ත්‍රිකුණාමලයේදි කාලතුවක්කුවට සිරවූ සිසුවිය රෝහලේ

(11.03.2017 – 12:14 +0530 – lankatruth.com)

අධ්‍යාපන චාරිකාවක් අතරතුරකදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී කාලතුවක්කුවකට සිරවී අනතුරට පත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක දින තුනක් තිස්සේ ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගම්පහ සිට ත්‍රිකුණාමලයට පාසලෙන් අධ්‍යාපන චාරිකාවකට සිසුවියන් රැගෙන ගොස් ඇතැයිද ඔවුන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී ඇතැයිද ඒ අවස්ථාවේ එහි තිබූ විශාල කාලතුවක්කුවක් තවත් සිසුවියන් පිරිසක් විසින් තල්ලු කරද්දී එක් සිසුවියක ඊට සිරවී ඇතැයිද නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සිදුවීමෙන් පසු නාවික හමුදාව හා ගුරුවරුන් එක්ව සිසුවිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

ඇගේ අක්මාවට හා අස්ථිවලට සුළු තුවාල සිදුවී ඇතැයි ස්කෑන් පරීක්ෂණයෙන් පෙනුණු නිසා නේවාසිකව ප්‍රතිකාර ලබා දුන් බවත් මේ වනවිට තත්ත්වය සුව අතට හැරී ඇති බවත් ඇය විවේකීව සිටින බවත් ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුෂා රාජ්මෝගන් මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ ගැන මාධ්‍ය විසින් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම වී ඇත්තේ නාවික හමුදාවේ නොසැලකිල්ල නිසා නොවන බවයි. සිද්ධිය වූ දා පාසල් ළමයින් 300 කට ආසන්න පිරිසක් අධ්‍යාපන චාරිකාවකට පැමිණි බවද කණ්ඩායම් වශයෙන් ඔවුන් එක් එක් අංශව නිරීක්ෂණයට ගිය බවද නාවික හමුදා සාමාජිකයෙකු එක් සිසුවියන් කණ්ඩායමකට කාලතුවක්කු ගැන කියා දෙමින් සිටියදී මෙම අනතුර වී ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

සිසු සිසුවියන් අධ්‍යාපන චාරිකාවලට කැඳවාගෙන යාමේ ගුරුවරුන්ගේ අවධානය මත මෙවන් අනතුරු වළක්වා ගත හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත ෴

***************************************

ගැබිනියක් මියයාම සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලට චෝදනාවක්
(11.03.2017 – 18:19 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු උණ වැළඳී කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පස් මස් ගැබිණි කාන්තාවකගේ මරණය රෝහලෙන්  නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිදුවූ බවට ඇයගේ ඥාතීන් චෝදනා කරනවා.

මියගිය කාන්තාවගේ සැමියා ප්‍රකාශ කළේ රෝහල තුළදී තම බිරිඳ සම්බන්ධයෙන් හෙද හෙදියන් නොසැළකිල්ලෙන් කටයුතු කළ බවයි.

දිල්කි දිල්ෂානි නන්දසේන නැමති 22 හැවිරිදි මෙම ගැබිණි කාන්තාව උණ රෝගයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය පෙබරවාරි මස 28 වන දිනයි.

පසුව සිදුකළ රුධිර පරීක්ෂාවෙන් ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලෙන් ඇයට කිසිදු ප්‍රතිකාරයක් සිදු නොකළ බවයි දිල්කිගේ සැමියා පවසන්නේ.

අධික උණ තත්ත්වය හේතුවෙන් දිල්කි දැඩි වේදනාවෙන් පෙළී ප්‍රතිකාර ඉල්ලා සිටියත් ඇතැම් අවස්ථාවලදී හෙදියන් සහ ඇතැම් වෛද්‍යවරුන් ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකළ බවද ඔහු සඳහන් කළා.

අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් ඇය පසුගිය තුන්වනදා අංගොඩ උණ රෝහලට මාරුකර යවා ඇති අතර, ඇය ඊට දින හයකට පසු ජීවිතයෙන් සමුගත්තා.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළුබෝවිල රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණරත්නගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ මියගිය දිල්කිගේ ස්වාමියා රෝහලෙන් කළ ඉල්ලීමකට අනුව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සියලූ තොරතුරු අනිද්දා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකරන බවයි ෴

++++++++++++++++++++++++++++

ඩෙංගු රෝගීන් විසිදහස ඉක්මවයි
(11.03.2017 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ගතවූ මාස තුනක කාලය තුළ ඩෙංගු රෝගීන් 20126 දෙනෙකු වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඉන් සියයට 42.65 ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව සඳහන්.

උණ රෝගය වැළඳී දින තුනක් යනතුරු එය සුව නොවේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *