වරාය ලාබ ලැබුවා කියා කෙප්ප කෙලිමින් රටක් මුලා කරන අර්ජුන ධම්මික චේතිය සහෝදරයෝ..! මෙන්න ඇත්ත..!! – වරාය සුරැකීමේ බලකාය හෙළිකරයි

(12.03.2017 – 07:25 +0530 – lankaenews.com)

වරාය අමත්‍යාංශයේ 2017 මාර්තු 09 වෙනි දින පැවති වාර්ෂික ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුවේදී 2016 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම බිලියන 44 (කෝටි 4400 ක්) ක් බව රණතුංග අයිය මලෝ දෙපල මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරන ලදී. මෙයින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් වියදම් පරිපාලන වියදම් ණය පොලිය සහ වෙනත් වියදම් අඩුකිරීමෙන් පසුව පසු ගිය වසරේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 11 ක් (කෝටි 1100) බවත් එය 2015 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබා ඇති ලාභය බිලියන 06 ක් හෙවත් කෝටි 600 ට සාපේක‍්ෂව රුපියල් බිලියන 05 ක (කෝටි 500) වැඩිවීමක් බවත්, ඒ අනුව 2016 වසරේ දී තම පාලනය යටතේ ලාභය 83% කින් වැඩි කර ගැනීමට හැකි බවත් අයියා මලෝ පැවසූහ. මෙය පට්ට පල් බේගලයකි.  රනතුංග අයිය මලෝ වරාය අධිකාරියේ සේවකයන් ද බොරු කියා මාධ්‍ය රැවටීමෙන් මුළු රටමද රවටා තිබේ.

අර්ජුන ධම්මික චේතිය පචයන්ගේ බොරුව අපි රටටත් වරාය සේවකයාටත් ඔප්පු කර පෙන්වන්නෙමු.

2016 වසරේ මාර්තු  මුලදි මෙවැනිම මාධ්‍ය සංදර්ශණයක් පවත්වමින් ඇමැති අර්ජුන සහ සභාපති ධම්මික ගේ දක‍්ෂ පරිපාලනය හමුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හොරකම වංචාව නාස්තිය දුෂණය පිටුදකිමින් විශාල ලාභයක් ලබා ඇතැයි පැවසූහ. ඇමතිගේ සහ සභාපතිගේ මෙම ප්‍රකාශ හමුවේ වරාය සේවකයාට අප්‍රේල් මාසයේ ලැබිය යුතු බෝනස් මුදල වැඩිපුර ලැබෙනු ඇතැයි සේවකයෝ සිතා සිටියහ. මන්ද යත් වරාය අධික ලාභයක් ලැබුවොත් ඉන් කොටසක් සේවකයන්ට බෝනස් ලෙස ඉතිහාසය පුරා ලබා දී ඇති නිසාය. එහෙත් හිටි හැටියේ සභාපති ධම්මික  වරාය වෘත්තිය සමිති සහ සේවකයින් ගෙන්වා වරාය පාඩු ලබන බවත් ඒඅනුව බෝනස් මුදල රුපියල් 4500 කින් කපා දමන බවත් කියා බෝනස් මුදල කපා දමන ලදී.

මාර්තු මාසයේ අධික ලාබ ලැබුවා යැයි කීම නිසා සේවකයා බලාගෙන සිටි වැඩි බෝනස් මුදල වෙනුවට අප්‍රේල් වන විට පාඩු ලබනවා යැයි කියා සේවකයාට  තිබුනු බෝනස් එකත් කපා දැම්මේ ය.

රණතුංගලාගේ මේ දෙපිටකාට්ටු වංචාවෙන් වියරු වැටුනු වරාය අධිකාරියේ සියලු වෘත්තිය සමිති සහ සේවකයෝ දින 05 ක් අඛණ්ඩ වැඩ වර්ජනයක නියැලුනහ. අගමැතිවරයාගේ මැදිහත් වීම මත කපා දැමු බෝනස් මුදල යලි ලබා ගැනීමට යාන්තම් හැකිවිය. නමුත් රණතුංගලා මාර්තුවේ කී ලාබය අනුව වැඩි බෝනස් මුදලක් නම් ලැබුනේම නැත.

රණතුංග චේතිය පචයන් මාර්තු මාසයේ ලාබ ගැන කියන්නේ එවැනි ආකාරයට ය.

දැන් මොවුන්ගේ බොරුව සංඛ්‍යා ලේඛන සමග පැහැදිලි කරමු.

වරාය අධිකාරියේ සංඛ්‍යා ලේඛන අනුව 2014 වසර අවසාන වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ථ බහලු මෙහෙයුම් ධාරිතාව  බහලු 25,60,000 කි. එය 2015 වසර අවසානයේදී බහලු 22,60,000 දක්වා අඩුවිය. 2016 අවසාන වනවිට බහලු  21,00,000 දක්වා තවදුරටත් අඩු වී ඇත. 2016 ට සාපේක‍්ෂව මෙම වසරේ ගෙවී ගිය මාස කිහිපය තුලදී බහලු ඒකක 68,000 කින් අඩු වී ඇත. මේ අනුව බලන විට රණතුංග අයිය මලෝ පාලනය යටතේ  සමස්ථ බහලු ඒකක වල අහිමි වීම ලක‍්ෂ 5 කට ආසන්නය. මෙම බහලු ප්‍රති අපනයන ඒවා පමණක් යැයි සැලකුවහොත් එය රුපියල් මිලියන 3500 ආදායම අහිමි වීමකි.

ඇමති අර්ජුන, සභාපති ධම්මික, ලක‍්ෂ තුන හමාරක් වැටුප් ලබන කළමනාකාර අධ්‍යක‍්ෂක ප්‍රේමචන්ද්‍ර පාලනය යටතේ නැව් සමාගම් එකක් හෝ අලුතින් ජයා බහලු පර්යන්තයට රැගෙන ඒමට සමත් වී  නැත. සිදුවී ඇත්තේ ජයා බහලු පර්යන්තයට පැමිණි නෞකා ද අතයට මුදලට පෞද්ගලික පර්යන්තයන්ට හරවා යැවීමයි.

තත්ත්වය මෙසේ තිබියදී ලාභ ලැබුවායැයි තප්පුලන්නේ රටේ ආර්ථික උද්ධමනය නිසා ඩොලරයට සාපේක‍්ෂව රුපියලේ අගය අව ප්‍රමාණය වීමෙන් පෙන්වන අංකමය ව්‍යාජයයි. එම ව්‍යාජ වැඩි වීම කිසිසේත්ම ආදායම ඉහල යෑමක් ලෙස පෙන්වා දිය නොහැකිය. ලාභ ලැබුවා යයි පෙන්වන අනෙක් කරුණ නම් පෞද්ගලික පර්යන්ත තුලින් ලැබෙන රාජ්‍ය භාරය වරාය අධිකාරියේ ලාභයක් ලෙස පෙන්වීමයි. එය වරායේ ලාභයක් නොව අනිවාර්යයෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිය යුතු රාජ්‍ය භාරයකි. මේ කරුණු අනුව වරාය අධිකාරිය ලාබ ලැබුවා යයි කීම අතිශයින්ම ජනතාව ගොනාට ඇන්දවීමකි.

වරාය අධිකාරිය ලාබ ලැබුවා යයි කියන රණතුංග ටොම් පචෝරිස්ලා මේ වනවිට වරායේ විවිධ කොට්ඨාශවල නඩත්තු අවම කර ඇත. අත්‍යාවශ්‍ය අමතර කොටස් ගෙන්වීම අවම කර ඇත. සේවක අතිකාල කප්පාදු කර ඇත. ක්‍රියා කරවන කොට්ඨාශයේ සේවා මුර වෙනස් කරමින් ජයා බහලු පර්යන්තයේ පොරොත්තු සේවයේ සිටින සේවකයින්ට දෙන දීමනා අහිමි කර ඇත. සේවක රක‍්ෂණයෙන් සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ සහ සුභසාධන පහසුකම් කප්පාදු කර ඇත. ආයතනයක් ලාබ ලබන්නේ නම් මෙතෙක් සේවකයන් විඳි සේවක සුබ සාධනය කප්පාදු කරන්නේ ඇයි..!

හැරෙන හැරෙන අතට බොරු කියන චෞර රණතුංග සහෝදර සමාගම විසින් ගෙනයන මේ කූඨ වැඩ පිළිවෙල වරාය සේවකයන් හොඳින් වටහාගෙන සිටින වකවානුවක මාධ්‍ය සංදර්ශණ පවත්වමින් වරාය සුභසාධක පහසුකම් වැඩි දියුණු කළා යැයි පැවසීම හේතුවෙන් පහසුකම් කප්පාදුවට ලක්වූ වරායේ සේවකයෝ දැඩි සේ කෝප වී සිටිති.

වරාය අධිකාරිය 2016 වසරේ බිලියන 11 ක් හෙවත් කෝටි 1100 ක් ශුද්ධ ලාභ ලබා ඇත්නම් සේවකයින්ගේ අහිමිකර ඇති වරප්‍රසාද යලි ලබාදිය යුතුය. මේ වසරේ අවුරුදු බෝනස් මුදල ලක‍්ෂය දක්වා වැඩි කළ යුතුය.

මෙය අද වරායේ වෘත්තිය සමිති සහ සේවකයෝ රණතුංගලාගෙන් ඉල්ලා සිටිති…!

– වරාය සුරැකීමේ බලකාය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *