නිමල් සිරිපාල සහ හෙංචයියන් දුම්රිය රක්ෂිත ඉඩම් ජාවාරමක..!

(13.03.2017 – 01:30 +0530 – lankaenews.com)

ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලගේ හෙංචයියන් කණ්ඩායමක් දුම්රිය රක්ෂිත ඉඩම් ජාවාරමක් ගෙන යද්දී  අත් අඩංගුවට පත්ව තිබේ. මෙය ඇමැතිවරයා දැනුවත්ව ඔහුගේ අනුදැනුම මත කරගෙන යන ජාවාරමක් බව මේ වන විට හෙළිව තිබේ.

අදාල සිද්ධිය මෙසේය :

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දුම්රිය රක්‍ෂිත ඉඩමේ  පදිංචි කරුවන්ට එම භූමිවල සින්නක්කර අයිතිය ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක්  සිදු කරමින් සිටින කණ්ඩායමක්  පසුගිය ජනවාරි 16 දා පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ පිරිස දෙමටගොඩ බේස්ලයින් පාරේ, නො. 63/14  හි පදිංචි දේවගේ දොන් විරාජ් සඳරුවන්, බොරැල්ලේ ශ්‍රීපති පාරේ නො.  141/45 හි පදිංචි යක්කල මුල්ලගේ  සුමින්ද ප‍්‍රසාද් ජයලත්, බොරැල්ලේ හර්ෂාන් ලක්‍ෂිත,  ගම්පහ බණ්ඩරවත්ත  නො. 100/2 හි පදිංචි කාරියවසම්  හපුතන්ත්‍රී කංකානම්ගේ  අජිත් තිලංක  යන පුද්ගලයින් වෙති.  මොවුහු මෙකී ඉඩම් ජාවාරමට සම්බන්ධ වී සිටි බවත් ඇමැතිවරයාගේ හෙංචයියන් පිරිසක් බවත් හෙලිව තිබේ. මෙම පුද්ගලයින් බණ්ඩාරවෙලට ගොස් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් WP-CAM-5969  දරන මෝටර් රථයෙන් බවද අනාවරණය වීමෙන් මෙම ජාවාරය බලවතුන්ගේ සම්බන්ධයක් මත සිදුවූවක් බව පැහැදිලිය.

බණ්ඩාරවෙල දුම්රිය සේවකයින් පිරිසක් මේ පිළිබඳව සැක සිතී බණ්ඩාරවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ජාවාරම්කාර හෙංචයියන් සිව්දෙනා සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථය අත් අඩංගුවට ගත්තේය.  මෝටර් රථය නිදහස් කර ගැනීමට දුම්රිය බලධාරීන් පිරිසක් කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන්  නඩු අංක BR – 4719 යටතේ බණ්ඩාරවෙල අධිකරණයේ නඩු විභාගයක් පවතී.

දැන් ඇමැති නිමල් සිරිපාලගේ උපදෙස් මත දුම්රිය හා ප‍්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් මැදිහත්වී මෙම සැකකරුවන් බේරාගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක් පවතී.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සතු ඉඩම් බලතල, ප‍්‍රවාහන අමාත්‍යාංශය වෙත පවරාගෙන ඇති තත්වයක් තුල ප‍්‍රවාහන අමාත්‍යවරයාගේ මැතිවරණ බල ප‍්‍රදේශය තුල පිහිටා ඇති දුම්රිය රක්‍ෂිත ඉඩම් ජාවාරම ඉතාමත් ඉහලින් සිදුවන බව මේ සිද්ධියෙන් පෙනී යයි.

මෙලෙස බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව හා ඇල්ල ප‍්‍රදේශවල රක්‍ෂිත දුම්රිය ඉඩම් සම්බන්ධයෙන් නීති විරෝධීව ඉඩම් කච්චේරි පවත්වන බවද අනාවරණය වේ.

පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුවට රක්‍ෂිත දුම්රිය ඉඩම් බදු දීම තුලින් අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබියදී, දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු එම ආදායම අහිමි කරමින් මෙන්ම පදිංචි කරුවන්ද මුලාකරමින් දුම්රිය රක්‍ෂිත ඉඩම් ජාවාරමක් ඇමැති නිමල් සිරිපාල සහ ඔහුගේ අමාත්‍යාංශ නිලධාරීන් සහ හෙංචයියන් එක්ව සිදුකර ගෙන යන බව ඉහත සිදුවීමෙන් ඉතාමත් හොඳින් හෙළිදරව් වී තිබේ.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කර දූෂණ සිදුකරන තම ගෝල ඇමැතියන් හදා ගැනීමට වහාම පියවර ගත යුතුය.

(මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් සමස්ථ ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයට ස්තූතිය)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *