‘‘සංතින්ද්‍රියෝච නිපකෝච’’ – අප්‍රසන්න වී තිබූ පාර්ලිමේන්තුව ගුණවත් කමින් උතුරා යයි..!

(16.03.2017 – 16:00 +0530 – lankaenews.com)

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි. පසුගිය දින කිහිපයේ රටට මහත් අප්‍රසන්නතාවක් කැන්දූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද ගුණවන්ත භාවයකින් උතුරා ගියේය.

පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැන්දූ පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක් ද වෙති.  ඒ අතර,  පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙන්කෝලයයි.

1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර උත්තර මන්‍ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස ද්වී මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා සෙංකෝලය වර්තමානයේ භාවිතයට නොගැනුනද මේ ඓතිහාසික සංකේතය පාර්ලිමේන්තුවේ සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.

1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිතා කළ සෙන්කෝලය  වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර,  ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි.

1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අඟල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට  කැරට් 20 රන් පවුම් 45 කින් හා  රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ  ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි.  මෙම විශිෂ්ඨ කලාකරුවා අද 88 වියැතිය. අඩ සියවසකටත් පෙර  නිමවා භාර දුන් මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවීය.  දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා අද (2017-03-16) පෙරවරුවෙහි ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ  භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමිනි.

මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ. ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කෙරේ. එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ.  සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර ඇත.  සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසයි.  එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර,   එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන කරණීය මෙත්ත සූත්‍රයේ එන පාලි පාඨය (සුමංගල හිමියන්ගේ පාළි සිංහල ශබ්දකෝෂය අනුව ‘පාණ්ඩිත්‍යයෙන් යුත් මතක ඉන්ද්‍රියක්‘ යන්න එහි සිංහල අරුතයි) සඳහන්ව තිබූ බව ඔහු පැවසීය.

ජපානයේ මිසාකා කුමරියට, ඉන්දීය හිටපු අගමැති ශ්‍රී නේරුතුමාට, එවකට ලංකාවට පැමිණි පාකිස්තානයේ රාජ්‍ය නායකයෙකුට පවා පියතිලක මහතා විසින් නිර්මාණය කළ භාණ්ඩ රජය විසින් තිළිණ කර තිබේ.

වත්මන් කතානායක කරු ජයසූරිය මහතා පිළිබඳ අප සමග අදහස් දැක්වූ එක් දේශපාලන විචාරකයෙකු දිනක් ඔහුව හැඳින්වූයේ ලංකාවේ දේශපාලනයේ සිටින ‘එකම ගුණවතා‘ ලෙසය. ඇස්වෙද නයිදෙලාගේ පියතිලක වැනි රටට සේවයක් කළ නිහඬ කලාකරුවෙකු ගෙන්වා ඔහුට උපහාර දැක්වීමට මතක් වන්නේ ද එවන් ගුණවතුන්ට පමණි.

ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් අපි එක් කාරණාවක් ඉල්ලා සිටිමු.. පියතිලක වැනි අත්දැකීම් පූර්ණ කලාකරුවන්ගේ නිර්මාණාතාමක සහ තාක්ෂණික අත්දැකීම් ඔවුන් මිය යෑමට පෙර එකතු කර අනාගත පරම්පරාවට අධ්‍යයනය සඳහා ආරක්ෂා කර දෙන ලෙසයි. මෙය අද ලෝකයටම අහිමි වෙමින් පවතින ඥාන ධාරාවකි.

ඇස්වෙද නයිදෙලාගේ පියතිලක නම් ඒ විශිෂ්ඨ කලාකරුවාට ලංකා ඊ නිව්ස් සැවොම දීර්ඝායුෂ පතන්නෙමු..!





(කතානායක මාධ්‍ය ලේකම් චමින්ද ගමගේ මහතාට ස්තූතිය)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *