ඊයේ (10-03-2017) රාත්‍රී කල විශේෂ මෙහෙයුමකින් 1246 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

(11.03.2017 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10-03-2017) රාත්‍රී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකල විශේෂ මෙහෙයුමකින් ලියාපදිංචි අපරාධකරුවන් ඇතුලු 1246 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 11795 දෙනෙකු සහභාගී වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ලියාපදිංචි අපරාධකරුවන් 110 ක් / ගුවන් හමුදාවෙන් පළාගිය භටයන් 4 ක් සහ නාවික හමුදාවෙන් පළාගිය භටයන් 3 දෙනෙකු සිටින බවට අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ගේ ඇගිළි සටහන් පරීක්ෂා කිරීමේ කටයුතු මේවන විටත් සිදුවන බවයි පොලිසිය සඳහන් කලේ.

ඊයේ රාත්‍රී 11 සිට අද අලුයම 4 දක්වා සිදුවු මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 567 ක් / පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් 109 ක් / ගංජා ළග තබාගත් 45 ක් සහ හෙරොයින් ළග තබාගත් 26 ක් ද අත්අඩංගුවට පත්වී තිබෙනවා.

එමෙන්ම බීමතින් රිය පැදවු පුද්ගලයන් 76 දෙනෙකු ද ඇතුලුව බරපතල රථ වාහන නීති උල්ලංඝණය කල 307 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඉදිරියේදීත් දිවයිනම ආවරණය වන පරිදි මෙවැනි මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ද පොලිසිය සඳහන් කලා ෴

**************************************

විදේශ සමාගම් නමින් කළ කෝටි ගණනක මූල්‍ය ජාවාරමක් හෙළිවේ
(11.03.2017 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසිද්ධ විදේශ සමාගම් නමින් ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචි කර එම ප්‍රසිද්ධ සමාගම්වල දත්ත සොරාගනිමින් රුපියල් කෝටි හයකට අධික මූල්‍ය වංචා සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු සහ නයිජීරියානු ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මෙම ජවාරාම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසුවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අධ්‍යක්‍ෂවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහි ප්‍රමුඛ පැමිණිල්ල සිදුකර තිබුණා.

ඒ අනුව හෙළිවී ඇත්තේ පානදුර උද්‍යාන පාරේ පදිංචි ශ්‍රී ලාංකිකයා සහ ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටි නයිජීරියානු ජාතිකයා මෙම වංචාවට ඍජුවම සම්බන්ධ බවයි. ඔවුන් අදාළ සමාගම් සඳහා අධ්‍යක්‍ෂවරුන් ලෙස විවිධ පුද්ගලයන් පත් කරගනිමින් බැංකු ගිණුම් ආරම්භ කර ඉන් අනතුරුවයි විදේශ රටවල ප්‍රසිද්ධ සමාගම් නමින් පවතින පරිගණක දත්ත සොරාගෙන ඇත්තේ.

අනතුරුව එම සමාගම්වලට ලැබීමට නියමිත මුදල් මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ සමාගම්වල ගිණුම්වලට වංචනිකව බැර කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *