තැපෑලේ අඛණ්‌ඩ වර්ජනය කිසිසේත්ම නතර කරන්නේ නෑ ; තර්ජනයකර වර්ජනය නැවැත්වීමට හැදුවොත් එයටත් මුහුණදීමට සූදානම් – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති කැඳවුම්කරු කියයි

(22.06.2017 – divaina.com)

අඛණ්‌ඩ තැපැල් වර්ජනය කිසිසේත්ම නතර නොකරන බවත් තර්ජනය කර තැපැල් වෘත්තීය සමිති මර්දනය කිරීමට සහ අඛණ්‌ඩ වර්ජනය කඩාකප්පල් කිරීමට ආණ්‌ඩුව කටයුතු කරන්නේ නම් එය පරාජය පත්කිරීමට තැපැල් සේවකයන් සූදානම් යෑයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.

අපේ ඉල්ලීම් දිනාගෙන මිස තැපැල් සටන අපි නතර කරන්නේ නැහැ. මෙම මස 26 වැනිදා රට පුරා පිහිටි සියලු තැපැල් කාර්යාල වසාදමා අඛණ්‌ඩ තැපැල් වර්ජනය අපි ක්‍රියාත්මක කරනවා යෑයි ද බණ්‌ඩාර මහතා පැවසීය.

තැපෑල රැකගැනීමට ආණ්‌ඩුවට අවශ්‍යතාවක්‌ තිබේ නම් මහනුවර, ගාලු කොටුව සහ නුවරඑළිය ඇතුළු තැපෑල සතු සම්පත් විදේශිකයන්ට විකුණන්නේ නැති බවට ලිත පොරොන්දුවක්‌ ලබාදිය යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය ෴

*****************************************

පේරාදෙණිය සරසවි ගිණුමකින් ලක්‌ෂ 320 ක්‌ ගත් නියෝජ්‍ය මූල්‍ය අධිකාරිවරයකු ගැන පරීක්‍ෂණ
(22.06.2017 – divaina.com)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ආයතනයේ ගිණුමකින් රුපියල් ලක්‌ෂ තුන්සිය විස්‌සක මුදලක්‌ ලබාගෙන දිගින් දිගටම සැඟව සිටින නියෝජ්‍ය මූල්‍ය අධිකාරිවරයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පරීක්‌ෂණ ආරම්භ කොට තිබේ.

මුදල් නිදහස්‌ කරගැනීමෙන් පසුව අදාළ නිලධාරියා විශ්වවිද්‍යාලයට නොපැමිණ මගහැර සිටින බැවින්, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මඟින් ද විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කොට ඇති බවත්, අදාළ නියෝජ්‍ය මූල්‍ය අධිකාරිවරයාගේ සේවය අත්හිටුවූ බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මඟින් රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමක්‌ පියවා එහි තිබූ රුපියල් ලක්‌ෂ 320 ක මුදල් වැඩි පොලී අනුපාතයක්‌ යටතේ, වෙනත් බැංකුවක තැන්පත් කරන බව පවසමින්, නියෝජ්‍ය මූල්‍ය අධිකාරිවරයා එම ආයතනයේ අධ්‍යක්‍ෂවරයාගේ අත්සනද ලබාගෙන ඇති බවද, පැවසේ. ඉකුත් 15 වැනි දින මෙම මූල්‍ය අපරාධය සිදුකොට ඇති බවද, මුදල් නිදහස්‌ කරගැනීම සඳහා අවශ්‍ය නියෝජ්‍ය ලේඛකාධිකාරිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇති බවද විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත ෴

****************************************

ඩොලරය රු. 155 ට නගී
(22.06.2017 – divaina.com)

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (21 දා) රු. 155 ද පසුකරගෙන ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 155.01 දක්‌වා ඉහළ ගිය අතර ඇමෙරිකානු ඩොලරයක පෙරේදා (20 දා) පැවැති වටිනාකම රු. 154.85 ක්‌ විය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *