කොළඹ රාජකීය විදුහලේ නව වසරට සිසුන් ලියාපදිංචිය අත්හිටුවා විමර්ශන අරඹයි : වැරදිකාර සිසුන්ට පාසැල අහිමියි : දිවයිනේ සුපිරි විදුහල් 45 ගැනම විමර්ශන : ආදි සිසු සංගම් මාෆියාවටත් රතු එළි

(10.01.2017 – 11:55 +0530 – lankaenews.com)

නව වසරට සුපිරි පාසැල් වලට සිසුන් බඳවා ගැනීමේදී සිදුකර ඇතැයි නඟන ලද චෝදනා හේතුවෙන් කොළඹ රාජකීය විදුහලේ සිසුන් ලියා පදිංචි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවා විමර්ශන ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම ක්‍රියාවලිය කොළඹ  සහ පිටපළාත්ද ඇතුළු සුපිරි පාසැල් 45 හේම සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියෙකු කීවේ සුපිරි පාසැල් 45 ක විමර්ශන එක වර සිදු කිරීමට අවශ්‍ය විමර්ශන නිලධාරීන් නොමැති නිසා අහඹු ලෙස තෝරා ගත් පාසැල් කිහිපයක රාජකීය විදුහලේ සේම නවක සිසුන් ලියාපදිංචිය අත් හිටුවා විමර්ශන සිදුකරනු ලබන බවයි. නිල නොවන වාර්තා අනුව නුගේගොඩ අනුලා විදුහලද ඊට ඇතුලත් ය.

විමර්ශන සිදුකෙරෙන ප්‍රමාණය අනුව වරදක් සිදුකර නැති දෙමාපියන්ගේ දරුවන් කොටසින් කොටස ලියා පදිංචි කිරීම සිදු කරනු ඇත.

මෙවර විමර්ශන මීට ඉහත සිදුකරන ලද විමර්ශන මෙන් බඳවා ගත් සිසුවෙකු වරද කරුවෙකු වුවද සිසුවා නොව එය දෙමාපියන්ගේ වරදක් සේ සලකා සිසුවාට එකී පාසැලේම අධ්‍යාපනය ලබන්නට ඉඩ දුන්නද එවැන්නකින් තවත් නිර්දෝෂී සිසුවෙකුගේ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය වන බැවින් වරදකාරී සිසුවාට පාසැල අහිමි කර එම අවස්ථාව නිර්දෝෂී දරුවෙකු වෙත ලබා දෙනු ඇත.+

ඇමති රාජකීය විදුහල්පති කැඳවා දැඩි ලෙස බැන වදී

නව රජය පත්වීමෙන් පසු රාජකීය විදුහලේ හිටපු දූෂිත විදුහල්පති වරයා ඉවත් කර බී.ඒ.අබේරත්න නමැති ආනන්දයේ හිටපු අයෙකු නව විදුහල්පති ලෙස පත් කළද ඔහුද පෙර සිටි විදුහල්පතිවරයා සේම නවක සිසුන් බඳවා ගැනීම ජාවාරමක් කර ගනිමින් අතිශය දූෂිත ලෙස ක්‍රියා කර තිබේ.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි අබේරත්න කැඳවූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඔහුට දැඩි ලෙස අවවාද කර තිබේ. හිටපු දූෂිත විදුහල්පති ඉවත් කර අලුත් අයෙක් ලෙස තමුන්ව පත් කරන ලද්දේ හිටපු දූෂිතයා කළ දේම කරගෙන යෑමට නොවේ යයි පවසා ඇති ඇමැතිවරයා රාජකීය විදුහලේ සිසුන් ලියාපදිංචිය අත් හිටුවා විමර්ශන ආරම්භ කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කර ඇත.

නවක සිසුන් බඳවා ගැනීමේ දී බොහෝ දූෂිත ක්‍රියා සිදුකරන්නේ ආදි ශිෂ්‍ය සංගම් ලෙස අටවා ගෙන තිබෙන දූෂිතයන්ගෙන් ගහන සංවිධාන හරහා බැවින් එකී මාෆියාවට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කර තිබිණ. ඒ අනුව පාසැල් සංවර්ධනයට කියා ලමුන් බඳවා ගැනීමේදී ආදි ශිෂ්‍ය සංගම් වලට මුදල් ලබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය.  ආදි සිසුවෙකුට ලැබෙන ප්‍රසාද ලකුණු ගණන ඕනෑම ආදි සිසුවෙකුට ලැබෙනවා මිස ඔහු ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු විය යුතු යැයි යන දැනට ආදි ශිෂ්‍ය සංගම් මාෆියාව පවත්වාගෙන යන නීතියටද අමාත්‍යාංශ චක්‍රලේඛයෙන් ඉඩ දී නැත. වාර්තා වන අන්දමට සුපිරි පාසැල් වල ආදි ශිෂ්‍ය සංගම් සිසුන් බඳවා ගැනීමේ එක් වසරකදී පමණක් රුපියල් කෝටි සියයකට අධික මුදලක් දෙමාපියන්ගෙන් හම්බ කර ගන්නා අතර ඒවායින් වැඩි කොටසක් විදුහල්පතිලා ඇතුළු මාෆියාව බෙදා හදා ගනු ලබයි.

ඉහත කාරණා අනුව නවක සිසුන් බඳවා ගැනීමේ දී ආදි සිසු සංගම් හරහා දූෂණ සිදුවී ඇතිද යන්න ගැන විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කෙළේය. එසේ ඔප්පු වන ක්‍රියා වෙතොත් ආදි සිසු සංගම් වල අදාල දූෂිතයන්ට එරෙහිව රටේ අපරාධ නීතිය යටතේ ක්‍රියා කිරීමට තීරණය කර ඇත.

2017 නව පාසැල් වාරය සඳහා නවක සිසුන් ඇතුලත් ගැනීමට නියමිතව තිබෙන්නේ හෙට (11) සිට ය.

බලවන්තයන් සැමදාම දූෂණයෙන් දරුවන් සුපිරි පාසැල් වලට ඇතුලත් කර ගන්නා බවත් අසරණයන් සැමදාම අසාධාරණයට ලක්වන බවත් මෙම විෂම චක්‍රය නතර කිරීම ආරම්භ කළ යුතු බවත් පවසා ඇති අධ්‍යාපන ඇමැතිවරයාට නිවැරදි දේ කරන්නැයි අගමැතිවරයා උපදෙස් දුන් බවද දැන ගන්නට ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *