අතීසාරයට අමුඩ ගැසීම නවතන්න..! එක් වෘත්තියක් පමණක් සුවිශේෂ නැත..!! සයිටම් පිලිබඳ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිල මතය මෙන්න

(22.02.2017 – 01:00 +0530 – lankaenews.com)

අද හැමෝම සයිටම් ගැන කතා කරන නිසා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ පිළිබඳව දරණ මතය පිළිබඳව විවිධ පුද්ගලයන් කරන ප්‍රකාශ නිසා අපේ නියම මතය කුමක්ද යන්න ප්‍රකාශ කිරීම එහි ලේකම්වරයා ලෙස මගේ යුතුකමකි. අපි ජනවාරි 08 ජයග්‍රහණයේදී මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පාලනය නොවේ විවේචනය කලේ. ඔහුගේ පාලනය තුල සිදුවූ වැරදි ක්‍රියා සහ ඒ කාලයේ පැවති  ක්‍රමයයි. අපි කීවේ මෙම ක්‍රමය වෙනස් කරන්න කියල මිස පුද්ගලයන් වෙනස් කරන්න කියල නොවේ. සයිටම් ප්‍රශ්නයේදීත් අපගේ ස්ථාවරය එයමයි. අපි එක් පුද්ගලයෙක් හෝ එක අධ්‍යාපන ආයතනයක් ඉලක්ක කරගන පහර ගසන්නේ හෝ අගයන්නේ නැත.

අප ස්ථාවරය සියලු දෙනාටම අධ්‍යාපනයේ අවස්ථා හිමිවිය යුතුයි. නමුත් කුමන විෂයක් යටතේ වුවත් ප්‍රමිතීන් දෙකක් තිබිය නොහැක. වෛද්‍ය විද්‍යාවට එක ප්‍රමිතියකුත් ඉංජිනේරු විද්‍යාවට හෝ කොම්පියුටර් තාක්ෂණයට තව ප්‍රමිතියකුත් තිබිය නොහැක. එය රජයේ එක ප්‍රමිතියකුත් පුද්ගලික අංශයේ තවත් ප්‍රමිතියකුත් තිබිය නොහැක. රජයේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතියද එක එක විශ්ව විශ්ව විද්‍යාල වල එකම නොවේ. මුලින්ම මේ රජයේ විශ්ව විද්‍යාල සියල්ලේම ප්‍රමිතිය එකම තත්වයට ගෙන ඒමට රජය සහ ඊට සම්බන්ධ පරිපාලනය කටයුතු කල යුතුයි. පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා අනුමැතිය දෙන විට ඊට අවශ්‍ය ප්‍රමිතීන් ඇතුළු සියලු කාරණා පිලිබඳ අධීක්ෂණය කොට රජයේ අධීක්ෂණය යටතේ පාලනය වන ආයතනයකින් ඒවා කළමනාකරණය කරන වැඩපිළිවෙලක් සමග එම අනුමැතීන් දිය යුතුයි. එවන් ආයතනවලට අයාලේ යාමට ඉඩදී වසර ගණනාවක් බීරි අලින් මෙන් සිටීමේ විපාකයට අද මුහුණ දීමට සිදුව ඇත්තේ අහිංසක දරුකැලක් සහ ඔවුන්ගේ දෙමාපියන්ය. නිසි ප්‍රමිතියකට යටත්ව නිසි ක්‍රමවේදයක් සමග මේ ආයතන ආරම්භ කළේ නම් මේ ගැටළු ඇති නොවනු ඇත.

අනෙක් අතට වෛද්‍ය විද්‍යාල පමණක් රජයේ විය යුතුයි ඒවා කිසිවිටෙක පුද්ගලික විශ්වවිද්‍යාල වලින් ප්‍රදානය නොකළ යුතුයි යන ස්ථාවරය පිළිගත නොහැක . එයින් අදහස් වන්නේ අනෙකුත් ඕනෑම විෂය ධාරාවක් පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ප්‍රදානය කළාට කමක් නැත. ඒවායේ ප්‍රමිතිය ඒ තරම් වැදගත් නොවේ යන්නද? බොහෝ දෙනෙකුගේ තර්කය වන්නේ වෛද්‍ය විද්‍යාව කෙලින්ම මිනිස් ජීවිත සම්බන්ධයෙන් බලපාන නිසා මිනිස් ජීවිත අනතුරකට හෙලීමට එය දායක වන බවයි. නමුත් මේ දෙකෙහිම ප්‍රමිතිය එකම තත්වයේ පවත්වාගත හැකිනම් එම ගැටලුව ඇති නොවනු ඇත. අනෙක් මතය ඉංජිනේරු සහ කොම්පියුටර් තාක්ෂණය හෝ රසායන විද්‍යාව වැනි විෂය පුද්ගලික වුවාට එය මිනිස් ජීවිත කෙරෙහි කෙලින්ම බල නොපාන බවත් වෛද්‍ය විද්‍යාව පමණක් කෙලින්ම බලපාන බවත්ය. අද ඔබ අප කවුරුත් දන්නව ඉස්පිරිතාලෙකට ගිහින් දොස්තර කෙනෙක් හමුවෙලා ලෙඩා පරීක්ෂා කිරීම වෙනුවෙන් විශාල මුදලකුත් ගෙවල , විශාල කාලයක් පෝලිමේ ඉඳල දොස්තර මහතා ලඟට ගිය ගමන් කරන්නේ විස්තර අහල සුළු පරීක්ෂණ තත්වයකින් පසු රෝගී තත්වය තීරණය කිරීමට විවිධ පරීක්ෂණ වෙත යොමු කිරීමයි. මේ සියලු පරීක්ෂණ අද සිදු කරන්නේ ඉංජිනේරුවන් සහ කොම්පියුටර් තාක්ෂනවේදීන් නිර්මාණය කළ උපකරණ  වලින්. ඒවා හසුරුවන්නෙත් ඊට අදාළ තාක්ෂණ දැනුම ඇති පුද්ගලයන්. ඊලඟට රසායනාගාරයේ පරීක්ෂණ කරන්නේ රසායන විද්‍යාව සම්බන්ධ හෝ ජීව විද්‍යාව සම්බන්ධ පුද්ගලයන්. ඔවුන් සහ එම උපකරණ ලබාදෙන වාර්තා ඇසුරින් තමයි වෛද්‍යවරයා ප්‍රතිකාර නිගමනය කරන්නේ. යම් හෙයකින් අර උපකරණයක් වැරදි වාර්තාවක් ලබාදුන්නොත් හෝ පරීක්ෂණාගාර වාර්තාවක් වැරදි තොරතුරක් ලබාදුන්නොත් වෛද්‍යවරයා නියම කරන ප්‍රතිකාරය වරදින්නේ නැතිද?  ඉංජිනේරුවන්  තට්ටු ගණන් උස ඉස්පිරිතාල හදල දහස් ගණන් ලෙඩ්ඩු  ඒවායේ ජීවත්වෙනකොට කඩාගන වැටුනොත් අහිමි වන්නේ මිනිස් ජීවිත නෙවෙයිද? එසේ නම් ඉංජිනේරුවන්  සහ අනෙකුත් විෂය ඉගනගන්න විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ද එකම තත්වයේ තිබිය යුතු නොවන්නේද? එම විෂයන් සඳහා පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගන යාමට එරෙහිව මේ අන්තරය හෝ අනෙකුත් සංගම් විරුද්ධ නොවන්නේ ඇයි? ඊලඟට අද සියලුම ඔපරේෂන් සිදු කරන්නේ නවීන තාක්ෂණ උපකරණ සහ විද්‍යුත් සහ කාර්මික උපකරණ වලින්. වෛද්‍යවරු කරන්නේ ඒවා උපයෝගී කරගන එම කටයුතු වඩා පහසුවෙන්, කාර්යක්ෂමව සහ ආරක්ෂිතව සිදු කිරීමයි. එම උපකරණ වල දෝෂ තිබුනොත් මොකද වෙන්නේ? කොටින්ම අද වෛද්‍යවරුන්ට ඉංජිනේරුවන් සහ කොම්පියුටර් විද්‍යාව සම්බන්ධ විශේෂඥයන් ගේ උපකාරයෙන් තොරව පැවතීමක් නොමැත. එසේ තිබියදී වෛද්‍ය විද්‍යාව පමණක් උසස් කොට සහ සුවිශේෂ කොට සැලකීම අනෙකුත් ක්ෂේත්‍ර වලට කරනු ලබන නින්දාවකි.  වෛද්‍යවරු පමණක් මිනිස් ජීවිත වලට කෙලින්ම වග කියන පිරිස බවට අතීතයේ යම් සත්‍යතාවක් තිබුනත් අද තත්වය මුලුමනින්ම වෙනස් වී ඇත. මෙවන් පුහු තර්ක ගොඩ නගමින් එක පිරිසක් පමණක් උසස් සහ සුවිශේෂ පිරිසක් ලෙස සිතීම සහ වරප්‍රසාද භුක්ති විදීම අනෙකුත් ක්ෂේත්‍ර වල මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. රටේ මිනිසුන්ගේ සුවතාවය රැකෙන්නේ වෛද්‍යවරුන් නිසා පමණක් යයි කියන්නේ නම් කසල එකතුකරන මිනිසුන් සතියක් වර්ජනය කලොත් නගරයේ මිනිසුන්ගේ සුවතාවය තර්ජනයට ලක් නොවන්නේද? තවදුරටත් ජනතාව නොමග යවමින් එක පිරිසකට පමණක් සුවිශේෂ වරප්‍රසාද භුක්ති විදීමට ඉඩ දී අනෙකුත් ක්ෂේත්‍ර වල සිටින මිනිසුන්  නිහඬව සිටීමද මේ තත්වය වර්ධනය වීමට තුඩු දී ඇත.

විවිධ මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ කරමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නම භාවිත කරමින් යම් ස්ථාවරයන් සයිටම් සම්බධයෙන් යම් පුද්ගලයන් කරනු ලබන්නේ නම් අපට කීමට ඇත්තේ ඒ ඔවුන්ගේ පුද්ගලික අදහස් මිස අප සංවිධානයේ අදහස් නොවන බවයි. අප මතය සියලු දෙනාටම අධ්‍යාපනයේ සම අවස්ථා හිමිවියයුතු අතර එය කුමන ක්ෂේත්‍රයේ වේවා ප්‍රමිතිය එකම තත්වයෙන් තිබිය යුතුයි? එසේ නොමැතිව පුද්ගලික නොව රජයේ වුවද විශ්වවිදයාල පවත්වාගන යන්නේ නම් අප එයද අනුමත නොකරමු. කළ යුත්තේ අතීසාරයට අමුඩ ගැසීම නොව රජයේ සහ පුද්ගලික සියලුම විශ්ව විද්‍යාලවල   ප්‍රමිතිය එකම තත්වයේ පවත්වාගන යාමට හැකි ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණ ක්‍රියාවට නගමින් වැඩි වැඩියෙන් උසස් අධ්‍යාපන අවස්ථා වෛද්‍ය පමණක් නොව සියලුම විෂයන් සඳහා විවෘත කිරීමයි.

සිසිර ජයමහ
ප්‍රධාන ලේකම්/ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

(මෙම ලිපිය සඳහා ලංකා ඊ නිව්ස් යොදා ගන්නා ලද අපවත් වී වදාල සෝභිත නාහිමිපාණන්ගේ සේයාරුව දයාන් විතාරණ මහතා විසින් ගන්නා ලද්දකි)

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

  • ඔබ වැනි ව්‍යාපාර බොහොවිට කරනුයේ ජනප්‍රිය මත වෙනුවෙන් පෙනි සිටමයි එය බොහොවිට ඔබගේ මතය නොවෙන්න පුලුවන් නමුත් එම ජන්ප්‍රිය මතය වෙනුවෙන් ඔබ කෑ මොරදෙනු ඇත.සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය මැතක සිට ඔලුවෙන් සිටගෙන ඇත. එහි පලමු සිදුවිම විල්පත්තුවේ වනසංහාරය සාධාරණිකරනය කිරිමයි. ඉංජි උපාධිය ගුනාත්මකව පහල ගොස් එම ඉංජිනේරුවන් නිම කරන ගොඩනැගිලි කඩාවැටේනම් එය වැලක් විමට කථාකරනු මිස වෛද්‍ය උපාධිය එ තත්වයට පතකිරිමට උත්සාහා නොකරන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *