ඩෙංගු කීටයා කන මදුරුවෙක්‌ හඳුන්වා දෙයි – වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂිකා වෛද්‍ය ලක්‌ෂ්මී මාරතිලක

(23.06.2017 – divaina.com)

ප්‍රදේශ රැසක ව්‍යාප්ත කලා

ඩෙංගු කීටයන් ආහාරයට ගන්නා මල්පැණි සහ ශාක යුෂ උරාබොන මිනිසුන්ගේ ලේ උරා නොබොන ටොක්‌සොරින් කයිට්‌ස්‌ නැමැති මදුරුවා ප්‍රදේශ කිහිපයකට මුදාහැර ඇති බවත් ඉන් ඩෙංගු මර්දන කටයුතු සඳහා වැඩි දායකත්වයක්‌ ලබාගත හැකි බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂිකා වෛද්‍ය ලක්‌ෂ්මී මාරතිලක මහත්මිය පැවසුවාය.

දැනට මෙම මදුරුවන් මහනුවර කුණ්‌ඩසාලේ, මීරිගම සහ කණ්‌ඩලම ප්‍රදේශවලට මුදාහැර ඇති බවත් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂවරිය මෙම අදහස්‌ පැවසුවේ ඊයේ (22 දා) එම ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මදුරු ව්‍යාපෘතිය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී හා කීට විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ මෙම මදුරුවාගේ කීටයන් විසින් ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක්‌ දක්‌වන බව අනාවරණය වූ බවය. එහිදී විශේෂඥ වෛද්‍යවරිය මෙසේ ද කීවාය.

ඩෙංගු කීට භක්‌ෂක මෙම මදුරු කීටයාගේ කීට අවස්‌ථාව මාස එකහමාරක්‌ පමණ පවතිනවා. ඩෙංගු කීටයාගේ කීට අවස්‌ථාව පවතින්නේ දින තුනක පමණ කාලයක්‌. ඒ නිසා ඩෙංගු කීට භක්‌ෂකයන්ට තම කීට අවධියේදී ඩෙංගු කීටයන් වැඩි ප්‍රමාණයක්‌ ආහාරයට ගැනීමේ අවස්‌ථාව පවතිනවා. එය මෙම මදුරුවාගේ තිබෙන සුවිශේෂී අවස්‌ථාවක්‌. මෙම කීටයන් මදුරුවන් බවට පත් වූ විට මල්පැණි සහ ශාක යුෂ පමණයි ආහාරයට ගන්නේ. ඔවුන් මිනිසුන්ගේ ලේ උරා බොන්නේ නැහැ.

දැනට මෙම මදුරුවන් බෝවීම සිදුවන්නේ ගහකොළ සහිත ග්‍රාමීය ප්‍රදේශවලයි. ඉදිරියේදී ටයර්, වැහි පීලි වැනි ජලය රැඳෙන සහ ඩෙංගු මදුරු කීටයන් බහුලව ගැවසෙන ස්‌ථානවල බෝ කිරීම සඳහා ඔවුන්ව හැඩ ගැස්‌වීමට පර්යේෂණ කරගෙන යනවා.

හැබැයි මේ මදුරු කීටයන් මගින් පමණක්‌ ඩෙංගු මදුරුවන් මර්දනය කරන්න බැහැ. මෙය ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ එක්‌ කොටසක්‌ පමණයි.

මෙම මාධ්‍ය හමුවට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ද සහභාගී විය ෴

*****************************************

පානදුර – මොරටුව අතරදී “තව පොඩ්ඩෙන්” දුම්රිය අනතුරක්‌
(23.06.2017 – divaina.com)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර සහ මොරටුව දුම්රිය ස්‌ථානය අතර පිහිටි ප්‍රධාන රේල් පිල්ලේ අඩියක පමණ කොටසක්‌ කැඩි යැම හේතුවෙන් ඊයේ (22 දා) පෙ.ව. 11.30 ට පමණ සිදුවීමට ගිය මාරක දුම්රිය අනතුරක්‌ වළක්‌වා ගැනීමට දුම්රියේ රියෑදුරා සමත් විය.

මෙම සිද්ධියට මුහුණපෑවේ දකුණු කළුතර දුම්රිය ස්‌ථානයේ සිට මරදාන දක්‌වා පෙ.ව. 10.45 ට පිටත් වූ මන්දගාමී දුම්රියයි. පානදුර දුම්රිය ස්‌ථානය පසුකර ඉදිරියට ගමන් කරන විට දුම්රියේ සියලු මැදිරි මගීන්ගෙන් පිරී තිබුණි.

දුම්රිය රියෑදුරාගේ දක්‌ෂතාවය හේතුවෙන් රේල් පිල්ල කැඩී ගිය ස්‌ථානය අසලදීම දුම්රිය නතර කර ගැනීමට හැකි වුණි.

ඉන්පසු දුම්රියේ සිටි මගීන් විශාල පිරිසක්‌ බිමට බස්‌සවා රේල් පිල්ල කැඩී ගිය ස්‌ථානයට පොල් ලෙලි දෙකක්‌ තබා දුම්රිය සෙමෙන් සෙමෙන් ඉදිරියට ගෙන මරදාන දක්‌වා දුම්රිය රැගෙන ඒමට රියෑදුරාට හැකි විය.

දුම්රිය සේවකයන්ගේ නොසැලකිල්ල සහ දුම්රිය මාර්ගය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වී තිබෙන බව කොරලවැල්ල ප්‍රදේශයේ ජනතාව “දිවයින” ට පැවසූහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *