ශ්‍රී ලාංකිකයන් 8 ක් රැගත් නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අල්ලා ගෙන..! කොල්ලකරුවන් සමග සම්බන්ධතා හදා ගැනීමට ඇවන්ට් ගාඩ් අයිතිකරුගෙන් උදව් ඉල්ලලා

(14.03.2017 – 23:50 +0530 – lankaenews.com)

වෙළෙඳ නෞකාවන්ට ආරක්ෂාව සැපයීම ඇවන්ට් ගාඩ් සමාගමෙන් ඉවත් කර නාවික හමුදාව බාර ගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු සේවය කරමින් සිටි තෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලාගෙන තිබේ.

පසුගිය සඳුදා සෝමාලියාවේ ‘අලුලා‘ ආසන්න මුහුදේ දී මෙම නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී ඇත. ශ්‍රී ලාංකිකයන් සේවයේ යෙදී සිටි Aris 13 නමැති ටොන් 1800 ක් බරැති නෞකාව ‘කොමරොස් දූපත්‘ හි ධජය යටතේ ගමන් ගනිමින් තිබී ඇත. ‘ආර්මි ෂිපින්‘ නමැති පැනමා සමාගමකට අයත් මෙම නෞකාවේ කළමණාකරණ කටයුතු කර ඇත්තේ ‘අවුරෝරා ෂිප් මැනේජ්මන්ට්‘ නමැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සමාගමක් විසිනි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ මූළික විමසීම් වලින් කරුණු හෙළිවන පරිදි එම නෞකාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති නමුත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සේවය කළ බවයි.

නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවද නිවේදනයේ දැක්වේ.

සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් 2011 සිට  මේ දක්වා වෙළඳ නෞකා වලට ප්‍රහාර 237 ක් එල්ල කර ඇත. සිය ගණනක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන ඇත.

සිද්ධියෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ඇවන්ට් ගාඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපතිගේ උදව් බලාපොරොත්තු වී ඇති නමුත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත.

නෞකා වලට ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් සමාගම ඉවත් කර එය ශ්‍රී ලංකාවේ නාවික හමුදාව වෙත පවරා ගැනීම නිසා ඇවන්ට් ගාඩ් සමාගමේ සේවකයන් 4000 කට පමණ රැකියා අහිමි විය. තමන් සමග අත්සන් කර තිබූ ගිවිසුම් නීති විරෝධී ලෙස ඒකපාක්ෂිකව කඩ කළා යැයි ඇවන්ට් ගාඩ් සමාගම විසින් සිංගප්පූරුවේ ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ නඩු පවරනු ලැබීය. එම නඩුවෙන් ඇවන්ට් ගාඩ් සමාගම ජයගත් අතර ඒකපාක්ෂිකව ගිවිසුම් කඩ කළ රක්නා ලංකා සමාගමට ඩොලර් බිලියනයකට අධික වන්දියක් ඇවන්ට් ගාඩ් සමාගමට ගෙවන්නැයි නියම කෙරිණ. එම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමට සිදුවන බැවින් ශ්‍රී ලංකා රජය කෙළේ රක්නා ලංකා සමාගම විසිරුවා හැරීමයි. එහිදී ද රක්නා ලංකා සමාගමේ සේවය කරමින් සිටි තවත් 4000 කට පමණ රැකියා අහිමි විය.

පුද්ගලික සමාගමක් ලෙස හෝ රජයක් ලෙස හෝ වෙළෙඳ නෞකා වලට මුහුදු ආරක්ෂාව සැපයීම දුර්වල කිරීම හේතුවෙන් මුහුදු කොල්ලකරුවන් හිස ඔසවා තිබෙන බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *