අර්ජුන් මහේන්ද්‍රන්ට ජනපති කොමිසමෙන් නොතීසි

(08.03.2017 – 18:23 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්ණ ගත මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

බැදුම්කර සිද්ධිය පිලිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම විසින් මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ ලබන 10 වනදා ඔහු කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දන්වමින්.

මේ අතර ප්‍රශ්නගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට දිනයේදී කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, බැදුම්කර සිද්ධිය පිළිබඳ තමන්ටද තොරතුරු ලබාදීමට අවස්ථාවක් දෙන ලෙස ඔහු කර ඇති ඉල්ලීම සැළකිල්ලට ගනිමින්.

ඒ අනුව හෙට දිනයේදී කොමිසමේ විමර්ශන නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබාගනු ඇති ෴

+++++++++++++++++++++++++++++

බැඳුම්කරයට නඩු දැමිය යුතුයි- මූල්‍ය දේශපාලනීකරණයවීම අශීලාචාරයි
(08.03.2017 – 19:20 +0530 – sinhala.adaderana.lk)

රටක මූල්‍ය පද්ධතිය දේශපාලනීකරණයවීම ඉතාම අශීලාචාර ක්‍රියාවක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

පළමු වරට බැඳුම්කර නිකුතුවක් සිදුවන්නේ 1937 දී බවත්, ඉන්පසුව 1997 දී පමණ සුළු සංශෝධන කිහිපයක් එකතුවීම හැරුණුවිට මෙම බැඳුම්කර ගනුදෙනුවලට අදාළව නීති රෙගුලාසි සංශෝධනයක් සිදුව නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේ අද (08) ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

මේ ආකාරයේ නීතිමය තත්ත්වය කාලානුරූපව ශක්තිමත් නොවීම නිසා ඕනෑම ව්‍යාපාරිකයෙකු නීතියේ ලිහිල් තැන්වලින් රිංගා අධික ලාභ ලැබීමට උත්සාහ කිරීමක් සිදුවිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අයුරින් වෙනස්වන ලෝකය සමග නීතිමය තත්ත්වයන් ශක්තිමත් කර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂවල අපොහොසත්වීමක් බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මාසය 5ට හෝ 6ට පමණ ඉහතදී මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව නීති පද්ධතිය ශක්තිමත් කිරීමට යෝජනා කළ බවත්, ජයිකා ඇතුළු ආයතන හා සංවිධාන කිහිපයක් ඊට තම යෝජනා එකතු කර ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

බැඳුම්කර මගඩිය යයි කියමින් එය දේශපාලන සටන්පාඨයක්  කර ගැනීම වෙනුවට පුරවැසියෙකු ලෙස කළ යුත්තේ අධිකරණයේ නඩුවක් ගොනු කිරීම බවත්, එසේ නොකොට ඒ පිළිබඳ විවිධ ප්‍රචාර ගෙනයාම නිසා ආයෝජකයින් ආයෝජනය කිරීමට බියක් දක්වන බවත්, එය රටේ සමස්ත ආර්ථිකයටම බලපාන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *