පුදුමයි ඒත් ඇත්තයි..! තමන් වැටුප් ලබන සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අල්ලා ගැනීමට පක්ෂව වෛද්‍යවරු රෝගීන් බිලි දී අඛණ්ඩ වර්ජනයක..!

(22.06.2017 – 14:20 +0530 – lankaenews.com)

ජොස්තර පාදෙණිය ප්‍රමුඛ කණ්ඩායම නායකත්වය දෙන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යනු කෙතරම් රාජ්‍ය විරෝධී සහ මහජන විරෝධී ත්‍රස්ත සංවිධානයක්ද යත් තමන් සේවය කරන, තමන්ට වැටුප් ගෙවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ත්‍රස්තවාදී සිසු කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන එහි සේවකයන් පන්නා දමා පැය ගණනාවක් එය යටත් කරගෙන සිටීමට පක්ෂව රෝගීන්ගෙන් පළි ගනිමින් අද උදෑසන සිට අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ප්‍රථමයෙන් එක් දින වර්ජනයක් ලෙස ආරම්භ කරන ලද වර්ජනය දහවල් පැවැති සාකච්ඡාවකින් පසු අඛණ්ඩ වර්ජනයක් දක්වා දිගු කර තිබේ.

පාදෙණියලා පවසන්නේ අමාත්‍යාංශ ගොඩනැගිල්ල මුදා ගැනීම සඳහා පොලිසිය සිසුන්ට එල්ල කළ බැටන් ප්‍රහාරයට තමන් විරුද්ධ බැවින් වර්ජනය සිදුකරන බවයි.

මෙම හදිසි තීරණය ගෙන ඇත්තේ ද වෘත්තීය සමිති සම්ප්‍රදායන් බල්ලාට දමා කිසිදු බලධාරියෙකුට දැනුම් නොදී ඊයේ රාත්‍රියේ ය. ඒ අනුව අද උදෑසන සිට දිවයින පුරා රෝහල් වල වෛද්‍යවරු වර්ජනය ආරම්භ කළහ. දොස්තරලා වර්ජනයක් බව රෝගීන් දන්නේ අද උදෑසන රෝහලට ගිය පසුව ය.

ගං වතුර ව්‍යසනය නිම වනවාත් සමග පැතිර යන වසංගත තත්ත්වයන් මත හැට දහසකට අධික පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඉන් දෙසීයයකට ආසන්න පිරිසක් මිය ගොස් සිටියදී සහ රටම ඩෙංගු වසංගතයට ගොදුරු වීමේ අවදානමක තිබියදී මේ තක්කඩියන්ට මිනිස් ජීවිත වලට වඩා සයිටමයක් ලොකු වී තිබීම පුදුමය. නින්දිතය. තිරිසන් ය.

මේ සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවක් කැඳවා ඇති අතර වෛද්‍ය වර්ජනය සහ සයිටම් විරෝධීන්ට පොලිස් පහර දීම සම්බන්ධයෙන් අද සවස පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්ද පැවැත්වේ.


(සේයාරුවේ දැක්වෙන්නේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් අසරණ වූ රෝගීන් පිරිසකි . සේයාරුව ලංකාදීපයෙනි)

++++++++++++++++++++++++++++++

වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරනවා
(22.06.2017 – 14:34 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණයට සිදුකළ පහරදීම හා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරීමේ අරමුණින් අද (22) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය තිබුණි.

ඒ පිළිබඳව වැඩිදුර තීරණ ගැනීම සඳහා අද දහවල් 12.00 ට එම සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වුණු අතර බලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම් හා වගකීම් විරහිත ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය.

වැඩවර්ජනය අවසන් කිරීමට අදාළ තීන්දු තීරණ ගැනීමේ බලය සංගමයේ විධායක සභාව වෙත පැවරීමට ද එහිදී තීරණය කර තිබේ.

කෙසේවෙතත් වැඩවර්ජනය ක්‍රියාත්මකවන කාලය තුළ සියලු රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර සියලු ඩෙංගු ප්‍රතිකාර කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.

+++++++++++++++++++++++++++++

දොස්තර වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා
(22.06.2017 – 12:15 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

ඊයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයට සිදුකළ පහරදීම සහ මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (22) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

කෙසේවෙතත් වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

අද පෙරවරුවේ ක්‍රියාත්මක කළ වර්ජනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශය පරිශ්‍රයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ට වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද කළ බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

කෙසේ වෙතත් අද දෙරණ කළ විමසීමකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියා පැවසුවේ ඊයේ ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමේදී ප්‍රමාදයන් සිදුවූ බවයි.

පැය තුනක කාලයක් රෝහලට ඇතුළත්වීම සඳහා රැදී සිටීමෙන් අනතුරුව එම සාමාජිකයින් නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බව එම නිලධාරියා පැවසුවේය.

++++++++++++++++++++++++++++++

අමාත්‍යාංශය තුළ සිසුන් සිරකර පහර දුන්නා
(22.06.2017 – 13:24 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ඇතුළු වු විශ්වවිද්‍යාල සිසුන් රජයේ දේපළවලට හානි සිදු කර ඇතැයි රජය චෝදනා කල ද සිදුව ඇත්තේ සිසුන් අමාත්‍යාංශය තුළට පැමිණී විට අමාත්‍යාංශයේ ගේට්ටු වසා පොලීසිය විසින් පහර දීම බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

එම ප්‍රහාරයට හා සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය සංගමය විසින් දියත් කරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

මෙම ප්‍රහාරය ඉතාම දේවේෂ සහගතව සිදු කරනු ලැබු ක්‍රියාවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසි විටෙකත් දේපළවලට සිදු වු හානිය මුල් කර ගනිමින් මෙහි වගකීම් පැහැර හැරිය නොහැකි බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අද උදෑසන 8 ට ආරම්භ වු වැඩ වර්ජනය කොපමණ කාලයක් සිදු කරන්නේ ද යන්න පිළිබඳව අද දහවල් සියලු ශාඛා සමිති රැස්ව හදිසි මධ්‍යම කාරක සභාවේ දී තීරණය කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය අමාත්‍යාංශයට වු හානිය මිලියන ගණනක්
(22.06.2017 – 17:12 +0530 – sinhala.adaderana.lk)

මාලඹේ සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනේ නියුතු සිසුන් ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඇතුළු වී සිදු කළ කලබලකාරී ක්‍රියාදාමයන් හේතුවෙන් අමාත්‍යාංශය ඇතුළත දේපළවලට මෙන්ම වාහනවලට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (22) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම අවස්ථාව සඳහා 4000 කට ආසන්න පිරිසක් එක්ව සිටි බවත් මෙම ක්‍රියාවලිය පිටුපස යම් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වූ බවත් මේ සඳහා වෛද්‍ය සිසුන් පමණක් නොව වෙනත් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ද එක්ව සිටි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

මෙම පිරිස පිළිබඳ සාක්ෂි කැමරාවල සටහන් ව ඇති බැවින් ඉදිරියේදී රාජ්‍ය දේපළවලට හානි කිරීමේ වරද වෙනුවෙන් නීතිමය පියවර ගනු ලබන බව ද රාජිත සේනාරත්න මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

එමෙන් ම මේ වන විට රට තුළ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ඩෙංගු රෝගය බහුලව පවතින ප්‍රදේශ කරා වෛද්‍යවරු 150 ක ප්‍රමාණයක් පිටත් කර යාවා ඇති බවයි.

මුල් අවදිය වන විට ඩෙංගු මරණ 1% ක් පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට ඒ තත්ත්වය 0.3% දක්වා අඩුකර ගැනීමට හැකිවී ඇති බවද පෙන්වා දුන්නේය.

එමෙන් ම අද වන විට රජයේ රෝහල්වල සියලු ම ඖෂධ හිඟයකින් තොරව ලබාදෙන අතර, විශාල වශයෙන් සෞඛ්‍ය නිෂ්පාදන හා සේවාවල මිල පහත දමා ඇති බවත්, මෙවන් තත්ත්වයක් යටතේත් මෙවැනි ලෙස හැසිරීම වඩාත් කණගාටුවට කරුණක් වන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය ෴

++++++++++++++++++++++++++++++

රජයේ දේපළට හානි කිරීම-පුළුල් විමර්ශනයක් ඇරඹෙයි
(22.06.2017 – 16:46 +0530 – sinhala.adaderana.lk)

උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතරතුර සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිලි පරිශ්‍රයට නිති විරෝධීව ඇතුළු වී රජයේ දේපළ වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ එම විමර්ශනය ක්‍රියාත්මක බවයි.

මේ වන විට සිදුවූ දේපළ හානි සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඇති අතර ආවේක්ෂණ කැමරා සමීප ඡායාරූප හා අනෙකුත් සාක්ෂි උපයෝගීකරගනිමින් එම නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගැනීමට පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එම පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *