නවක වධය වෙනුවෙන් වෙනමම වධකාගාර පවත්වාගෙන යෑම නවක වධ පිළිලයේ උච්චතම අවස්ථාවක්..! දේශපාලන අන්තවාදීන් සහ උසස් අධ්‍යාපනයේ මුල්පුටු මෙතෙක් කර ඇත්තේ කුමක්ද ?

(26.02.2017 – 23:40 +0530 – lankaenews.com)

– ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

වර්තමානය වනවිට නවකවදය සම්බන්ධයෙන් සමාජය තුල පුළුල් කතිකාවතක් ගොඩනැගෙමින් තිබෙන බවත්, ඊට හේතුව  විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක වන නවකවදය සමාජ පිළිලයක් ලෙස එහි උච්චම අවස්ථාවට පැමිණ තිබීම බවත්, නවකවදය වෙනුවෙන් වෙනමම වධකාගාර පවත්වා ගෙන යාම දක්වා විශ්වවිද්‍යාල සිසුන්ගේ ආකල්ප දුෂණය වීම ඊට හේතුව  බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

විශ්ව විද්‍යාල සිසුන් බලහත් කාරයෙන් අන්තවාදී දේශපාලන බලවේගවල ගොදුරක් වීම වලක්වා ගැනීමත් මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳවත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මේ බව පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා :

‘‘එදා වේල දුක් මහන්සියෙන් උපයා ගන්නා අහිංසක දෙමාපියන් දරුවා විශ්වවිද්‍යාලය තුලට ඇතුලත් කරන්නේ කප්පරක් වූ බලාපාරොත්තු හිස මත දරා ගනිමින්, එලෙස  විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන දරුවා අධ්‍යාපන ඉලක්ක සුනුවිසුණු කර ගනිමින් අර්ථ විරහිත පුද්ගලයෙකු බවට පත්වනු දැකීම ඛේදවාචකයක්, ඊට ඍජුව හෝ වක්‍රව වගකිව යුතු සියලු පාර්ශව ජාතියේ හෙට දවස වෙනුවෙන් පිළිතුරු සැපයිය යුතුයි.

උපතින්ම දේශපාලන සත්වයෙකු වන මිනිසාට දේශපාලන ප්‍රතිරුපයන් හඳුන්වා දීම ගැටළුවක් නොවේ, එහෙත් සිය දේශපාලන වහල් භාවයන් වෙනුවෙන් ශිෂ්‍ය ප්‍රජාව ගොදුරක් කර ගැනීම කිසිදා වන්දි ගෙවිය නොහැකි පාප කර්මයක්.

සමාජවාදී දේශපාලන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය නායකයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ ජීවිත තුල සැබෑ සමාජවාදී ප්‍රතිරූපයක් තිබෙන්නේ ද යන්න ගැන තිබෙන්නේ ද විවේචනයකි. සුඛෝපබෝගී ජීවන රටාවක් අනුගමනය කරන රාජ්‍ය නොවන සංවිධාන වල අරමුදල් වලින් නඩත්තු වන ඇතැමුන් උපාධිය හදාරන කාල සීමාවද ඉක්මවා විශ්වවිද්‍යාල තුල රැදී සිටින්නේ තමාගේ පුද්ගලික සහ දේශපාලන අරමුණු හේතුවෙනි. ඔවුන් විසින් පොළඹවනු ලබන අහිංසක සිසුන්ගෙන් ඇතැම් විට ව්‍යාජ සිසු ක්‍රියාමාර්ග වලට හේතු විමසුවහොත් ඇතැම් විට ඔවුන් ඊට හේතු දැක්වීමට පවා අසමත් වන බව සඳහන් කල යුතුයි.

අයිතීන් වෙනුවෙන් ශිෂ්‍යයන් සටන් කිරීම පුදුමය දනවන් කරුණක් නොවේ. ගැටලුව වන්නේ ශිෂ්‍යය අයිතීන් ලෙස හුවා දක්වමින් පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් සෙසු ශිෂ්‍යය ශිෂ්‍යයාවන්ද පොළඹවා ගැනීමයි.

මෙරට විශ්වවිද්‍යාල තුල පවතින මෙම විකෘති භාවය හේතුවෙන් රටක් ලෙස අපට අනාගතයේදී මානව සම්පත පිලිබඳ දැඩි අර්බුධයකට මුහුණ දීමට සිදුවන බව පැහැදිලියි. මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල ලෝකයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල දහස ආසන්නයට හෝ පැමිණීමට අසමත්වීම ඊට ප්‍රබලතම සාක්ෂියයි. අපගේ විශ්වවිද්‍යාල තුල සිදුවන නව පර්යේෂණ ඉතා අවම වී ඇති අතර එය සුභවාදී වෙනසකට ලක් වන අයුරක් ද පෙනෙන්නට නැත.

ශිෂ්‍යය ප්‍රජාව අගාධයට ඇද දමමින් සිය දේශපාලන පිපාසයන් සපුරාගන්නා මෙම අන්තගාමී බලවේගයන් මෙන්ම කලින් කලට උසස් අධ්‍යාපනයේ මුල් පුටු සරසන බලධාරීන් ද උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සිදු කර ඇත්තේ කුමක්ද යන්න ජාතිය හමුවේ ගැටළුවක් වී ඇත.’’

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩි දුරටත් අවධාරණය කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

  • එදා වේල දුක් මහන්සියෙන් උපයා ගන්නා අහිංසක දෙමාපියන්ගේ දරුවා විශ්වවිද්‍යාලයන් පිටවී ජිවත්විමට හරි අදායමක් නැතිව සිටිම කෙතරම් කනගාටුදායකයද

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *