විමල් ධීරසේකර යනු මහාචාර්ය සරත් විජේසූරිය යයි පිට පොට ගසා ගත් මලිත් ජයතිලක ගොනාට ඇඳලා..! ඔප්පු කළ හැකි නම් මලිත්ලා සුරකින මිනීමරුවන් ලවා තමා ඝාතනය කිරීමට ඉඩ දෙන බව මහාචාර්යතුමා කියයි

(18.03.2017 – 23:45 +0530 – lankaenews.com)

ලංකා ඊ නිව්ස්හි පළවූ “සිසුන් මැරූ නාවික හමුදා ඝාතකයන් බේරා ගැනීමට ඒ පාර මෛත්‍රී සැඟවී ජාතික ලැයිස්තු ඇම්බැට්ටයෙක් එවලා“ නමැති විමල් ධීරසේකර ලියූ ලිපියෙන් චෝදනා කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක නමැත්තා එය කියවා පිට පොට ගසා ගෙන එය ලියුවේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා යැයි සිතා ඔහු අමතා අවලාද නගා තිබේ. ඒ සම්බන්ධයෙන් මහාචාර්යතුමා ලංකා ඊ නිව්ස් වෙත ලිපියක් එවා ඇති අතර එය සම්පූර්ණයෙන් පහත දැක්වේ…

විමල් ධීරසේකර යනු සරත් විජේසූරිය යැයි උපකල්පනය කොට මලිත් ජයතිලක කෝපයෙන්…

මාර්තු 18 වෙනිදා උදෑසන පෙරවරු 7.45 ට මාගේ ජංගම දුරකථනයට මලිත් ජයතිලක මන්ත්‍රීතුමාගෙන් ඇමතුමක් ලැබුණි. ඒ ඇමතුම ලබා දෙන්නට ඉවහල් වී තිබුනේ ලංකා ඊ නිව්ස් හි පළ වී තිබූ විමල් ධීරසේකරගේ ලිපියකි. ඒ ලිපියෙන් මලිත් ජයතිලක මහතා සිය හිතවතෙකු වන නාවික හමුදාවේ චෝදනා ලත් නිලධාරියෙකු බේරා  ගැනීමට ගන්නා උත්සාහය විවේචනය කර තිබුණි.

මලිත් ජයතිලකගේ මේ කටයුත්ත සම්බන්ධව මට ද බරපතල විවේචනයක් ඇත. එනමුත් මා ඒ සම්බන්ධව කිසිදු මාධ්‍යයකට මේ වනතුරු කිසිවක් ලියා නැත. මලිත් ජයතිලක උපකල්පනය කර තිබෙන්නේ විමල් ධීරසේකර නමින් ලිපි ලියන්නේ සරත් විජේසූරිය වන මා බවයි. එය මුග්ධ හිතලුවකි.

මා මේ වන තුරු කිසිදු මාධ්‍යයකට මගේ නමින් හැර අන්වර්ථ නාමයකින් කිසිවක්ම ලියා නැත. මහින්ද රාජපක්ෂ ගැන, ගෝඨාභය රාජපක්ෂ ගැන, වත්මන් ජනාධිපතිවරයා ගැන, අගමැතිවරයා ගැන, මගේ විවේචන මා විවෘතව හා ඍජුව ඉදිරිපත් කර ඇත. ලියා පළ කර ඇත. මලිත් ජයතිලකගේ ‘මා දුටු ජනවාරි 08 ‘ නමැති කෘතිය ගැන මගේ විවේචන ද මා ලියා පළ කෙළේ මගේ නමිනි. එබැවින් අන්වර්ථ නාමයකින් එතුමා ගැන ලියන්නට මට අවශ්‍යතාවයක් නැත. හුඹස් බියක් ද නැත.

මලිත් ජයතිලක මන්ත්‍රීතුමාගේ සාවද්‍ය උපකල්පනය සැබැවින්ම මා තුළ ඇති කෙළේ සිනා රසයකි. මම ඔහුගේ අනුවණ හා අවිචාරවත් නිගමනය ගැන අනුකම්පා කරමි. මට නැගූ සාවද්‍ය චෝදනාව අරභයා මා ඔහුට වැදගත් අන්දමට කරුණු පැහැදිලි කළ ද, අවසානයේ ඔහු සිය මතයේම එල්බගෙන මට නැගූ සාවද්‍ය චෝදනාව යළිත් නගමින් සිය දුරකථනය විසන්ධි කෙළේය. අනතුරුව මා කල්පනා කෙළේ ජනාධිපතිවරයාට සමීපව සිටින මේ පුද්ගලයන් තම තම නැණ පමණින් සාවද්‍ය උපකල්පන වල නිමග්නව ජනාධිපතිවරයාව මොන තරම් අවිද්‍යාවක ගිල්වනවා ඇත් ද යන්නය. ඒ ගැන දීර්ඝව කරුණු පැහැදිලි කළ යුතුය. කෙසේ වෙතත් ඊ නිවුස්  සංස්කාරක තුමාගෙන් මා ඉල්ලා සිටින්නේ සරත් විජේසූරිය යන මා විමල් ධීරසේකර ද නැද්ද යන්න පැහැදිලි කරණ ලෙසයි.

මලිත් ජයතිලක මන්ත්‍රීතුමාට සරත් විජේසූරිය වන මා විමල් ධීරසේකර බව ඔප්පු කළ හැකි නම් දඬුවමක් ලෙස ඒ මොහොතේම මම කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මාහාචර්ය පදවියෙන් ඉල්ලා අස්වෙමි. එය ප්‍රමාණවත් නොවේ නම්, රණවිරුවන් සේ සලකා ආණ්ඩුව ආරක්ෂා කරන මිනීමරුවෙකු ලවා මා ඝාතනය කිරීමට මගේ කැමැත්ත මම මලිත් ජයතිලක මන්ත්‍රීතුමාට ලියා අත්සන් කර දෙමි.

– මහාචාර්ය සරත් විජේසූරිය.

ලංකා ඊ නිව්ස් කර්තෘ සටහන :

ලංකා ඊ නිව්ස්හි විමල් ධීරසේකරයන්ගේ ලිපියක් හේතුවෙන් මහාචාර්යතුමාට සිදුවූ අලකලංචිය ගැන ප්‍රථමයෙන් අපි ඉතාමත් කණගාටු වන්නෙමු.

විමල් ධීරසේකර යනු මහාචාර්ය සරත් විජේසූරිය නොවේ. විමල් ධීරසේකර ලංකාවේ දේශපාලනයේ අභ්‍යන්තර කාරණා හෙළිකරමින් ඒ සම්බන්ධයෙන් දේශපාලන විචාර ලංකා ඊ නිව්ස් වෙත ලිවීම ආරම්භ කෙළේ ලංකා ඊ නිව්ස් ආරම්භ කළ 2005 වසරේ මැද භාගයේ සිටය. එවක සිටි සම්මත දේශපාලන විචාරයකයන්ට වඩා වෙනස් දෘෂ්ඨියක් තිබූ ප්‍රගීත් එක්නැලිගොඩ සහ විමල් ධීරසේකර දෙදෙනා ලංකා ඊ නිව්ස්හි දේශපාලන විචාර ලිවීමට පොළඹවා ගත්තේම ලංකා ඊ නිව්ස් කතුවරයා විසිනි. සැබෑ නමින් ලියූ ප්‍රගීත් එක්නැලිගොඩව අතුරුදහන් කළ නමුදු අන්වර්ථ නාමයකින් ලියූ විමල් ධීරසේකරට ජීවත්වීමේ වාසනාව තවම ලැබී තිබේ. මහාචාර්ය විජේසූරිය මහතා දේශපාලන විචාරයේ යෙදුනේ රාජපක්ෂ රෙජීමයේ අවසන් කාලයේදී බව අපගේ මතකයයි. මහාචාර්ය තුමා ඊට පෙර විචාරයේ යෙදුනේ සිංහල සාහිත්‍ය සම්බන්ධයෙන් සහ ලාංකීය සමාජයේ අඩුපාඩු සම්බන්ධයෙන් පමණි.

සාර්ථක සාහිත්‍ය දිවියක ද, සාර්ථක වෘත්තීය දිවියක සහ සාර්ථක ප්‍රකාශන සමාගමක ද හිමිකරුවෙක් වූ සරත් විජේසූරිය මහාචාර්යතුමන්ට ලංකාවේ ගඳ ගහන දේශපාලනය සම්බන්ධයෙන් මැදිහත්වීමට අත්‍යන්තයෙන්ම බල කෙරෙන්නේ  පැවැති රාජපක්ෂ රෙජීමයේ බිහිසුණු සහ අනර්ථකාරීභාවය නිසාම බව අපගේ මතයයි. එවන් යුගයක තම සැබෑ නමින් පෙනී සිටි මහාචාර්යතුමන්ට මලිත් ජයතිලක කවර තරමේ ගෝපයියෙක්ද?

මලිත් ජයතිලක නමැති ජාතික ලැයිස්තු ‘නිකමා‘ මන්ත්‍රීට  (අප ඔහුව ‘නිකමෙක්‘ ලෙස හඳුන්වන්නේ, වසර දෙකක් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන මුදල් කාබාසිනියා කරමින් සිටියද ජාතික වැදගත් කමකින් යුතු කිසිදු ප්‍රකාශයක්, ප්‍රශ්නයක් ඔහු මේ දක්වා  පාර්ලිමේන්තුවේදී නගා නැති නිසාය.) එක් එක් ලේඛකයන්ගේ ලේඛන ශෛලීන් ගැන සාමාන්‍ය හෝ නිරීක්ෂණයක් තිබේ නම් විමල් ධීරසේකර යනු මහාචාර්ය සරත් විජේසූරිය යැයි කිසිසේත්ම හැඟීමක් ඇති විය නොහැකිය. ඒ දෙක එතරම්ම වෙනස් ය. අවශ්‍ය අයෙකුට ලංකා ඊ නිව්ස්හි විමල් ධීරසේකරගේ ලිපි එකතුව වෙනම තිබෙන බැවින් එය පරිශීලනය කර සත්‍යාසත්‍ය භාවය හැදෑරිය හැකිය. එවැන්නක් තෝරා බේරා ගත නොහැකි මලිත් යනු තවම ලේඛනයේ මලිති බට්ටිච්චෙක් බව ඉහත සිද්ධියෙන් ඔහු විසින්ම පෙන්නුම් කර තිබේ.

අවසානයට කිව යුත්තේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ ප්‍රසිද්ධ දේශන ආදිය ලංකා ඊ නිව්ස්හි කොතෙකුත් පළ කළද මහාචාර්යතුමා විසින්ම අප වෙත එවන ලද ප්‍රථම ලියැවිල්ල මෙහි සඳහන් ලිපිය  බවයි.

අං ඇති සැම සතාම මීහරකෙක් නොවන නමුත් අං ඇති සෑම සතෙකුම අනින බව නම් සත්‍යයකි. මලිත් ජයතිලක නමැති නිකමාටද වසර 5 කට අං ඇවිත් ඇති බැවින් මහාචාර්යතුමා පරිස්සම් විය යුතුය. මන්ද යත් සතා දැන් නිකම්ම අනින්නට පටන් ගෙන තිබෙන නිසා ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *