ගෝඨා අත් අඩංගුවට ගන්න නොදෙන නමුත් ලක්ෂාන්ගේ කෝට් ගලවන්න හදන ඩීල්දාසට එරෙහිව මානව හිමිකම් ක්‍රියාධරයෝ වීදි බසිති

(22.06.2017 – 18:30 +0530 – lankaenews.com)

ඩීල්දාස 2010 දීත් මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න පනින්න හදලා

යහපාලන ආණ්ඩුවේ ආරම්භයේ සිටම එහි පිළිලයක් වූ අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ හෙවත් ‘ඩීල්දාස‘ විසින් තමන්ද නීතිඥයෙකුව සිටියදී තවත් රටේ ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු වන ලක්ෂාන් ඩයස් මහතාගේ කෝට් එක ගැලවීමට යෑමට විරෝධය පාමින් සිය ගණන් මානව හිමිකම් ක්‍රියාධරයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඊයේ (21) කොළඹ දුම්රිය පොල ඉදිරියේ දී විරෝධයක නිරත වූහ.

‘ආගමික නිදහසට, භාෂනයේ නිදහසට මෙන්ම සහජීවනයට ඇමැති විජයදාස එල්ල කළ ප්‍රහාරයට විරෝධය‘ යනුවෙන් සඳහන් කළ දැවැන්ත බැනරයක් පෙරටු කර ගත් මානව වාදීහු “විජේදාස කාගේ දාස ද?“ , “ජාතිවාදී අසූචි වලේ විජේදාස සින්දු කියයි“, “ජාතිවාදය පරාජය කරමු“, “ලක්ෂාන්ගේ ප්‍රකාශන නිදහස තහවුරු කරනු“ ආදී සටන් පාඨ කියමින් විරෝධය පෑහ.

ජාතිවාදයට විරුද්ධ සාධාරණය බලාපොරොත්තු වෙන ජනතාවට යන්න තියෙන්නේ සිරිසේන-විජේදාසලාගේ දේවාලයට බවත් එහි යද්දී එම දේවාලය හිස මත කඩා වැටෙනවා නම් දේවාලය ඉන්නේ ජාතිවාදීන්ගේ පැත්තේ නම් කරන්න කියන්නේ කුමක්දැයි විරෝධයට සහභාගී ව සිටි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රශ්න කෙළේය.

තමන් අධිකරණ ඇමැතිව සිටින තුරු ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගන්නට දෙන්නේ නැතැයි කියන විජයදාස රාජපක්ෂ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට උරදුන් ලක්ෂාන් ඩයස් වැනි නීතිඥවරුන්ගේ කෝට් ගැලවීමට යෑම කවර නම් අරුමයක් ද? මොහු මීට පෙර යහපාලන ආණ්ඩුව ගෙන ඒමට උරදුන් ලංකා ඊ නිව්ස් කතුවරයා ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කර ලංකාවට කුදලා ගෙන විත් හිරේ දමන බවට තර්ජන කරමින් ද, සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිවද, සරත් ෆොන්සේකා මහතාට එරෙහිවද පිස්සෙකු සේ ක්‍රියා කෙළේය. තව ඔහුට ඉතිරිව ඇත්තේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට තම පක්ෂය මෙහෙයැවූ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ක්‍රියා කිරීම පමණි. ලඟදීම ඔහු එයද සිදුකරනු නොඅනුමාන ය. මන්ද යත් දැනටමත් ඔහු මැදමූලන රාජපක්ෂලා සමග එක කකුලක් තබාගෙන සිටින බැවිනි.

2010 වසරේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයගත් පසු මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න යැයි කියමින් විපක්ෂයේ සිට ආණ්ඩුවට බල්ටි ගැසූ පිරිස අතර විජයදාස රාජපක්ෂ ලිස්සා ගියේ අනූ නවයෙනි. මන්ද යත් දෑත් ශක්තිමත් කරන්න එනවා වුවත් විජයදාස රාජපක්ෂට දිය හැක්කේ ඇමැති ධූරයක් නොව නියෝජ්‍ය ඇමැති ධූරයක් බවත් වසරකට පසු ඇමති ධූරයක් දිය හැකි බවත් මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දුන් නිසා පනින්න බලාගෙන සිටි විජයදාස රාජපක්ෂ විපක්ෂයේම රැඳුනේ ඇමැති කමක් නොලැබෙන නිසා ය. එදා ඇමැති ධූරයක් දෙන්නම් යැයි කීවා නම් විජයදාස රාජපක්ෂ එක් පයක් නොව අත පය හතරම තබා ඉන්නේ මහින්ද රාජපක්ෂලා සමග ය. 2010 දී විජයදාසගේ බල්ටි සූදානම පිළිබඳ සාක්ෂි ලංකා ඊ නිව්ස් සතුය.

(සේයාරූ සහ වීඩියෝව රයිට් ටු ලයිෆ් අනුග්‍රහයෙනි)

වීඩියෝව පහතින් :

++++++++++++++++++++++++++++

දේවස්‌ථාන 166 කට හානි කළැයි බොරු කියූ නීතිඥවරයාගේ පට්‌ටම ගලවන වැඩ ඇරැඹේ
(22.06.2017 – divaina.com)

දේවස්‌ථාන 166 කට පහර දී අලාභහානි කළ බවට අසත්‍ය ප්‍රකාශයක්‌ සිදුකළ නීතිඥවරයාගේ නීතිඥ තනතුර ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශ උසස්‌ නිලධාරියෙක්‌ ‘දිවයින’ට ඊයේ (21 දා) පැවැසීය.මෙම අසත්‍ය ප්‍රකාශ කළ නීතිඥයා එය පැය 24 ක්‌ ඇතුළත නිවැරැදි කර සමාව නොගන්නේ නම් ඔහුගෙන් නීතිඥ වෘත්තිය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සිදුකළ ප්‍රකාශයට අනුව අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කීය.

ජාතීන් අතර ගැටුමක්‌ ඇති කිරීම සඳහා අසත්‍ය ප්‍රකාශ කළ නීතිඥවරයාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ නීතිපතිවරයා ගේ උපදෙස්‌ ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන මේ වන විට සකස්‌ කරමින් සිටින බවද එම නිලධාරියා පැවැසීය.

මෙවැනි සිද්ධියක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ මැල්කම් රංජිත් කාදිනල්තුමන් වෙතද වාර්තා වී නැතැයි හෙළි වී තිබෙන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *