‘‘බලු පොරයක් වූ පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා’’ – හඳුන්නෙත්ති : ‘‘කතානායකත් වැරදියි’’ – ආණ්ඩුපක්ෂ මන්ත්‍රී : ඒකාබද්ධය ජල්ලි අල්ලන්නේ සජීවී විකාශ පැය දෙකේ පමණයි

(12.03.2017 – 09:10 +0530 – lankaenews.com)

පසුගිය දින 4 කදී මහජන මුදල් එක් කෝටි අසූ හතර ලක්ෂයක් වියදම් කර පැවැත්වූ පාර්ලිමේන්තුවේ දී සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඇති ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් බලු පොරයක් අල්ලමින් ගහ මරා ගත් එක පමණකැයිද, පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත් කර ඇතැයිද  ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

සන්ධානය තුල සිටින විමල් වීරවංශගේ පක්ෂයට වෙනම පක්ෂයකට හිමි වරප්‍රසාද හිමි විය යුතු යැයි කියමින් ඇවිලුනු බලු පොරයේදී දිනේෂ්ට සතියක පාර්ලිමේන්තු තහනමක් පැනවින. ඉන්පසුව දිනේෂ්ගේ නායකත්වය ඩලස්ට දිය යුතු යැයි කියමින් ඒකාබද්ධය පසුදා යලි අඩව්වක් ඇල්ලුවේය. එනම් පසුගිය සිකුරාදා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් නැගිට යන්නට ගියේය. ඊට හේතු වූයේ කතානායක වරයා ආණ්ඩු පක්ෂයට කතා කරන්නට ඉඩ නොදෙමින් කඩාකප්පල් කාරීන්ටම කතා කරන්නට ඉඩ දෙනවා යයි ආණ්ඩු පක්ෂය කතානායක වරයාගේ  දොස් දැකීමයි. කතානායක වරයා සභානායකට පවා කතා කරන්නට ඉඩ දුන්නේ නැතැයි ඔහුට චෝදනා එල්ල වීය. දිනේෂ් ගුණවර්ධන ඉවත් කිරීමට සිදුවීම ගැන ඉන් දිනකට පසුවද කතානායක වරයා කණගාටුව ප්‍රකාශ කිරීමද කතානායකවරයෙකුට තරම් නොවේ යයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියති. විනිසුරුවරයෙකු අපරාධකරුවෙකු එල්ලුම් ගස් යැවීමේ තීන්දුව දුන් පසු, විනිසුරුවරයා “මං ඔහුව එල්ලුම් ගස් යැව්වේ හිතකින් නොවේ. මං ඒක කළේ කණගාටුවෙන්, මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ“ ආදී වශය‍ෙන් විනිසුරුවරුන් නාහෙන් අඬන්නේ නැතිනම් කතානායක වරයාද සිය තීන්දුවෙන් පසු ඒ ගැන නාහෙන් නොඇඬිය යුතු යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට දොස් කියති.

කෙසේ වෙතත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ලැබී ඇත්තේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් මේ සියළු ජවුසම් නටන්නේ පාර්ලිමේන්තුවේ සජීවී විකාශය තිබෙන පැය 2 තුල පමණක් බවයි. ඒ පැය 2 තුල පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩ කටයුතු අවුල් කරමින් කැමරා වලට වීරයන් වෙන්නට හදන ඒකාබද්ධයේ අසංස්කෘතික මන්ත්‍රී රැල සජීවී විකාශය අවසන් වූ පසු ආසනවල වත් නැතැයි ලංකා ඊ නිව්ස් වාර්තාකරුවෝ පවසති.

කෙසේ වෙතත් ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය වැදගත්ය. ප්‍රතිපත්ති සම්පාදනයට තිබෙන පාර්ලිමේන්තුව එක් එක් පක්ෂවල බල පොරයට යට වන්නේ නම් ජනතාවට පාර්ලිමේන්තුව පිළිබඳ තිබෙන විශ්වාසය නැති වනවා ඇත. මේ සම්බන්ධයෙන් ඊයේ (11) මාතර පැවැති මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක වීඩියෝවක් පහතින් නැරඹිය හැකිය.

වීඩියෝව සැපයීම : මාතර ඉඳුනිල් කැලුම් ජයවීර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *