ඩ්‍රෝන අහසට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යය අනුගමනය කිරීමට යයි : ‘‘ඩ්‍රෝන වලට නව නීති ගෙන එනවා’’ නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

(10.01.2017 – 13:25 +0530 – lankaenews.com)

ඩ්‍රෝන අහසට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද බ්‍රිතාන්‍යය අනුගමනය කරමින් නීති සම්මත කිරීමට යන බව වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ අග්‍රඵලය සේ සැලකෙන බ්‍රිතාන්‍යයේ පසුගියදා ඩ්‍රෝන අහසට යැවීමට පෙර අවසර ගත යුතු යැයි නීතියක් ගෙන ආවේය. ඊට හේතු වූයේ ඩ්‍රෝනයක් පහතට ගැනීමේ දී කුඩා දරුවෙකුගේ මුහුණ තුවාල වීම වැනි ඉතා කුඩා සිදුවීමකි. ඊට පෙර බ්‍රිතාන්‍යයට ඩ්‍රෝන හිසරදයක් වී තිබුනේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඩ්‍රෝන භාවිතා කර සිර ගෙවල් තුලට මත්ද්‍රව්‍ය සැපයීම හසුවීමෙනි.

ශ්‍රී ලංකාවේ ද කැමරා සවි කරන ලද ඩ්‍රෝන සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද පැවැසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ඊයේ නව පත්වීම් ලද ප්‍රියන්ත ජයකොඩි මහතා මීට පෙරද මෙකී තනතුර හෙබවූවෙකි.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව අද පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු ඩ්‍රෝන  නව නීති ගැන එසේ ප්‍රකාශ කෙළේ පසුගියදා හම්බන්තොට සිද්ධියක් පදනම් කර ගනිමිනි.

හම්බන්තොට ප්‍රචන්ඩ විරෝධතාවයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට අයත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක ඩ්‍රෝන කැමරාවක් ආරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගත් අතර පසුව එය ඔවුන්ට බාර දී තිබිණ. නමුත් එහි තිබූ චිපය ඒ අවස්ථාවේදී ලබා දුන්නේ නැත.

මේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවැසුවේ එකී නාලිකාව ඒ අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් අහසට යැවීමට අවසරයක් ලබාගෙන නොතිබූ බවත් ඒ වන විට ප්‍රභූන් විශාල පිරිසක් එම ස්ථානයේ සිටි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සලකා ඩ්‍රෝනය ආරක්ෂක භාරයට ගත් බවයි. සිද්ධියේ උණුසුම් භාවය පහවීමෙන් පසු යලි එය බාර දුන් බවත් ඩ්‍රෝන සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් හේ  ප්‍රකාශ කෙළේය.

තම අසනීපයක් ගැන දුක කියා මත්ද්‍රව්‍ය නාලිකා ප්‍රධානියාගෙන් මාසික දීමනාවක් ලබා ගන්නා එක්තරා මාධ්‍ය සංවිධාන කැඳවුම්කාරියක් පමණක් මෙම ඩ්‍රෝන සිද්ධිය මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතල හානියක් ලෙස උලුප්පා දක්වමින් ප්‍රකාශ නිකුත් කර තිබිණ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *