අස්ගිරියේ තර්ජනය හමුවේ ආණ්ඩුව මැර සිවුරුකරුවන්ට බිය වෙයි..! නිසි ලෙස කරණු ඉදිරිපත් නොකිරීමෙන් ඥානසාර නඩු තුනකින්ම ඇප මත නිදහස් වෙයි..!! විනිසුරු පොලිසියට දොස් කියයි..!!!

(21.06.2017 – 17:35 +0530 – lankaenews.com)

ගලගොඩඅත්තේ ඥනාසාරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් රටතුල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කරන බවට ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අනියමින් තර්ජනය කළ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමියන්ගේ තර්ජනයට බිය වූ බවක් පෙන්වන ආණ්ඩුව අද වරෙන්තුකාර ගලගොඩඅත්තේ ඥානසාර අධිකරණයට ඉදිරිපත් වූ පසු පොලිසිය මගින් නිසි ලෙස බී වාර්තා ඉදිරිපත් නොකිරීමෙන් සහ ඇප දෙනවාට විරුද්ධ නොවීමෙන් ඥානසාර ඇප මත නිදහස් කර යැවීමට කටයුතු කරන ලදී.

ඥානසාර අද උදේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූයේ පෙරදා වරෙන්තු නිකුත් කරන ලද නඩුව වෙනුවෙනි. ඒ පූජ්‍ය වටරැක විජිත හිමියන්ගේ මාධ්‍ය හමුවට කඩා වැදී කුරානයට අපහාස කිරීමේ නඩුව ය. එහිදී වරෙන්තුව ආපසු කැඳවූ අධිකරණය ඔහුව ඇප මත නිදහස් කර නඩුව අගෝස්තු 10 ට කල්තැබුවේය. ඉන්පසුව දැනුම් දීමක් අනුව ගලගොඩඅත්තේ ඥානසාර ප්‍රකාශයක් ලබා දීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට පැමිණියේය. රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාකර සාපරාධී බලහත්කිරීමේ යෙදුණැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා ගත් පොලිසිය ඔහුව යලිත් අධිකරණයට ඉදිරිපත් කෙළේය. එහිදී රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඥානසාරව ඇප මත නිදහස් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පවසා සිටියේ “රටේ කුමන තත්ත්වයක් ඇති වුවත් අධීකරණය ඊට වග නොකියන බවත් පොලිසිය නිසි පරිදි කරුණු වාර්තා නොකිරීම මත ඥානසාරට ඇප ලබා දෙන බවයි“ එහිදී පොලිසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා ඥානසාර ඇපමත නිදහස් කරනවාට විරුද්ධ වූයේ ද නැත. ඒ සම්බන්ධයෙන් පොලිසිය විමසූ මහේස්ත්‍රාත්වරයා මීට පෙර පල්ලි ගිනි තබන බවටත්, මුස්ලිම් පවුල් මරා දමන බවටත් ඥාණසාර විසින් සාහසික ප්‍රකාශ සිදුකළ බවට පොලීසියම මීට වාර්තා කර තිබුණු බවත් සැකකරු විසින් සිදුකළ එවැනි බරපතළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ඇති භයානකත්වය හඳුනා තමන් විසින් රාත්‍රී 12 ට පමණ අවදිව නියෝග ලබාදුන් බවත් සිහිපත් කරමින් අද දිනයේ සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය විරුද්ධත්වයක් නොමැත්තේ මන්දැයි විමසා සිටියේ ය. සාමාන්‍ය සැකකරුවන් වෙනුවෙන් පොලිසිය මේ ආකාරයට ක්‍රියා නොකරන්නේ මන්දැයි විමසූ මහේස්ත්‍රාත්වරයා පොලිසියේ ක්‍රියා පිළිවෙත කෙරෙහි අප්‍රසාදය පළ කෙළේය. ඉන්පසුව පොළොන්නරුව කින්නවේල්පට්ටි හෝ වේරගොඩැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වා මුස්ලිම් ජනතාවට අපහාස කළැයි චොදනා නගමින් කොළඹ ප්‍රධාන මහසේත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට ද ඉදිරිපත් වූ ඥානසාර එහිදී ද රුපියල් 10000 ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය. ලාල් රණසිංහ බණ්ඩාර විනිසුරුවරයා ඇප ලබා දෙමින් කියා සිටියේ ඥානසාර ඉදිරියේදී ජාතීන් අතර අසමගිය වර්ධන වන ආකාරයේ වෛරීය ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බව හා එසේ කරනු ලැබුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවයි.

කෙසේ වෙතත් මේ නඩු තුනම අධිකරණයට අපහාස කිරීමේ නඩුව නොවේ. එය විභාග වන්නේ අභියාචනාධිකරණයේ ය. එම නඩුවේදී මෙතෙක් ඥානසාර විවිධ හේතු දක්වමින් අධිකරණයට ඉදිරිපත් වීම මග හැර සිටි නමුත් වරෙන්තු නිකුත් කෙළේ නැත. ලබන නඩුවාරයට ඉදිරිපත් නොවුනහොත් වරෙන්තු නිකුත් කරන බව අධිකරණය දන්වා තිබේ.

අසනීපයෙන් පෙළෙන බව කියමින්ද, ජීවිත තර්ජන තිබෙන බව කියමින්ද අධිකරණයට ඉදිරිපත් නොවී අත් අඩංගුවට පත් නොවී සිටි ඥානසාර සියළු අසනීප සුවවී ජීවිත තර්ජන අහවර වී ඇප ලබා යන ගමන් මාධ්‍යයට කියා සිටියේ “මෙතෙක් තමන් නැගූ ප්‍රශ්න දැන් මහානායක හිමිවරුන්ට බාර බවයි“

ඒ අනුව ඊයේ අස්ගිරි මහානායක හිමි ගේ නිවේදනයත් අද ඥානසාර අධිකරණයට බාර වීමත් ආණ්ඩුව නිසි ලෙස කරුණු වාර්තා නොකර ඇප ලබා ගැනීමට ඉඩ දීමත් සියල්ල එකම නාට්‍යයක ජවනිකා පෙළක් බව දැනුම් තේරුම් ඇති මහජනතාවට වැටහී යනු ඇත. අවසානයේ රටේ ආගමික ගැටුම් සමථයකට පත් වීමක් සිදුවන්නේ නම් ප්‍රශ්නයක් නැත.

(බේබදු මැර සිවුරුකාරයෙකු බේරාගැනීම සඳහා විලිලැජ්ජා නැතිව පෙරට ආ අස්ගිරි මහනායක හිමියන්ගේ සැබෑ බෞද්ධයන් කම්පා කළ නිවේදනය වෙනත් තැනෙක පළවනු ඇත)

++++++++++++++++++++++++++++++

ඥානසාර හිමිට යළිත් ඇප – මහේස්ත්‍රාත් කනගාටුවෙයි
(21.06.2017 – 15:41 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇප මත මුදා හැර තිබේ.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බවට ඥානසාර හිමිට චෝදනා එල්ල වී තිබුණි.

මේ සම්බන්ධයෙන් උන්වහන්සේ අද (21) පෙරවරුවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව උන්හවන්සේ අත්අඩංගුවට ගැනුණු බව වාර්තා වෙයි.

පසුව ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ උන්වහන්සේ ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විනිසුරුවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ මීට පෙරාතුව පල්ලි ගිනි තබන බවටත්, මුස්ලිම් පවුල් මරා දමන බවටත් උන්වහන්සේ විසින් සාහසික ප්‍රකාශ සිදුකළ බවට පොලීසිය විසින් මීට පෙරාතුව වාර්තා කර තිබුණු බවයි.

සැකකාර හිමියන් විසින් සිදුකළ එවැනි බරපතළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ඇති භයානකත්වය හඳුනා තමන් විසින් රාත්‍රී 12 ට පමණ අවදිව නියෝග ලබාදුන් බව සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා එහෙත් අද දිනයේ සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය විරුද්ධත්වයක් නොමැත්තේ මන්ද යන්න විමසා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ නිම කර ඇති බැවින් ඇප ලබාදීමට පොලීසියේ විරුද්ධත්වයක් නොමැති බව එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කළ අතර මහේස්ත්‍රාත්වරයා යළි විමසා සිටියේ සාමාන්‍ය සැකකරුවන් සම්බන්ධයෙන් පොලීසිය මේ ආකාරයෙන් කටයුතු නොකරන්නේ මන්ද යන්නයි.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා මහතා එහිදී විනිසුරුවරයාට පිළිතුරු දෙමින් කියා සිටියේ සාමාන්‍ය සැකකරුවන්ටද, ඉදිරියේදී ඒ ආකාරයෙන් ක්‍රියා කිරීමට උත්සාහ ගන්නා බවයි.

පොලීසිය අද පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව පවසා සිටි අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරිපත්වූ කරුණු සලකා බලා ඥානසාර හිමියන්ට රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප සහ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරලීමට නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

නඩු විභාගය අගෝස්තු 04 තෙක් කල් තබන ලදී.

මේ අතර අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඉකුත් 15 දා අධිකරණය විසින් උන්වහන්සේට වරෙන්තු නිකුත් කර තිබූ අතර එහිදී උන්වහන්සේට එල්ල වූ චෝදනා වූයේ පූජ්‍ය වටරැක විජිත හිමියන්ගේ මාධ්‍ය හමුවකට කඩා වැදී බාධා කිරීම හා කුරානයට අපහාස කිරීමයි.

අද දිනයේ (21) නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයට පෙනී සිටීමෙන් අනතුරුව උන්වහන්සේ වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥයින් පෙන්වා දුන්නේ තම සේවා දායකයට ජීවිත තර්ජන පැවතීම හේතුවෙන් ඉකුත් 15 දා අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් උන්වහන්සේ පූර්ව ඇප මත නිදහස් කරලීමටත්, නඩුව අගෝස්තු 9 වන දින කැඳවීමටත් නියෝග කිරීමෙන් පසු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප නියම වී කෙරිණි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගනු ලැබූ ඥානසාර හිමියන්, පොළොන්නරුවේදී ජාතීන් අතර අසමගිය ඇතිකරවන හා සාමය කඩවන අන්දමට ප්‍රකාශ නිකුත් කිරීම හා හැසිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රු.10,000 ක මුදල් ඇප සහ රු.ලක්ෂ පහ බැගින්වන ශරීර ඇප දෙකක් මත නිදහස් කරලීමට නියෝග කෙරිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විනිසුරුවරයා මෙහිදී කියා සිටියේ ජාතීන් අතර අසමගිය වර්ධන වන ආකාරයේ වෛරීය ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බව හා එසේ කරනු ලැබුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවයි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (21) අධිකරණයට පැමිණ බාරවීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරිණි. මේ උන්වහන්සේ අධිකරණයට පැමිණි අවස්ථාවයි :

ධර්ම දේශනාවකට නෙවෙයි!

++++++++++++++++++++++++++++++

අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නම්, ඒත් ඥානසාර හිමි බුද්ධ ශාසනයට අපහාස කළා ; ආගමික ගැටුම් ඇති කළා – ඇමැති එස්.බී.
(21.06.2017 – 20:45 +0530 – lankaenews.com)

ඥාණසාර හිමියන්ට ගරු සරු නැතිව කථා කළා කියා තමාට අස්ගිරි පාර්ශවයේ සංඝ සභාව විරෝධය පළ කර තිබූ අතර තමා ඒ ගැන අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්ගෙන් හා උත්තරීතර සංඝ සභාවෙන් සමාව ගන්නා අතරම ඥානසාර හිමියන්ගේ ක්‍රියා වලින් ආගමික ගැටුම් වලට බලපෑ බවත් බුද්ධ සාශනයට අපහාසයක් සිදුවු බව පිලිගත යුතු යැයිද තමාට ඥානසාර හිමියන් ගැන ගෞරවය අඩු වූයේ එනිසා යැයිද සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.

ඊයේ අස්ගිරි මහානායක හිමිගේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා එසේ පැවසුවේ අද (21) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

“ගරුතර ඥාණසාර හාමුදුරුවන්ගේ නම විතරක් පාවිච්චි කිරීමත්, උන් වහන්සේට ගරුසරු නැතිව කතා කිරීම ගැන තමා අස්ගිරි නහිමියන් සඳහන් කර තිබුනේ. ඒ ගැන සමාව ගන්න අතරම මම කියන්න කැමතියි ඥාණසාර හිමියන් පිටරටවලදී හා මෙරටදී කළ සමහර දේවල් නිසා උන් වහන්සේ ගැන මගේ තිබූ ගෞරවය අඩුවුනා” යැයි සඳහන් කළ ඇමැතිවරයා “ඥාණසාර හිමියන් බේරුවල සිදුවූ සුළු සිද්ධිය බරපතල දෙයක් බවට පත්කරපු සාක්ෂි අපි දැක්ක. අස්ගිරි පාර්ශවය ඥාණසාර හිමියන් ගැන කියන දේම තමා අපිත් කියන්නේ. උන් වහන්සේගේ සමහර මතවාද වලට අපි එකඟයි. ඒත් උන් වහන්සේගේ හැසිරීමට අපි එකඟ නෑ“ ලෙසද පැවැසුවේය.

ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී මෙසේද පැවැසීය :

මෙරට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කළකිරවන්න නොයෙකුත් අන්තවාදී සංවිධාන වැඩ කරනවා, නොයෙකුත් ප්‍ර‍චාර ගෙනියන බව අපි දන්නවා. අපි ඊට විරුද්ධව වැඩ කරනවා. අපි මහ ජාතිය හැටියටත්, උතුම් බෞද්ධ ජනතාව හැටියටත් ප්‍ර‍වේශම් විය යුතුයි වෙනත් ජාතීන්ට , ආගම් වලට හිරිහැරයක් නොවන විදිහට සංහිඳියාවෙන් කටයුතු කරන්න.

අපි දන්නවා සමහර සිදුවීම් ජාතිවාදී, ආගම්වාදී ගැටුම් බවට පත් කරන්න ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශ බලපෑවා. ඒ වගේම උන් වහන්සේගේ ඇතැම් හැසිරීම් නිසා අපේ උතුම් බෞද්ධ ශාසනයට අපහාසයක් සිදු උනා.

ඒ ගැන තමයි අපේ තියෙන සැලීම. අපේ නායක හිමිවරුන්ට අපි ආදරෙයි. බුද්ධාගම කියන්නේ අපේ ලේත් එක්ක තියෙන බැඳීම. අපි පංසල් විහාර එක්ක ජීවත්වෙන මිනිස්සු. ඉතින් අපේ ශාසනයට, හිමිවරුන්ට අවැඩක් වෙනවනම් අපි ඊට විරුද්ධව කටයුතු කරනවා. ඒක තමා මගේත්, ඩිලාන්ගේත්, රාජිතගේත් ප්‍ර‍කාශ වල හරය.“

එස් බී දිසානායක මහතා මේ සම්බන්ධයනේ කළ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් දැක්වේ :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *