හම්බන්තොට වරාය විකිණිමට සූදානම් – වරාය සේවක විරෝධතා සූදානම්

(11.03.2017 – 21:01 +0530 – lankatruth.com)

ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට අයත් හම්න්තොට වරාය චීනයේ CM Port සමාගමට විකිණීමට අදාල ගිවිසුම හා අදාල කැබිනට් පත‍්‍රිකාව මේ මස 14 වැනිදා අමත්‍ය මණ්ඩලයට යොමු කිරීමට ඇමතිවරයා තීරණය කර ඇති අතර ඊට එරෙහිව ලබන 13 වනදා දහවල් 12.00 ට කොටුව ඛාන් ඔරලෝසු කණුව අසලදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණේ චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ විදේශ විනිමය අවශ්‍යතාවය වෙනුවෙන් ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට ක‍්‍රියාත්මක කල හැකි හම්බන්තොට වරාය කඩිමුඩියේ විකුණා දැමිමට අවශ්‍ය කටයුතු ආණ්ඩුව මේ වනවිට සිදුකරමින් සිටින බවත් වරාය අධිකාරිය සතු වරායන්, ඡැටි පෞද්ගලික අංශයට පැවරීමට එරෙහිව වරායේ වෘත්තීය සමිති විසින් පසුගිය කාලය තුළ විවිධ වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ග ගණනාවක් ගත් බවත් ඒ මහතා සිහිපත් කරයි.

නමුත් ආණ්ඩුවේ විකිණීමේ ක‍්‍රියාමාර්ග මේ දක්වා ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම අමත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටුයතු කිරීමෙන් පැහැදිලි වී ඇති බවත් චන්ද්‍රසිරි මහගමගේ මහතා අවධාරණය කරයි.

වරායේ පවත්නා වෘත්තීය සමිති වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ඉංජිනේරු සංගමය, විධායක නිලධාරීන්ගේ සංගමය, කාර්මික නිලධාරීන්ගේ සංගමය හා කාර්මික පරිපාලක සංගමය යන වෘත්තීය සමිති ගණනාවක් වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ සමග එකතු වී මෙය පරාජය කිරීම සඳහා සුදානමින් කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය ෴

*************************************

ආණ්ඩුව විරෝධතා හමුවේ පය බරවාට පිටිකර බෙහෙත් බඳියි
(11.03.2017 – 20:06 +0530 – lankatruth.com)

ජනතා ප්‍රශ්න දිනෙන් දින උග්‍රවෙමින් අර්බුද හටගනිමින් පවතින අතර ඊට නිසි විසඳුම් නොලැබීම මත ජනතාව දිනෙන් දින විරෝධතා ක්‍රියාමාර්ග අනුගමණය කිරීමට පටන් ගෙන තිබේ. විශේෂයෙන් වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු ජනතාව කොළඹ නගරයේදීද ජනතා ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා වීදි බැසීම දිනෙන් දින වර්ධනය වෙමින් ඇත.

ජනතාව විරෝධතා දක්වන කාරණා සම්බන්ධයෙන් සැලකිළිමත් වී ඊට විසඳුම් ලබාදෙනවා වෙනුවට කොළඹ නගරයේ දිනපතාම පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එදිනෙදා ජන ජීවිතයට හා ආර්ථිකයට බලපෑම් එල්ල වෙන්නේ යැයි පවසමින් එම විරෝධතා පැවැත්වීමට නොහැකි වන සේ නීති ගෙනඒමට ආණ්ඩුව සූදානම් වෙමින් තිබේ.

එම නීති සම්පාදනය වන තෙක් කොළඹ නගරයේ පැවැත්වෙන මෙම විරෝධතා සතියකට එකක් පමණක් පැවැත්වීමට හැකිවන ආකාරයේ ක්‍රමවේදයක් සැකසීමට ආණ්ඩුව මේ වනට අවධානය යොමු කරමින් සිටින බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු, මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවී මේ කරුණු පිළිබඳ කළ සාකච්ඡාවෙන් පසු මෙලෙස වෙනම නීති ගෙනඒමට තීරණය කර ඇතැයිද පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ විරෝධතාවලට තහනම් පැනවීමට අදාළ නව නීති ගෙනඒමට කාලය කැප කරන ආණ්ඩුව කොළඹ නගරයේ හා රටේ විවිධ ප්‍රදේශවල විරෝධතා පවත්වන වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු ජනතාවගේ ඉල්ලීම දෙස සාධාරණ ලෙස බලා ඔවුනගේ ගැටළු විසඳීමට කටයුතු කිරීම රටේ අනාගතයට ඉතා යහපත් වනු ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *