ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..!

(15.03.2017 – 10:10 +0530 – lankaenews.com)

ටෙන්ඩර් පටිපාටි කිසිවක් නෑ..! රුවන් විජේවර්ධනත් නමේ ¤ ගා ගනී..!

පයිප්ප බට විකුණමින් සිටින රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම විකුණමින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට යුද්ද නැවක් විකුණා ඩොලර් මිලියන ගණනක ගැහිල්ලක් ගැහීමට තටමන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

නාවුක හමුදාවට යුද නැවක් මිලදී ගැනීමට යන අතර මෙහි තැරැව්කරුවා වී ඇත්තේ කිලී මහාරාජාගේ කැපිටල් මහාරාජා සමාගමයි. කැපිටල් මහාරාජා සමාගම මේ දක්වා කෙදිනකවත් ශ්‍රී ලංකාවට යුද අවි සපයා නැත. නැව මිලදී ගැනීමට යන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයෙන් වන නමුත් මේ සඳහා පිළිගත් ටෙන්ඩර් පටිපාටි කිසිවක් ක්‍රියාත්මක කර නැත. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිෂන් පවා දමාගෙන සොයන ජනාධිපතිවරයා යුද නැවක් මිලදී ගැනීමේදී තම අමාත්‍යාංශයට නීතිගරුකව පාරාදෘශ්‍ය ලෙස හැසිරෙන්න යැයි උපදෙස් නොදීම කුතුහලය දනවන කාරණයකි. කෙසේ වෙතත් මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අඹ යාලුවා වී සිටින කිලී මහාරාජා මෙකී යුද නැව මිලදී ගැනීමට රුසියාවේ නිපදවන ලද නැවක් යෝජනා කර තිබේ. එහි වටිනාකම ඩොලර් මිලියන 300 ක් හෙවත් රුපියල් කෝටි 4556 ක් පමණ වේ.

මෙහි ඇති අපූරුව නම් මේ තරම් අධික වියදමක් දරා යුද්දය පවතිද්දී පවා ශ්‍රී ලංකාව යුද නැවක් මිලදී ගෙන නොමැති වීමත්, මේ තරම් වියදමක් දැරුවද මෙම නැව මිලදී ගන්නේ තුවක්කු සවි නොකර වීමත් ය. මිලදී ගැනීමෙන් පසු අප විසින් තවත් වියදමක් දරා තුවක්කු සවි කර ගත යුතුය. එනම් අපූරුම යුද නැවකි. තුවක්කු නැති යුද නැවකි. නාවික හමුදා ප්‍රවීනයන් පවසන්නේ මෙය සහ සුද්දෙන්ම කිලී මහාරාජාට ගාණක් කපා ගැනීම සඳහා කරනු ලබන ව්‍යාපෘතියක් බවයි.

මහාරාජා මේ සඳහා තම සට්ටැඹියන් කිහිප දෙනෙකුම යොදවා තිබේ. ඉන් ප්‍රධාන වන්නේ කිලීගේ ගජයා නිමල් කුක් ය. දෙවැන්නා ෂෙවාන් ඩැනියල් ය. තෙවැන්නා වන්නේ කලක් නිමල් කුක් ගේ සහචරියක් ලෙස කටයුතු කළ නිලුෂි ජයවර්ධනය. ඇය මේ වන විට නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධනගේ කිට්ටුම මිතුරිය වී ඇතිවා පමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ රුවන් ගේ සහකාරිය ලෙස රාජකාරියද කරන්නියකි. ඇය ලවා රුවන් විජේවර්ධනද මෙම ඩීල් එකේ සහායකයෙකු කර ගැනීමට මහාරාජා දක්ෂ වී තිබේ. මේ කණ්ඩායම ආරක්ෂක අමාත්‍යාංශය පුරාම සහ නාවික හමුදාව පුරාම ප්‍රචාරය කරන්නේ ටෙන්ඩර් ක්‍රමවේද කිසිවක් නැති මේ තක්කඩි ඩීල් එක සඳහා ජනාධිපතිවරයාගේ නොමඳ සහාය තිබෙන බවකි.

ගෝඨාභයගේ මිග් ඩීල් එකට දෙවැනි නොවන මෙම යුද නැව් ඩීල් එකෙන් කවුරුන් හෝ සියයට එකක කොමිස් මුදලක් කෑවද එය රුපියල් කෝටි 45 ක් තරම් විශාල මුදලකි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *