මුදල් අමාත්‍යාංශයටත් ඉර පායයි..! ලක්ෂ දෙකක් මතුවෙයි..!!

(10.01.2017 – 02:25 +0530 – lankaenews.com)

මුදල් අමාත්‍යාංශයටත් ඉර පෑයීමෙන් මසකට රුපියල් ලක්ෂ දෙකක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.  2017 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වසර දෙකක් තුළ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලයෙන් බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ මුල් පියවර ඊයේ (09) මුදල් අමාත්‍යාංශයේ දී ආරම්භ විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ‘තිරසර යුගයක තෙවසරක ඇරැඹුම‘ වැඩසටහන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘සවිමත් ආර්ථිකයක් තුළින් බලගතු ශ්‍රී ලංකාවක්‘ යන සංකල්ප දෙක අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.  ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ සවි කළ නව සූර්ය බලශක්ති පද්ධතිය ඊයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහත්වරුන් අතින් විවෘත විය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී සඳහන් කළේ පරිසරය සුරකිමින් නව බල ශක්ති ප්‍රභවයන්ට පරිවර්තන වීම වේගවත් සංවර්ධන ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් බවයි. එසේ ම ණය බරතාව කළමනාකරණය කිරීම සඳහා වියදම් කළමනාකරණය කිරීමේ රජයේ වැඩසටහනට මෙමගින් මහත් පිටිවහලක් ලැබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ඒ අනුව නව සූර්ය බලශක්ති පද්ධතිය ස්ථාපනය කිරීමෙන් මුදල් අමාත්‍යාංශයේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ අඩු කර ගත හැකි වනු ඇතැයි මුදල් අමාත්‍යවරයා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා…

“අවිධිමත් ලෙස ලබා ගත් ණය කන්දරාවක් එක්ක තමයි 2015 ජනවාරි මාසෙ 8 වෙනිදා අපි රට භාර ගත්තෙ. අපි රජයක් විදියට කල්පනා කළා මේ ණයවලට මොකක් ද කරන්නෙ කියල. මාර්ග දෙකක් තිබුණ. එකක් මේ ණය මේ විදියට ම තියෙන්නෙ ඇරල, ඉදිරියට කටයුතු කරගෙන යන එක. දෙවැන්න තමයි අපේ වියදම් අවම කරමින්, ආර්ථිකය කළමනාකරණය කරමින් නව ආදායම් සොයාගෙන යාම.

අපි මේ ක්‍රියාත්මක කරමින් ඉන්නෙ ඒ දෙවැනි කටයුත්ත. අද මේ ආරම්භය මගින් පරිසරය ආරක්ෂාවීම, නව බලශක්ති ප්‍රභවයන්ට පරිවර්තනය වීම සිදු වෙනව වගේ ම රාජ්‍ය වියදම අවම කර ගැනීමට මනා පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා මේ සියලු දෙනා මේ සඳහා සහය ලබා දෙයි කියල අපේක්ෂා කරනවා. 2019 වසර වෙද්දි සියලු රාජ්‍ය ආයතන සූර්ය බල ශක්තියෙන් බල ගැන්වීම අපේ අරමුණයි.”

උත්සවයේ දී අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා..

“පැවැති පාලනය තමන්ට තවත් වසර දෙකක් ඉදිරියට බලය තියෙද්දි ඡන්දෙකට ගියේ රට ඉදිරියේ තිබුණ මහා අර්බුද දෙකක් දැකල. එකක් තමයි ජාත්‍යන්තර වශයෙන් රටට එල්ල වී තිබුණ චෝදනා. දෙවැන්න තමයි අපි මුහුණ දෙමින් හිටිය ආර්ථික අභියෝගය. අපි මේ වන විට යහපාලනය යටතේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරමින් ජාත්‍යන්තර බලවේගවල බලපෑම අවම කර ගැනීමට සමත් වෙලා තියෙනවා. නමුත් ලෝක තත්ත්වයන් සමග, අපට කටයුතු කරන්න සිද්ධ වෙන නිසා ආර්ථික අභියෝග තව දුරටත් තියෙනවා. එය ජය ගැනීම සඳහා යන ගමනේ, මේ අද පසුකළේ  සුවිශේෂී සංධිස්ථානයක්.” යැයි ද පැවැසීය.

එහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා කියා සිටියේ ආර්ථික සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය යනු කරුණු දෙකක් නොව එකක් බවයි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරු වන එස්.ආර්. ආටිගල, ඒ.ආර්. දේශප්‍රිය, චන්ද්‍රා ඒකනායක අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී. සුමනසිංහ යන මහත්ම මහත්මීහු සහ සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ ෴

**************************************

ව්‍යවස්ථා සභාව රැස්වේ: තීන්දු 3 ක් ගනී
(10.01.2017 – 10:45 +0530 – lankaenews.com)

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාව ඊයේ පස්වරුවෙහිදී (09)  කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී පහත සඳහන් කටයුතු ප්‍රමුඛ කාර්යයන් ලෙස සලකා ඉටු කෙරින.

1. ජාතික පොලිස් කොමිසමේ දැනට පුරප්පාඩු වී පවතින සභාපති ධුරය සඳහා වන නාමයන් නිර්දේශ කර  ජනාධිපතිතුමා වෙත දන්වා යැවීමට පියවර ගනු ලැබිණි.

2. රාජ්‍ය සේවා කොමිසන් සභාවේ දැනට පුරප්පාඩු වී පවතින සාමාජික ධූරය සඳහා වන නාම නිර්දේශයන් ගරු ජනාධිපතිතුමා වෙත දන්වා යැවීමට පියවර ගනු ලැබිණි.

3. ස්වාධීන කොමිෂන් සභාවන් හි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථීර කාර්යාල පහසුකම් සලසා දීම පිළිබඳවද සලකා බැලුනු අතර ඒ සඳහා වන කටයුතු සම්පාදනය කිරීමට බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාවේ සාමාජික පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට යොමු කරවන ලදී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *