රජයේ දේපොල හොරකම් කර රජසැප විඳිමින් සිටින සියලු දෙනාට ළඟදීම හිරබතේ රස විඳින්න සලස්සනවා – මහින්ද අමරවීර

(20.06.2017 – 16:40 +0530 – lankaenews.com)

පසුගිය කාලයේ රජයේ මහජන දේපොළ හොරකම් කරමින් රජ සැප විඳින පිරිසක් තවමත් අපි අතර ඉන්නවා. සමහර රජයේ නිලධාරින් වැඩ තහනමට ලක් වෙලා. ඔවුන් හිතනවා ඇති වැඩ තහනමට ලක් වුනාම සියලු දඩුවම් ලැබුනා, ප්‍රශ්නය එතැනින් ඉවරයි කියළා. නමුත් මම එකක් කියනවා. රාජ්‍ය දේපොළ කියන්නේ සඟ සතු කළ පුජා වට්ටියක් වගේ. ඒ අන්දමට මහජන හා රාජ්‍ය දේපොළ හොරකම් කරලා දැනට වැඩ තහනම් වෙලා ඉන්න කිසිදු නිලධාරියෙකුට වගේම දේශපාලනඥයින්ට අපි නිදැල්ලේ ඉන්න දෙන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා විතරක් නොවෙයි අවුරුදු හත අටකට හිරේ යවනවා. ඒ වගේම කොල්ල කාපු මහජන දේපොළ රාජ සන්තක කිරීමටත් අපි රජයක් වශයෙන් පසුබට වෙන්නේ නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සෙනසුරාදා (16) ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා :

‘‘මහවැලියේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයෙක් වශයෙන් කටයුතු කරපු නිලධාරියෙක් ගැන ලිපි ගොනු කිහිපයක් පසුගිය සතියේ කියවන්න ලැබුනා. ඔහු මහවැලි ඉඩම් කෝටි ගණනින් ඇතැම් පුද්ගලයින්ට විකුණලා අල්ලස් වශයෙන් කෝටි ගණනින් අරගෙන තිබුණා. දැන් ඒ නිලධාරියා වැඩ තහනමට ලක් වී සිටිනවා. එක ඉඩමක් විකුණන්න මේ පුද්ගලයා රුපියල් කෝටියක් අල්ලස් වශයෙන් අරගෙන තිබුනා. ඒක ගන්න ඉඩම මිල දී ගත්ත ව්‍යාපාරිකයාගේ ගෙදරට යන කොට ඒ ගෙදර BMW කාර් එකක් තිබිලා තියෙනවා.

මාත් හොයන්නේ මේ වගේ දෙයක් තමයි. මගේ පුතා හරි කැමැතියි මේ වගේ වාහනයකට. මට සල්ලි එපා මේ වාහනය දෙන්න කියළා ඒක ඉල්ලලා. BMW කාර් එකක් කෝටි දෙකහමාරක් විතර වෙනවා. අර ව්‍යාපාරිකයා කියළා තියෙනවා. ඕක මිලයි නේ කියළා. එතකොට අර නිලධාරියා කියලා තියෙනවා ඒකට කමක් නෑ. මම අරං දුන්න ඉඩම කෝටි ගණනක් වටිනවානේ කියළා.

එහෙම තමයි සමහර නිලධාරින් පසුගිය කාලයේ කටයුතු කර තියෙන්නේ. දැන් මේ නිලධාරියා වැඩ තහනම් වෙලා ගෙදර ඉන්නවා. ඒ වගේ තවත් නිලධාරින් ඉන්නවා හොරකම් කරපුවාට හරියන්න මගේ වැඩ තහනම් වුනානේ දැන් හරි, මගේ ප්‍රශ්න ඉවරයි කියළා.

හොරකම් කරපු දේවල් බුක්ති විඳ විඳ ඒ අයට නිදැල්ලේ ඉන්න අපි රජය වශයෙන් අපි ඉඩ දෙන්නෑ. ඒ සියලු දෙනාම හිරගෙදර ඇරළයි නවතින්නේ. මහජනතාවගේ දුක සේ හරි හම්බ කරන දේවල් හොරා කාළා මේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්ද කියළා මම අහනවා.

අනිත් එක තමයි. සමහරු කියනවා එහෙම නම් මේ රජයේ හොරුන්ට මොකද කරන්නේ කියළා. හොරකම නම් හොරකමම තමයි. ඒක අර රජයට මේ රජයට කියළා වෙනසක් නෑ. ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රජය යටතේ කිසිසේත්ම හොරුන්ට ඉඩක් නෑ. අපි මේ ආණ්ඩුව හැදුවේ පහුගිය රජයේ හොරු අල්ලලා මේ රජයේ හොරකම් කරන පුද්ගලයින් ආරක්ෂා කරන්න නොවෙයි. හොරුන්ට මේ යහපාලන රජය යටතේ කිසිදු ඉඩක් නෑ.

සමහරු කියනවා. කෝ හොරු ඇල්ලුවාද කියළා.. පසුගිය රජයේ හොරු ගැනත්, මේ රජයේ හොරු ගැනත් දැන් විමර්ශන කෙරෙමින් තිබෙනවා. ඒක අධිකරණමය ක්‍රියාමාර්ගයක්. අපි රජයක් වශයෙන් අධිකරණ කටයුතුවලට බලපෑම් කරන්නේ නැහැ. අධිකරණය විසින් නිසි වෙලාවට අවශ්‍ය තීන්දුව දේවි. එතකං අපි රජය විදියට ගත හැකි සියලු උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.

මහබැංකු බැදුම්කර සිද්ධිය ගැන මුලින්ම අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කලේ මම. දැන් ඒ විමර්ශන කටයුතු ඉතා හොඳින් කෙරෙනවා. ඒ අනුව බැදුම්කර මගඩියේ නියම තොරතුරු දැන් ඕනැවටත් වඩා හෙලිවෙමින් තිබෙනවා.. ඒ නිසා අපි රජය විදියට කිසිසේත්ම හොරු ආරක්ෂා කරන්නේ නැහැ. මහජන දේපොළ හොරකම් කරළා රජසැප විදින්න කවුරුන් හරි හිතනවා නම් ඒ අයට මං කියන්නේ ඒ අදහස කරුණාකරලා හිතෙන් අයින් කර ගන්න. හොරුන්ට නිසි දඬුවම් රජය වශයෙන් අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා’’ යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

– ඩබ්. එම්. ඩී. වන්නිනායක විසිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *