වීරවංශගේ ස්වාධීන නාඩගමට එරෙහි වූ කතානායකට ‘නපුංසකයා’ කියා බැන වදී..! 9 වතාවක් කතානායක නියෝග නොතැකූ වනචාරී දිනේෂ්ට දින 7 ක් සභාව තහනම්..! හොරුන්ට ලැබුනේ ඡන්ද 22 යි

(08.03.2017 – 23:30 +0530 – lankaenews.com)

– සම්පූර්ණ වාර්තාව කියවන්න –

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් හැසිරෙන ලෙස කථානායකවරයා 9 වතාවක් කළ ඉල්ලීම් අලුයම ලූ කෙළ පිඩ සේ ඉවත ලා සිය ආසනයේ තිබූ මයික්‍රෆෝනය ඇද දමමින් දිගින් දිගටම වනචාරියෙක් ලෙස හැසිරුණු දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සභා වාර 7 කට තහනම් කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් අද ඉවත් කෙරිණ.

මේ කලබගෑනියට හේතු කාරණා වූයේ ඒකාබද්ධ කල්ලිය එක්ව රඟ දැක්වූ වීරවංශගේ ස්වාධීන නාඩගම පරාජය වීමයි.

පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කිරීමටත්, ඒ සඳහා වැඩියෙන් කතා කිරීමට අවස්ථාව ලබා ගැනීමේ උප්පරවැට්ටියක් වශයෙනුත් වීරවංශ, තමාගේ පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස පිළිගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය. එවිට 9 වන ශ්‍රේණිය පමණක් සමත් වීරවංශට පක්ෂ නායකයෙකු ලෙස පක්ෂ නායකවරුන්ගේ රැස්වීමට සහභාගී විය හැකි වන අතර ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න ඇසීම ආදී පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කිරීමේ අවස්ථා රැසක් සැලසේ.

වීරවංශලා මැතිවරණයට තරඟ කරන ලද්දේ ‘බුලත් කොළය‘ ලකුණ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මිස වෙනම පක්ෂයක් ලෙස නොවේ. පාර්ලිමේන්තුවේ එදා සිට පැවතෙන රීති සහ සම්ප්‍රදාය අනුව එක මැතිවරණ ලකුණකින් තරඟ කර පාර්ලිමේන්තුවට එන පක්ෂ පිළිගනු ලබන්නේ එක පක්ෂයක් ලෙස මිස ඒ ලකුණ යටතේ සිටින විවිධ පක්ෂ වෙන වෙනම පක්ෂ ලෙස පිළිගන්නේ නැත.

ඒ අනුව වීරවංශද එජනිසයේ මන්ත්‍රීවරයෙකි. එජනිසයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන වන අතර ලේකම්වරයා මහින්ද අමරවීර ය. මෙහිදී එජනිස ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කෙළේ වීරවංශට ස්වාධීන විය යුතු නම් එය ප්‍රථමයෙන් එජනිස ලේකම්වරයා වන තමන් වෙත ලිඛිතව ඉල්ලිය යුතු බවයි. නමුත් එසේ කිරීමෙන් තම මන්ත්‍රීධූරය අහෝසි කිරීමට එජනිස ලේකම්වරයාට බලය හිමිවන බැවින් වීරවංශ එවැන්නක් නොකර කතානායක වරයාට බලපෑම් කෙළේය. මන්ද එසේ කෙළේ නම් මහින්ද අමරවීරට මොහු එජනිසයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා කියා මැතිවරණ කොමසාරිස් වරයාට දැන්වීමෙන් පසු වීරවංශගේ මන්ත්‍රීධූරය ඉවත් කෙරෙන අතර ඒ වෙනුවට ඊළඟට කොළඹ දිස්ත්‍රික්කයේ මනාප රැගෙන සිටින එජනිස අපේක්ෂකයා මන්ත්‍රීවරයා ලෙස නම් කිරීමත් නීත්‍යාණුකූලව සිදුකළ හැකිය. එබැවින් වීරවංශ කතානායක වරයාට පමණක් ඉදිරිපත් කෙළේ බොරු ස්වාධීන නාඩගමක තිර පිටපතකි.

මෙම ප්‍රශ්ණයේ තීන්දුව අද කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය. දීර්ඝ කරුණු ඉදිරිපත් කිරීමක් වූ එහි මෙවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් අතීතයේ සිටි පූර්ව කතානායකවරුන් ලබා දී ඇති පූර්වාදර්ශ ගෙන හැර දක්වමින් කරු ජයසූරිය කතානායකවරයා ගේ තීන්දුව වූයේ එවැන්නක් සිදු කිරීමෙන් පාර්ලිමේන්තුව තුල සිටින තනි තනි මන්ත්‍රීවරුන් පක්ෂ වශයෙන් විවිධ අවස්ථාවන් වලදී බිහිවී සමස්ථ පාර්ලිමේන්තු ක්‍රියාදාමය කඩා වැටීමකටත් පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කිරීමටත් අවස්ථාවක් නිර්මාණය වන බැවින් මෙය කළ නොහැකි බවයි. අවශ්‍ය නම් ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන් ස්වාධීන යැයි පවසා පසෙකට වී විශේෂ වරප්‍රසාද භුක්ති නොවිඳ සිටිය හැකි බවද කතානායකවරයා පෙන්වා දුන්නේය.

වරක් මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මහතාද මෙලෙසම ඔහුගේ පක්ෂය පෙරමුණක් ලෙස වෙනත් පක්ෂ රැසක් සමග එක්ව තරඟ කර පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි ඉල්ලා සිටි අවස්ථාවකදී පිළිගෙන නොතිබුණි. එකල  දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර ඇත. එලෙසම ජවිපෙ මන්ත්‍රීවරයෙකුව සිට ස්වාධීන වූ අජිත් පෙරේරා මන්ත්‍රීවරයාගේ ස්වාධීන වීම එකල සිටි කතානායක පිළිගෙන තිබුණි. නමුත් ඔහුට පෙරටුගාමී පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට හිමි විශේෂ වරප්‍රසාද ලැබුනේ නැත.

(මෙම කතානායක තීන්දුව ලංකා ඊ නිව්ස්හි වෙනත් තැනෙක පළ වේ)

කතානායක තීන්දුව පිළිනොගත් දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ කතානායක වරයාට අපහාස වන අන්දමින් බැන වදිමින් හැසිරෙන්නට වූහ. මෙහි ඇති අරුමය වූයේ තමන්ගෙන් වෙන්වී ස්වාධීන වෙන්නට හදන කෙනා වෙනුවෙන් පෙනී සිටීමයි. සාමාන්‍යයෙන් විය යුත්තේ තම කණ්ඩායමෙන් වෙන්ව යෑමට අකමැත්ත දැක්වීම වුවද මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ සැබෑ අරමුණ කුමක්දැයි හෙළි කරමින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට බාධා කරමින් හැසිරෙන්නට වූහ. වීරවංශ කතානායකවරයාට ‘නපුංසකයා‘ද කියා බැන වදිනු ඇසුණු බව මන්ත්‍රීවරයෙකු ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කෙළේය. මෙහිදී කතානායක වරයා පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබා යලි ආරම්භ කළද දිනේෂ් ගුණවර්ධනගේ හැසිරීමේ වෙනසක් තිබුනේ නැත.

වේත්‍රධාරී පාර්ලිමේන්තුවට පොලිසිය කැඳවයි

එහිදී ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් හැසිරෙන ලෙස අවස්ථා 9 ක්ම දිනේෂ් ගුණවර්ධනට අවවාද කර අවසානයේදී පාර්ලිමේන්තු වරප්‍රසාද 74(1) යටතේ අද දිනය නිමා වන තුරු ඔහුට පාර්ලිමේන්තුව තහනම් කරන ලදී. එම තහනම් නියෝගය පිළිනොගත් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ බලහත්කාරයෙන් රැඳී සිටියේය. ඔහුව වටකර ගත් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස ගාලගෝට්ටියක් ඇති කළහ. කතානායක වරයාගේ නියෝගය අනුව පිටව නොයන්නේ නම් ඊලඟ පියවර වන්නේ වේත්‍රධාරීවරයා විසින් පොලිසිය කැඳවා ආදාල මන්ත්‍රීවරයා ඔසවාගෙන ගොස් පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ඉවතට දැමීමයි. මෙහිදී පාර්ලිමේන්තු පරිශ්‍රය ලෙස හැඳින්වෙන්නේ සභා ගර්භය නොව පාර්ලිමේන්තුවට පිවිසෙන පළමු දොරටුව වන දියවන්නාව අසල මහ පාරය.

මීට පෙර පොලිස් නිලධාරියෙකු පැමිණ මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමට යාමේදී පොලිස් නිලධාරියාගේ නිල ඇඳුමේ තිබූ අංකයට මන්ත්‍රීවරයාගේ මුහුණ සීරීමෙන් ඇති වූ තත්ත්වය නිසා අද වේත්‍රධාරීවරයා විසින් කැඳවූ පොලිස් නිලධාරීන්ගේ ලෝහමය අංකද, ලෝහමය ගාන්චු ද ඉවත් කර තිබිණ. ඊටද විරෝධය දැක්වූ ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ නිසි නිල ඇඳුමක් නැති පොලිසිය පාතාල කණ්ඩායමක් බවයි. කෙසේ වෙතත් පොලිසියට මෙහිදී බලහත්කාරය භාවිතා කළ නොහැකි ය. මන්ද යත් මන්ත්‍රීවරුන් පහර දුන හොත් පොලිසියට පෙරලා පහර දිය නොහැකිය. ශිෂ්ඨාචාරගත දේශපාලනඥයන් නම් කළ යුතුව තිබුනේ පාර්ලිමේන්තුවේ ගරුත්වයත් තමන්ගේ මන්ත්‍රී ගරුත්වයත් ආරක්ෂා වන ආකාරයට හැසිරීම මිස මරදානේ චොප්පේලා සේ හැසිරීම නොවන නමුත් දිනේෂ් ගුණවර්ධන සහ ඔහු වටකර ගත් ඒකාබද්ධ විපක්ෂයේ හොරු පිරිස හැසිරුනේ චොප්පෙලාටත් අන්ත ‘රණාලේ සමයං‘ ආකාරයෙනි. මන්ත්‍රීවරයෙකු ඉවත් කරන ලෙස 74(1) යටතේ නියෝගයක් දීමෙන් පසු ඔහු ඉවත් කරන තුරු කතානායක අසුනෙන් ඉවත්ව යා යුතු සම්ප්‍රදාය හේතුවෙන් කතානායකවරයා ඒ අවස්ථාවේ කතානායක අසුනේ සිටියේ නැත.

අවසානයේ වේත්‍රධාරීවරයාට තම රාජකාරිය කළ නොහැකි බව කතානායක වරයාට දැන්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථාවර නියෝග 72 යටතේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට දින 7 ක පාර්ලිමේන්තු සභාවාර වලට සහභාගී වීම තහනම් කිරීමේ යෝජනාවක් ගෙන එන ලදී.

ඒ අවස්ථාව වන විට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස තම සහචරයන් පාර්ලිමේන්තුවට කැඳවීමට වාහන පවා යවා තිබිණ. නමුත් ඔවුනට ගෙන්වා ගැනීමට හැකිවුනේ යාන්තම් 22 ක් පමණි. ඡන්ද විමසීමේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සභාවාර 7 කට සහභාගී වීම තහනම් කිරීමේ යෝජනාවට ඡන්ද ලැබුනේ මෙසේය :

පක්ෂව ලැබුණු   ඡන්ද සංඛ්‍යාව – 85
විරුද්ධව ලැබුනු ඡන්ද සංඛ්‍යාව –  22
නොපැමිණි සංඛ්‍යාව – 114
ඡන්දය දීමෙන් වැලකී සිටි සංඛ්‍යාව  – 03

ජනවාරි 8 සටනේදී තමන්ගෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරමින් ‘රාජපක්ෂලා පරාජය කළ යුතු තමයි, නමුත් පොදු අපේක්ෂකයා දිනවිය යුතුයි කියන්න බෑ‘ යි   නමැති පොන්න ස්ථාවරයේ සිටි අනුර දිසානායකගේ ජවිපෙ  පමණක් මෙහිදී ද ඡන්දය දීමෙන් වැලකී සිටියේ ය. දැනටමත් හොරුන්ට විරුද්ධ යයි කියමින් හොරුන්ගේ මිතුරු බලවේග සමග අත්වැල් බැඳගෙන සිටින අනුර දිසානායකගේ ජවිපෙ, වීරවංශගේ අවස්ථාවාදී ප්‍රශ්නය අරභයා හොරුන් ඇති කළ කලබගෑනියේදී අද දැක්වූ ස්ථාවරය ගැනද පුදුම විය යුතු නොවේ.

කෙසේ වෙතත් අවසානයේදී පරාජය පිළිගත් දිනේෂ් ගුණවර්ධන බොරලුගොඩ සුනඛයෙකු සේ කන් කඩාගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.

සිද්ධියෙන් පසු බොහෝ දේශපාලන විචාරකයන් කතානායකතුමාගේ තීරණයට දොස් කියනු අසන්නට ලැබිණ ඒ අන් කිසිවකට නොව කලබගෑනියේ පොතේගුරා වූ වීරවංශ ද ඇතුලත් නොකර දිනේෂ්ට පමණක් දින 7 ක් පාර්ලිමේන්තුව තහනම් කිරීම ගැනය.

අද දවසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් බිඳක් ….

මෙම සටහන අවසාන කිරීමට පෙර ලංකාවටද පාර්ලිමේන්තු සම්ප්‍රදාය උගැන්වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අද දහවල් ඇති වූ සිද්ධියක් වාර්තා කළ යුතුය. ඒ වන විට පැවැතියේ බ්‍රිතාන්‍ය අය වැය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ කතාවකි. කතානායක අසුනේ සිටියේ නියෝජ්‍ය කතානායකවරයෙකි ( එහි නියෝජ්‍ය කතානායක වරුන් තිදෙනෙකි)  නියෝජ්‍ය කතානායකට යාබදව සිටි ප්‍රබල මන්ත්‍රීවරයෙකු ඈනුමක් අරිමින් නිදිමත ගතියක් පෙන්වීය. එය විපක්ෂ නායකවරයාගේ කතාවට ඔලොක්කුවට කළ එකක්ද නැතිනම් ඇත්තටම නිදිමතක් ඇතිවීදැයි නොදනී. කෙසේ වෙතත් ඉන් කිපුණු නියෝජ්‍ය කතානායක වරයා එකී ඈනුම් ඇරිය මන්ත්‍රීවරයාට දැඩි සේ අවවාද කෙළේය. විපක්ෂ නායකවරයාගේ වැදගත් කතාව අසා ගෙන සිටින ලෙසත්, නිදි මත දැනේනම් එළියට ගොස් කෝපි කෝප්පයක් බී පැමිණෙන ලෙසත් නියෝජ්‍ය කතානායක වරයා මන්ත්‍රීට  දැඩි සේ අවවාද කෙළේය.  පෙර කී ඈනුම් කාරයා මීයාට පිම්බා සේ ලැජ්ජාවෙන් නිහඬ වනු දක්නට ලැබිණ. කිසිවෙකු ඈනුම්කාරයා වටකරගෙන කතානායක පුටුවේ සිටි නියෝජ්‍ය කතානායකට ‘නපුංසකයා‘ යයි කියා අභියෝග කිරීමට ආවේ නැත ෴

++++++++++++++++++++++++++++++

වීරවංශගේ ස්වාධීන නාඩගමට රටේ ව්‍යවස්ථාව අනුවත් ස්ථාවර නියෝග අනුවත් ඉඩ දිය නොහැක්කේ ඇයි ? දිනේෂ්-වීරවංශ ඩෙඟා නැටූ, කතානායක දුන් තීන්දුව සම්පූර්ණයෙන් මෙන්න
(08.03.2017 – 23:40 +0530 – lankaenews.com)

වීරවංශගේ ස්වාධීන වීමේ නාඩගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුවත් ඉටු කළ නොහැක්කක් බව පැහැදිලි කරමින් කතානායකතුමන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තම තීන්දුව පහත දැක්වේ. දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ කතානායකතුමන්ට ‘නපුසංකයා ‘ යැයි කියමින් යකා  නැටුවේ සුද්ද සිංහලෙන් මේ කියන දේ තේරුම් ගත නොහැකි කමකට වඩා පාර්ලිමේන්තුව කඩා කප්පල් කිරීමටත් තම සොරකම් වසා ගෙන ජනතාව අතර වීරයෙකු ලෙස මතු වීමේත් අවශ්‍යතාවය අනුව ය.

කතානායතුමාගේ විශේෂ නිවේදනය

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විමල් වීරවංශ මහතා විසින් 2017 පෙබරවාරි මස 22 වැනි දින පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී එතුමා ඇතුළු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව විරුද්ධ පාර්ශවයේ ස්වාධීන කන්ඩායමක් වශයෙන් පිළිගන්නා ලෙස මතු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් මාගේ තීරණය මෙම ගරු සභාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ගරු විමල් වීරවංශ මහතා ඇතුළු 5 දෙනෙකු විසින් පාර්ලිමේන්තුව තුළ ජාතික නිදහස් පෙරමුණ වශයෙන් විපක්ෂයේ වෙනම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් වශයෙන් පිළිගන්නා ලෙසත්, කණ්ඩායම් නායක ලෙස තරු විමල් වීරවංශ මහතාට පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමටත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ විශේෂ ප්‍රකාශයන් කිරීමට එතුමාට ඇති අයිතිය පිළිගන්නා ලෙසත්, 2016 මාර්තු මස 09 වෙනි දින දරණ ලිපියෙන් ඉල්ලා සිටින ලදී.

මේ හා සමාන ප්‍රකාශයක් 2016 අප්‍රේල් මස 05 වැනි දින ගරු විමල් වීරවංශ මහතා විසින් එම ප්‍රශ්නය සම්බන්ධයෙන්ම මෙම ගරු සභාවේ දී මතු කරන ලදී.

ඒ අනුව මවිසින් තීරණය කළ යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝග වලට අනුකූල පදනමක් යටතේ පාර්ලිමේන්තුව තුළ 2015 අගොස්තු 17 වැනි දින මහා මැතිවරණයට තරඟ කොට මැතිවරණ කොමසාරිස් වරයා විසින් 2015 අගෝස්තු මස 19 වැනි දින අංක 1928/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ කරන ලද දේශපාලන පක්ෂ 6 , එනම් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංගෙයි තමිල් අරසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්‍ග්‍රසය යන පක්ෂ 6 ට අමතරව වෙනත් දේශපාලන පක්ෂ හෝ කන්ඩායම් පාර්ලිමේන්තුව තුළ නීත්‍යාණුකූලව පිළිගත හැකිද යන්නයි.

මෙම පාර්ලිමේන්තුව තුලත් ඊට ප්‍රථම පැවැති පාර්ලිමේන්තුවලත් විවිධ අවස්ථාවන්හිදී මන්ත්‍රීවරුන් තමා තරඟ කළ පක්ෂයෙන් වෙන් වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ වාඩි වී කටයුතු කරන ලද අවස්ථා බොහොමයක් අප ඉතිහාසයේ සනිටුහන් වී ඇත. එම අවස්ථාවන්හිදී අදාළ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබිය යුතු අයිතීන් ආරක්ෂා කර දීමට විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, කතානායක වරයා මැදිහත් වී ලබා දුන් අවස්ථා බොහෝමයක් ද ඇත. විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස වාඩි වී සිටින එවැනි මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පරිපාලනමය වශයෙන්ද විවිධ ක්‍රියාදාමයන් පසුගිය කාලයේ අනුගමනය කිරීමට යෙදුණි.

මමත් මාගේ පූර්වගාමී කතානායකවරුනුත් පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව විසිනුත් විවිධ අවස්ථාවන්හිදී මේ හා සමාන කරුණු පදනම් කරගෙන විවිධ තීන්දු තීරණ වලට එළැඹ ඇති බව තවදුරටත් සඳහන් කරුන කැමැත්තෙමි.

අදාල ගැසට් නිවේදන ඇත්තේ මෙලෙසයි

2015 අගෝස්තු 17 වැනි දින පවත්වන ලද මහා මැතිවරණයේදී කොළඹ මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගරු විමල් වීරවංශ මහතා තරඟ කර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා පත් කර ගන්නා ලද බව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්වරයා විසින් 2015 අගෝස්තු මස 19 වැනි දින අංක 1928/3 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ගරු විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කොට එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින බවත්, එම මැතිවරණයේදී මැතිවරණයට ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ 6 කින් මන්ත්‍රීවරුන් තේරී පත්ව සිටින බවත්, අදාළ 2015 අගෝස්තු 19 වැනි දින අංක 1928/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශයට පත් කොට ඇත.

2015 සැප්තැම්බර් මස 01 වැනි දින ආරම්භ වූ වත්මන් 8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් විසින් ද වත්මන් 8 වැනි පාර්ලිමේන්තුව තුල පිළිගත් දේශපාලන පක්ෂ 6 ක් පමණක් නියෝජනය කරන බව ඒකමතිකව පිළිගෙන තිබෙන බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කාර්ය සටහන් වලද වාර්තා වී තිබෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.

තවද, මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශ කිරීම අනුව 8 වැනි පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ 6 ඇතුළත සමන්විත වෙන වෙනත් දේශපාලන කණ්ඩායම් හෝ පක්ෂ කවරේද යන්න හෝ ඔවුන් ඇතර ඇති කොට ගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න කතානායකවරයා ලෙස මාගේ අවධානයට භාජනය නොවන අතරම, එවැනි අභ්‍යන්තර සන්ධාන තත්ත්වයන් දැන ගැනීම හෝ ඒ පිලිබඳව දැනුවත් වීම හෝ කථානාවරයා ලෙස මාගේ ධූරයට විෂයගෝචර නොවන බවත් මෙහිලා සඳහන් කිරීමට කැමැත්තෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තේ මෙලෙසයි

පාර්ලිමේන්තුව තුළ කටයුතු සඳහා පිළිගත යුතු පක්ෂ මොනවාද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝගවලට අනුකූලව නීත්‍යානුකූල පදනමකින් තීරණය කළ යුතු බව මාගේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 ව්‍යවස්ථාවේ (13) අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහු මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලද දේශපාලන පක්ෂය හෝ කණ්ඩායම අතර සහ සම්බන්ධතාවය පහත සඳහන් ලෙස දක්වා ඇත.

“කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තේරී පත් වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුලත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කන්ඩායමක නාම යෝජනා පත්‍රයේද, ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයෙක්ව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ නතර වූ අවස්ථාවක, ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාල සීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන බව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 99 වන ව්‍යවස්ථාවේ (13) අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයේ ප්‍රකාරව සඳහන් බව ප්‍රකාශ කරමි.“

“තවද, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සංයුක්ත කිරීමේ දී 41 අ (1) ව්‍යවස්ථාවේ (ඊ) අනුඡේදය යටතේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය වන පක්ෂ දෙක හැර, අනෙකුත් පක්ෂවල සහභාගීත්වයෙන් එක් මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනාව ඉදිරිපත් වන බැවින් පාර්ලිමේන්තුව නියෝජනය වන අනෙකුත් පක්ෂ මොනවාද යන්න නීත්‍යානුකූල පදනමකින් සලකා බැලීම නොකළහොත් එම ක්‍රියාවලියේදී අර්බුද රාශියකට මුහුණ දීමට සිදුවේ.“

ප්‍රායෝගික නොවන්නේ මේ නිසයි

ප්‍රායෝගිකව සලකා බැලීමේ දී ද යම් පිළිගත් දේශපාලන පක්ෂයකින් හෝ කණ්ඩායමකින් නාම යෝජනා බාර දී මැතිවරණය තරඟ කොට, පසුව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කරන මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්, මැතිවරණයේදී නාමයෝජනා බාර දී තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ පිලිගත් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සතු වන අයිතිවාසිකම් හෝ වරප්‍රසාද ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්නේ නම්, එයට ඉඩ දීමෙන් පාර්ලිමේන්තුව තුල තනි මන්ත්‍රීවරුන් සහිත පක්ෂ, මන්ත්‍රීවරුන් කණ්ඩායම් සිටින පක්ෂ, වශයෙන් විවිධ අවස්ථාවන් වලදී අලුත් පක්ෂ හෝ කණ්ඩායම් නිර්මාණය වී සමස්ථ පාර්ලිමේන්තු ක්‍රියාදාමය කඩා වැටීමකටත් පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කිරීමටත් අවස්ථාවක් නිර්මාණය වේ.

මේ හා සමාන අවස්ථාවන් මීට පෙර මතු වූ අවස්ථාවන්හිදී මාගේ පූර්වගාමී කාතානායකවරුන් විසින් මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත්, පාර්ලිමේන්තු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යෑමටත් ආදල ප්‍රායෝගික තීන්දු තීරණ ගනු ලැබූ අවස්ථාවන් බොහොමයක් පසුගිය කාල වකවානුවේ දී දැක ගැනීමට හැකි විය.

වර්තමානයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ අවස්ථාවේදී විපක්ෂයේ අසුන් ලබා දී ඔවුන්ට විවාද වලට සහභාගී වීම සඳහා අවශ්‍ය කාලවේලා ලබා දීමට මා පෞද්ගලිකවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මගිනුත් කටයුතු කොට ඇත.

තවද, පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ එකඟත්වය ඇතිව, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ස්ථාවර නියෝග 23(2) යටතේ හදිසි සහ පොදු වැදගත්කමක් සහිත කරුණක් පිළිබඳව ප්‍රශ්න අවසානයේදී ප්‍රකාශයක් කිරීම සඳහා ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාටද අවකාශ සලසා දී ඇත.

පාර්ලිමේන්තුවටත් මටත් බැරි මේ නිසයි

මේ හා සමාන ක්‍රියාදාමයක් මාගේ පූර්වගාමී කතානායකවරයා විසින්ද අනුගමනය කොට තිබිණ. එසේ ප්‍රායෝගිකව පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වයෙන් යම් යම් අයිතිවාසිකම් ලබා දුන්නද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සහ ස්ථාවර නියෝග වලට අනුව පූර්ණ වශයෙන් නීතියෙන් පිළිගැනෙන නව පක්ෂයක් හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුල ස්ථාපනය කිරීමට කථානායක වශයෙන් මටත්, පාර්ලිමේන්තුවටත් කළ නොහැකි දෙයකි.

ඒ අනුව නෛතික වශයෙන් පාර්ලිමේන්තුවට පිළිගත හැක්කේ නාම යෝජනා බාර දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අදාල ගැසට් නිවේදනයේ සඳහන් පක්ෂයක් හෝ කණ්ඩායමක් පමණක් බවත්, අවස්ථානුගතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම තමන්ගේ අදහස් අනුව ක්‍රියා කිරීමේ දී තමන්ගේ කැමැත්ත අනුව නියෝජනය  කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායමක් හෝ පක්ෂයක් හෝ නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

ඒ කෙසේ වෙතත්, මන්ත්‍රීවරයෙකු වශයෙන් එක් එක් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තුළ හිමිවන අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත්, එම අයිතිවාසිකම් කඩ වන අවස්ථාවන් වලදී ඊට මැදිහත්ව ක්‍රියා කිරීමටත් මා කිසි දිනෙක පසුබට නොවන බවද තවදුරටත් දන්වනු කැමැත්තෙමි.

කරු ජයසූරිය
කතානායක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *