛයේ 2016 දෙසැම්බර් 01 වන දිනට පෙර අවසන් ලේඛනය ප්‍රසිද්ධියට පත් කළ යුතු බව දන්වා ඇතත්, අසාධාරණයට ලක්වූ දෙමාපියන්ට එම අක්‍රමිකතා සඳහා ක්‍රියාත්මක වීමට කාලයක් නොමැති වන අයුරින් ප්‍රධාන පෙලේ පාසල් සියල්ලම දෙසැම්බර් මස 23 දින දක්වාම පාසල් විදුහල්පතිනියන් / විදුහල්පතිවරුන් ඇතුලුව සැදුම්ලත් කණ්ඩායමක් විසින් අවසන් ලැයිස්තු ප්‍රදර්ශනය කර නොතිබුණි. එයින් වඩාත් අසරණ වූයේත් බලවත් අසාධාරණයට ලක්වූයේත් තේරී පත්ව ඇති දරුවන් නොව යම් යම් අසාධාරණ හේතුන්, අක්‍රමිතකාවයන් මත ලැයිස්තුවට ඇතුල්වීමට නොහැකි වූ දෙමාපියන්ගේ දරුවන්ය.

එමෙන්ම විශාකා විද්‍යාලය සහ සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයන්හි විදුහල්පතිනියන් විසින් මහජන ප්‍රසිද්ධියට ලක්කරන ලද එම අවසන් ලේඛනය සටහන් කරගැනීමට හෝ ඡායාරූප ගැනීමට පවා තහනම් කර තිබුණි. පුදුමය නම් තොරතුරු දැන ගැනීමේ පණතක් රටේ සම්මත වී ඇති බව හෝ මේ රාජ්‍ය නිලධාරිනියන් දැන ගෙන නොසිටීම ය. සති දෙකකටවත් වඩා වැඩි කාලසීමාවක් මහජනතාව සඳහා අවසන් ලැයිස්තුව ප්‍රදර්ශණය කරන ලෙස චක්‍රලේඛයේ දක්වා තිබියදීත් විශාකා විද්‍යාලයෙහි අවසන් ලේඛනය දවස් 4 ක් යන්නටත් මත්තෙන් ඉවත්කර තිබුණි. ඒවායෙහි ඇති අක්‍රමිකතා සාක්ෂි සහිතව ජනතාව අතට පත්වීමට වැලැක්වීම සඳහා ඡායාරූප ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණි.

ඉහත සඳහන් බාලිකා පාසල්වලට අමතරව රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාල, ඉසිපතන විද්‍යාලය ආදී පාසල් රාශියක අක්‍රමිකතා සබැඳිව පැමිණිලි රාශියක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන අංශය වෙත ලැබී ඇති අතර, එම විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව අධ්‍යාපන අමත්‍යා‍යාංශයෙන් තොරතුරු ලැබී ඇත. එහෙත් බලයෙන්, මුදලින් සහ මහන්තත්වයෙන් අගතැන්පත් කොළඹ ප්‍රධාන පෙලේ පාසල්වල විදුහල්පතිනියන්/ විදුහල්පතිවරුන් සහ සම්මුඛ පරීක‍්ෂණ මණ්ඩල සාමාජිකයින් විසින් තමන් පගාවෙන් උපයාගත් මුදල් විසිකර මෙම විමර්ශන නිලධාරීන්ව තමන් සතුකර ගනී ද යන සැකයක් අසාධාරණයට ලක්වූ දෙමව්පියන්ගේ සිතෙහි පැන නැගී ඇත.

විශාකා විද්‍යාලයෙහි විදුහල්පතිනිය වන සඳමාලි අවිරුපොළ  විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරනු ලබන තනූජා ප්‍රනාන්දු නම් තැනැත්තියට පදිංචියෙන් ලකුණු 79 ක ප්‍රමාණයක් හිමිව තිබියදීත් ඇය පාසලට නොගන්නා හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ‘‘ඇය කට වැඩි ගැහැණියක් නිසා මම ගත්තේ නෑ’’ යනුවෙනි. එම කරුණ සඳමාලි අවිරුපොළ විසින් එම විද්‍යාල විරෝධතා මණ්ඩල සභාපති වන මහානාම විද්‍යාලයේ විදුහල්පති  ධර්මසේන මහතා වෙතද දන්වා ඇත. එමෙන්ම ව්‍යාජ ලිපිනයක් යොදා ගනිමින් විශාකා විද්‍යාලයෙහි තාවකාලික ලැයිස්තුවට තේරී පත් වූ අයැදුම්කරුවකු අනුලා විද්‍යාලය සඳහා එම විද්‍යාලය ආසන්නයේ ලිපිනයකින් එම විද්‍යාලයටද තේරී පත්ව සිටි අතර, අනුලා විද්‍යාලයට විරෝධතා ඉදිරිපත් කල දෙමව්පියන් විසින් ඒ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව උක්ත අයදුම්කරුගේ නම අනුලා විද්‍යාලයේ අවසාන ලැයිස්තුවෙන් ඉවත්කර තිබුණි. එහෙත් විශාකා විද්‍යාලය තමන්ගේ බූදලයක් ලෙස සිතන සඳමාලි අවිරුපොළ විසින් උක්ත අයදුම්කරු අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව දැන දැනත් අවසන් ලැයිස්තුවෙන් විද්‍යාලයට ඇතුළත්වීම සඳහා සුදුසුකම් ලබාදී ඇත.

ඒවා එහෙම තමයි..!

එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ විදුහල්පතිනිය වන හේරත් නමැත්තිය එකම ලිපිනයෙන් විවිධ දෙමව්පියන්ගේ ළමුන් දෙදෙනෙකු විද්‍යාලය වෙත බඳවාගෙන ඇත. සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් කඩ කාමරවලින්ද දරුවන් බඳවාගෙන ඇති අතර, වැඩේ වරදින බව දැණුනු විගසම ලිපිනයන් මාරු කිරීමටද එම දෙමව්පියන්ට උපදෙස් දී ඇත. අංක 74 හැව්ලොක් පාර යන ස්ථානයෙහි පිහිටා ඇති හර්කියුලිස් ටේලර්ස් නමැති ප්‍රකට ව්‍යාපාරික ස්ථානය වෙතින් දරුවකු ඇතුළත් කර ඇති අතර, ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංයේ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබුණු පසු අංක 68 ලෙස වෙනස් කර ඇත. 11/13 නමැති ලිපිනයෙන් කැප්පෙටිපොල පාරෙහි සමුළු නිවාසයක් නොමැති නමුත් එම ලිපිනයෙන්ද ළමයෙක් බඳවාගෙන ඇත. මහජනතාව වෙත ප්‍රසිද්ධියට පත්කරන ලද අවසන් ලේඛනයෙහිද උක්ත ලිපිනය සටහන් කර තිබිණ. දෙමව්පියන් ගොස් විදුහල්පතිණියගෙන්  මේ පිළිබඳව විමසූ විට විදුහල්පතිනිය හේරත් විසින් එය පෑනෙන් 11/ඊ ලෙස වෙනස් කර ඇත. නමුදු 11/ඊ යන ලිපිනයෙන් වෙනත් අයැදුම්කරුවකු ආසන්න පදිංචි ඝනය යටතේ තම දරුවා විද්‍යාලය වෙත ඇතුළත් කර තිබේ. ඒ පිළිබඳව සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ විදුහල්පතිණිය හා එම විද්‍යාලයේ විරෝධතා මණ්ඩලයේ සභාපති වන කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ විදුහල්පති වෙත මෙම අසාධාරණයට ලක් වූ දෙමව්පියන් විසින් විටින් විට පැවසුවද ඔවුන් විසින් මුණිවත රැක්කේ ඇයිද යන්න අදටත් අභිරහසකි.

කොළඹ රාජකීය විද්‍යාලය විසින් ප්‍රකාශයට පත්කරන ලද අවසන් ලැයිස්තුවෙහි ආදි ශිෂ්‍ය ඝනය යටතේ තේරී පත් නොවූ අයදුම්කරුවන්ට පාසල වෙත ඇතුළත්වීම සඳහා විද්‍යාලයේ උපකාර ඇතිව පාසලට ආසන්නයේ ඇති ස්ථානවලින් ව්‍යාජ ලිපිනයන් යොදා ආසන්න පදිංචි ඝනය යටතේ තෝරාගෙන ඇත. අසාධාරණයට ලක් වූ දෙමව්පියන් විසින් ඒ පිළිබඳව විරෝධතා මණ්ඩලයේ සභාපති විදුහල්පති වූ අබේරත්න මහතාගෙන් විමසා සිටීමේදී පවසා සිටියේ “ඒවා එහෙම තමයි” යනුවෙනි.

විවිධ ව්‍යාජ අයදුම්කරුවන් 100 කටත් වඩා අධික සංඛ්‍යාවක් පිළිබඳව රාජකීය විද්‍යාලයේ විරෝධතා මණ්ඩලයට හා විදුහල්පති වෙත සාක්ෂි සහිතව ඔප්පු කොට දැක්වුවද බලයට, මුදලට සහ අල්ලසට යටත්ව ව්‍යාජ අයදුම්කරුවන්ගේ දරුවන් සියලු දෙනාම විද්‍යාලයට ඇතුළත් කර ඇත. රාජකීය විද්‍යාලයේ විදුහල්පතිට අමතරව තවත් ප්‍රධාන හෙංචයියෙකු වන ක්‍රිෂාන්ත නමැත්තා මෙහි ප්‍රධාන භූමිකාව රඟදක්වන ලදී. විදුහල්පති රූකඩයක් සේ ඔහු කියනා දෙයට එහෙයි යනුවෙන් පමණක් පවසයි. අයදුම්කරුවන්ට ලකුණු ලබාදීමේ දී ඔවුන් එකිනෙකාට විවිධ පිළිවෙත් අනුගමනය කර ඇත. සියලුම සම්මුඛ පරීක‍්ෂණ කටයුතු සහ ලියකියවිලි ඉංග්‍රීසී පන්නයටම කළ රාජකීය විද්‍යාලයේ තාවකාලික සහ අවසන් ලැයිස්තුව ඉංග්‍රීසී නොදන්නා ප්‍රාථමික පුද්ගලයෙකුගේ ඥාන මට්ටමින් යුතු බොහෝ දෝෂ සහගත අයුරින් මුද්‍රණය කර ඇත. උදාහරණයක් ලෙස මුහුදු මාවතට Sea View Avenue වෙනුවට Sri View Road ලෙස විරෝධතා කරුවන් නොමග යවන අයුරින් සිතාමතාම සඳහන් කර ඇත.

ඉසිපතන විද්‍යාලයෙහි විදුහල්පති ඉතා සර්ව සාධාරණ පුද්ගලයෙකු මෙන්ම අසාධාරණකම පිළිබඳව දෙමව්පියන්ට ඇහුම්කන් දුන්නද, එම විද්‍යාලයේද අක්‍රමිකතා බොහෝ ඇත. එනම් විරෝධතා දැක්වූ අයදුම්කරුවන්ගේ අයදුම් අංක පවා වෙනස් කර නැවත වෙනත් අංකයකින් එම අයදුම්කරුවන්ගේ ලිපිනයන්ද වෙනස් කර ව්‍යාජ ලෙස අවසන් ලේඛනයට ඇතුළත් කර ඇත. විරෝධතා දැක්වූ අයදුම්කරුවන් එලෙසම කිසිදු වෙනසක් නොකර නැවතත් අවසන් ලැයිස්තුව සඳහා තෝරාපත්කර ගෙන ඇත. මේ පිළිබඳව විද්‍යාලය වෙතින් අසාධාරණයට ලක් වූ දෙමාපියන් විසින් විමසීමේදී විරෝධතා මණ්ඩල සභාපතිගෙන් ඒ පිළිබඳව කරුණු විමසිය යුතු බව පවසා සිටින අතර, ඔහුගෙන් ඒ පිළිබඳව විමසා සිටියදී විද්‍යාලය වෙතින් ඒ පිළිබඳව විමසා සිටින ලෙස පවසා දෙමාපියන් අපහසුතාවයට ලක්කරනු ලබයි. මුදලට දරුවන් ඇතුළත් කිරීමේදී ඉසිපතන විද්‍යාලයෙහි ප්‍රධාන භූමිකාව රඟදක්වනු ලබන්නේ උප විදුහල්පති කලුබෝවිල නමැත්තා ය.

දූෂිත විදුහල්පතිලාට සහාය දෙන දූෂිත ග්‍රාමසේවකලා

මහානාම විද්‍යාලයෙහි විදුහල්පති වන ධර්මසිරි, ආනන්ද විද්‍යාලයෙහි විදුහල්පති කිත්සිරි ලියනගමගේ, ඩී.එස්. සේනානායක විද්‍යාලයෙහි විදුහල්පති වන රත්නායක, තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති එ්කනායක, නාලන්දා විද්‍යාලයේ විදුහල්පති රංජිත් යන සියලු විදුහල්පතිවරුන් සහ එම විද්‍යාලයන්හි සම්මුඛ පරීක‍්ෂණ මණ්ඩල සාමාජිකයින්ද මෙම අජූත නාටකයේ ප්‍රධාන චරිත රඟපාන්නන්ය. එම රංගනයේ අතිරේක භූමිකාවන් අදාල ග්‍රාම නිලධාරි වසම් වල රාජකාරි නියුතු ග්‍රාම නිලධාරීන් වන මිලාගිරිය ග්‍රාම සේවා වසමේ පියල් ජයවික්‍රම, තිඹිරිගස්යාය ග්‍රාමසේවා වසමේ කුලරත්න, කිරුළ ග්‍රාමසේවා වසමේ රංජන් පුෂ්පකුමාර, කුරුඳුවත්ත සහ බොරැල්ල දකුණ ග්‍රාමසේවක ජයසිරි යන ග්‍රාම නිලධාරින් විසින් රඟ දක්වති. ඔවුන්ගේ ග්‍රාම සේවා සහතිකයක් රු. 30,000 – 40,000 ත් අතර මුදලකට විකිණේ.

එය පාසලේ ජනප්‍රියතාවය අනුව තීරණය වේ. හිස් ඉඩම් වලටද මොවුන් විසින් ඡන්ද පත්‍රිකා නිකුත් කරනු ලබයි. නිවැසියන් විසින් තමන්ගේ ඡන්ද පත්‍රිකා පුරවා අදාළ ග්‍රාම නිලධාරියාට භාරදුන් පසු එම පත්‍රිකාවේම අවසානයට ග්‍රාම නිලධාරින් විසින් ව්‍යාජ අයදුම්කරුවන්ගේ තොරතුරු එම ඡන්ද පත්‍රිකාවටම එක් කරනු ලබයි. පාසල් වෙතින්ම අදාල ව්‍යාජ ලේඛන සපයනු ලබන අංශ වෙත අයදුම්කරුවන් යොමුකරනු ලබයි. ව්‍යාජ ලේඛන සකසා දරුවන් ඇතුළත් කිරීමට විවිධ පාසල් සඳහා අයදුම්කරුවන් වියදම් කළ යුතු මුදල් පහත සඳහන් පරිදි වේ.

විශාකා විද්‍යාලය – ලක්ෂ 18 යි
රාජකීය විද්‍යාලය – ලක්ෂ 18 යි
ආනන්ද විද්‍යාලය – ලක්ෂ 15 යි
නාලන්දා විද්‍යාලය – ලක්ෂ 12 යි
සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය – ලක්ෂ 12 යි
තර්ස්ටන්/ මහානාම/ ඉසිපතන විද්‍යාල –  ලක්ෂ 4 යි

මෙම ලැබෙන මුදල් විද්‍යාලයෙහි දියුණුව සඳහා යොදවන්නේ නම් එය අමාරුවෙන් හෝ අසාධාරණයට ලක්වූ දෙමාපියන් විඳ ගනු ඇත. එහෙත් ඒ සියලු මුදල් ජාවාරම් කරුවන්ගේ සාක්කු පුරවනු ලබයි.  අසාධාරණයට ලක් වූ දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඔවුන්ව අවදි කොට ඇත. එමෙන්ම අසාධාරණයට ලක් වූ දෙමාපියන් විසින් නිරන්තරයෙන් මේ පිළිබඳව ජාතික පාසල් අධ්‍යක‍්ෂක වෙත පැමිණිලි ඉදිරිපත් කළද ඔහු විසින් මෙම වැරදිකරුවන් රකිනා පිළිවෙතක් මිස මේ දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා අයුරක් පෙන්වා නැත. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය සහ විමර්ශන අංශ නිලධාරීන් මේවා පිළිබඳව දක්වන උනන්දුව සහ කැපවීම ප්‍රශංසනීය ය. එබැවින් කොළඹ ප්‍රධාන පෙලේ පාසල්හි ආදි ශිෂ්‍ය සංගම් එම සංගම් වල ප්‍රබලයන්ගේ බස් වලට රූකඩ මෙන් එහෙයි කියනා පඹයන් වන් වූ විදුහල්පතිවරුන් සහ සම්මුඛ පරීක‍්ෂණ මණ්ඩලයන්හි ප්‍රධාන භූමිකා රඟන විද්‍යාලයන්හි මුල්බැසගත් පුද්ගලයින්ගේ නිරුවත හෙලිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන අංශ සාමාජිකයින් විසින් ගරු අධ්‍යාපන අමාත්‍යතුමන් වන අකිල විරාජ් ඇමතිතුමන්ට ශක්තිය සපයනු ඇතැයි අසාධාරණයට ලක්වූ දෙමාපියන් විසින් දෑල් දල්වා බලා සිටිති.

– අසාධාරණයට ලක්වූ දෙමාපිය එකමුතුව

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *