ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වෙඩි තැබුවා කියා ඉතිහාසයේ ප්‍රථම වරට කච්චතිව් මංගල්‍යයට ඉන්දීය ධීවරයන් ආවේ නෑ : මංගල්‍යයේදී නාවික හමුදාපති රහස් රැසක් හෙළිකරයි

(12.03.2017 – 23:30 +0530 – lankaenews.com)

කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්ලය අද (12) දා අති උත්කර්ෂවත් අන්දමින් අවසන් වුවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දීය බැතිමතුන් මෙම මංගල්ලය වර්ජනය කොට තිබුණි.

කච්චතිව් වාර්ෂික මංගල්ලයට සහභාගි වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පැවසුවේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඉන්දියන් ධීවරයකුට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් අසත්‍ය ප්‍රචාරයක් ඉන්දියාවේ පැතිරීම නිසා  ඉන්දියානු ධීවරයින් වාර්ෂිකව කච්චතිව් දූපතේ මෙවර පැවත්වූ දේව මෙහෙයට සහභාගී වීම වර්ජනය කොට ඇති බවයි. ඔහු මෙසේද කීය :

‘‘ඉන්දියානු ධීවරයෙකු වෙත නාවික හමුදාව වෙඩි තැබුවායැයි සම්බන්ධයෙන් ඇතිවුණ අර්බුදය හේතුවෙන් ඉන්දියානු බැතිමතුන් පැමිණියේ නැහැ. නමුත් නාවික හමුදාව ඒ සිදුවීම ප්‍රතික්ෂේප කරනවා. අපිට ඉන්දියන් ධීවරයින්ට වෙඩි තබන්නට අවශ්‍යතාවක් නැහැ. අප කරන්නේ එම ධීවරයින් අපේ මුහුදු සීමාවේදී අසුවුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන යෑම පමණයි.

විශේෂයෙන් බෝට්ටුවකට වෙඩි තබනවා නම්, අඩුම ගණනේ අනතුරු ඇඟවීම සඳහා වෙඩි තබනවානම් නාවික හමුදාපතිතුමාගේ අවසරය ගන්න ඕනෑ. නව තාක්ෂණය අනුව ඕනෑම නාවික හමුදා නිලධාරියකුට ඕනෑම වෙලාවක මාව සම්බන්ධකරගන්න පුළුවන් එම නිසා ඔවුන් කිසියම් කාරණයකට අනතුරු ඇඟවීම සඳහා හෝ වෙඩි තබනවා නම් ඒ අවසරය ගන්න අවශ්‍යයි. එහෙම අවසරයක් කවුරුත් මගෙන් අරන් නැහැ. ඒ කියන්නේ අප වෙඩි තියලා නැහැ. අප ඒ පිළිබඳ පරීක්ෂණයකුත් කරගෙන යනවා. ඒ නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිගේ සහභාගීත්වයෙන්.

අපේ තිබෙන රේඩාර් පද්ධති පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියා බෝට්ටු 400 ක් 500 ක් අතර ප්‍රමාණයක් ඉන්දියන් ට්‍රෝලර් යාත්‍රා අපේ මුහුදේ නතර කොට තිබී පවතිනවා. අප ඉන්දියන් ධීවරයින්ගෙන් ඉල්ලා සිටියා ඒ සිදුවීම වූ දවසේ වෙඩිවැදුනා කියන බෝට්ටුවේ තිබෙන ජී.පි.එස් යන්ත්‍රයේ ඒ වෙඩි වැදීම සිදුවූ වෙලාව අප සින්නේ රාත්‍රී 12.30 පමණ එම බෝට්ටුව කොතනද තිබුණේ කියා අපට එම ස්ථානය ලබා දෙන්න කියා. ස්ථානය ලබා දුන් පසු අපේ තිබෙන රේඩාර් පද්ධති වල සටහන් වෙලා තිබෙන ඒවා පිළිබඳ සොයා බලා අපිට සොයන්න පුළුවන් මෙරටට බෝට්ටුවක් ආවද? කුමක්ද වුනේ කියා. අපි බලාපොරොත්තුවෙන් සිටිනවා ඉතා ඉක්මනින් ඉන්දීය වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව ඒ විස්තර අපට ලබාදෙයි කියා.

ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය හා නාවික හමුදාව අතර අපේ කිට්ටු සබඳතාවක් තිබෙන්නේ අපට ඕනෑම අවස්ථාවක ඔවුන් සම්බන්ධ කරගන්න පුළුවන් ඔවුන්ටත් අපව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉන්දියන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට තිබෙන ප්‍රශ්ණයක් තමයි ඇයි මේ අය වෙඩි තැබීමක් වුවා නම් එය සිදු වූ වේලාවෙම කතා නොකළේ යන්න. එවැනි ගැටළුවක් පවතිනවා. වෙඩිතැබීමක් සිදුවූවායි කියලා නාවික හමුදාව දැණගත්තේ ඊළඟ දවසේ උදේ. ඔවුන්ට මෙහිදී ද කුමක්හෝ සිදුවුවා නම් කතාකරලා කියන්න තිබුණා.

මේ සිද්ධිය දෙස බලන විට අපට යම්කිසි නොදන්න පැත්තකුත් තිබෙනවා කියා හැඟෙනවා. අපට තවමත් ජී.පී.එස් යන්ත්‍රයේ නිශ්චිත සටහන් ලබා දුන්නේ නැහැ. එම තොරතුරු ලබාදුන්නොත් වඩා හොඳින් ඒ පිළිබඳ විමර්ශණයක් සිදුකරන්න පුළුවන්’’ නාවික හමුදාපති විජේගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

යාපනය දියෝකිසය භාර අනුනායක රදගුරු ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ  කිතුණු පුජකතුමන්ලා ඇතුළු කන්‍ය සොයුරියන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් කච්චතිව් දූපතෙහි වාර්ෂික  මංගල්‍ය ආරම්භ කෙරිණි.

සෑම වසරකම කිතුනු බැතිමතුන් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්ලය ඉන්දියානු බැතිමතුන් හා මෙරට බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ට්‍රොලර් යාත්‍රා භාවිතා කරගනිමින් බැතිමතුන් කච්චතිව් දේව මංගල්‍ය සඳහා පැමිණෙති. වීසා නොමැතිව රටකින් තව රටකට පැමිණිය හැකි දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකේ. මන්ද යත් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ මංගල්‍යය සඳහා පැමිණීමට වීසා අවශ්‍ය වන්නේ නැත.

දකුණු ඉන්දියානු ධීවර ජනතාව හා උතුරේ හා දකුණේ ධීවර ජනතාව කච්චතිව් මහා මංගල්ලය ඉමහත් බැතියෙන් හා විශ්වාසයෙන් යුතුව සමරනු ලබන අතර ශාන්ත අන්තෝනි මුණිඳුන් ධීවර ජනතාවට ආරක්ෂාව හා සෞභාග්‍ය උදාකරදෙන බවට දෙරටේ ධීවර ජනතාවගේ විශ්වාසය මත මෙම දේවමෙහෙයට සහභාගිවෙති.

මෙවර දේව මෙහෙය සඳහා සහභාගීවන්නන් වෙත ගමන් පහසුකම් සලසා දීමේ අරමුණින් උතුරු පාළාත් අඥාපති රියර් අද්මිරාල් කේ.කේ.පී.එච් ද සිල්වා උපදෙස් මත බැතිමතුන් වෙත පැමිණීමට විශේෂ ප්‍රවාහන යාත්‍රා යොදවා තිබූ අතර පැමිණෙන බැතිමතුන් හට ආහාරපාන ඇතුළු සනීපාරක්ෂක පහසුකම්ද නාවික හමුදාව විසින් ලබාදී තිබිණි.

නාවික හමුදාපති රවි විජේගුණවර්ධන පවසා සිටියේ මෙවර දේව මෙහෙයට වෙනුවෙන් සහභාගි වු සියළු බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් සියල්ල සපයා දීමද නාවික හමුදාව හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  මගින් සිදුකොට තිබූ බවයි.

මෙවර වාර්ෂික දේව මෙහෙය සඳහා නාවික හමුදාපති රවි විජේගුණවර්ධන, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් ඇතුළු නාවික හමුදා උසස් නිලධාරීන් හා මෙරට කිතුණු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.







– සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *