පරණ සෙල්ලම යලිත්..! බස්නාහිර පළාත් එජනිස දූෂිත දේශපාලුවන්ගේ ලැයිස්තු වලට ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කරනවා..!

(16.03.2017 – 16:55 +0530 – lankaenews.com)

2016 වසරේ බස්නාහිර පළාතේ තෝරාගත් ජනප්‍රිය පාසල් 21 ක පළමු ශ්‍රේණිය පන්තියක් වැඩිකර සිසුන් ඇතුළත් කිරීමට බස්නාහිර පළාතේ පළාත්සභා මන්ත්‍රීලා අත්තනෝමතිකව කටයුතු කළේය. ඒ අනුව වෙනත් පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් මාස 8 කට පසු මෙම පාසල්වලට ඇතුළත් කර ගැනුණි. එම ක්‍රියාවලියට එරෙහිව ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයාට කළ පැමිණිල්ලකට අනුව ආණ්ඩුකාරවරයා විසින් ඒ සම්බන්ධයෙන් එවකට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවන ලද අතර, 2016.08.01 දිනැති එම වාර්තාවේ  අදාළ පාසල් 21 හි 1 ශ්‍රේණියේ පන්ති ඇති කිරීම නුසුදුසු බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් කරුණු සහිතව දක්වා තිබුණි. එසේම ඒ වන විට පළමු වන ශ්‍රේණිය සඳහා පාසල් නොමැති ළමුන් කිසිවෙක් බස්නාහිර පළාතේ නොමැති බව ද අදාළ වාර්තාවේ සඳහන් විය. එසේ තිබියදී අත්තනෝමතිකව බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමතිවරයාගේ නියෝගය පරිදි සමාන්තර පන්ති වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන 3ක් විගණකාධිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් පවත්වමින් තිබේ.

එසේ තිබියදී 2017 වසර සඳහා ද පළාතේ තෝරාගත් ජනප්‍රිය පාසල් සඳහා බස්නාහිර පළාත් සභා දේශපාලුවන්ගේ ලැයිස්තු පදනම් කර ගනිමින් පොරොත්තු ලේඛනද පසෙක දමා 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් තිබේ. මෙසේ දේශපාලන උවමනාවන් මත 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමෙන් සිදුවන්නේ පොරොත්තු ලේඛනවල සිටින දරුවන් බරපතල අසාධාරණයකට ලක්වීමත්, අවට ජනප්‍රිය නොවන කුඩා පාසල් වැසීයාමත්ය.

මෙම ක්‍රියාවලිය මඟින්  දරුවන්ගේ සමබර අධ්‍යාපනයට බරපතල ගැටළුවක් වන අතර, සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයකට යැවීමක් සිදුවේ. පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ මෙම දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය දේශපාලනඥයන්ගේ ලැයිස්තු අනුව පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම වහාම නතර කරන ලෙස බලකර සිටී.

ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කරන ලද ජනතාවාදී ප්‍රතිපත්ති වලට එරෙහිව කටයුතු කරන ප්‍රධාන දේශපාලුවෙක් ලෙස බස්නාහිර මහ ඇමැති වසුරු දේවප්‍රිය නමැත්තා කැපී පෙණෙන චරිතයකි. (සමාවන්න – මුද්‍රණ දෝෂයකි, ඉසුරු දේවප්‍රිය) ෴

*************************************

බොරු කීවායැයි ජනාධිපති කොමිසම ඉදිරියේ වරද පිළිගත් බන්ධුලගෙන් රවි කෝටි 200 ක් වන්දි ඉල්ලා එන්තරාවාසියක් යවයි
(16.03.2017 – 18:25 +0530 – lankaenews.com)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් බිලියන දෙකක් හෙවත් කෝටි 200 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි බන්ධුල ගුණවර්ධන මහතා, මාධ්‍ය ඉදිරියේ ව්‍යාජ තොරතුරු ප්‍රකාශ නොකරන ලෙස එම කොමිසම ලබා දුන් අවවාදය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයකට එරෙහිව බන්ධුල විසින් එවන ලද එන්තරවාසියට පිළිතුරු වශයෙන් මෙසේ රුපියල් බිලියන දෙකක (රුපියල් මිලියන 2000ක) වන්දියක් ඉල්ලා මුදල් අමාත්‍යවරයා ඊයේ (15) සිය නීතීඥවරුන් මාර්ගයෙන් බන්ධුල ගුණවර්ධන මහතාට එන්තරවාසි යවා තිබේ.

මාධ්‍යට ප්‍රකාශ කළ අදාළ කරුණු සමග පමණක් තමා එකගවන අතර ම බන්ධුල ගුණවර්ධන මහතා විසින් එවා ඇති එන්තරවාසියේ සඳහන් අනෙකුත් සියලු දැඩි චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සිය එන්තරවාසිය මගින් රවී කරුණානායක මහතා, බන්ධුල ගුණවර්ධන මහතාට දන්වා සිටියි. රවී කරුණානායක මහතාගේ නීතීඥයන් මගින් බන්ධුල ගුණවර්ධන මහතා වෙත යවන ලද එන්තරවාසියෙහි තව දුරටත් සඳහන් කර ඇත්තේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම ඉදිරියට, බන්ධුල ගුණවර්ධන මහතා කැඳවුයේ කුමන අරමුණක් සඳහා දැයි සහ ඔහු දෙන ලද සාක්ෂිවල අඩංගු කරුණු මොනවා දැයි අමාත්‍ය රවී කරුණානායක මහතා තුළ පූර්ව දැනුවත් බවක් නොතිබූ බවයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධව සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කර ඇති බවට බන්ධුල ගුණවර්ධන මහතා කොමිසම ඉදිරියේ පිළිගත් බවත්, එවැනි සාවද්‍ය ප්‍රකාශ මින් ඉදිරියට සිදු නොකරන  ලෙස, එම කොමිසම ඔහුට අවවාද කළ බවට, රවී කරුණානායක මහතා දැනුවත් වූයේ, එම තොරතුරු ජනමාධ්‍යවල පළවීමෙන් පසුව බවත් එන්තරවාසියේ සඳහන් වේ. කෙසේ වුවත් මෙම සිදු වීමට අදාළව රවී කරුණානායක මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශවල, බන්ධුල ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් කිසිදු අපහාසාත්මක හෝ ද්වේශසහගත ප්‍රකාශයක් සිදු නොකර ඇති බව එම එන්තරවාසියේ සඳහන් වේ. ඒ අනුව බන්ධුල ගුණවර්ධන මහතා, රවී කරුණානායක මහතාට විරුද්ධව රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලන්නේ නම්, ඊට එරෙහිව රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව රවී කරුණානායක මහතාගේ නීතීඥයන් විසින් බන්ධුල ගුණවර්ධන මහතා වෙත යවන ලද එන්තරවාසියේ වැඩි දුරටත් සඳහන් වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *