රට යන අත : ආණ්‌ඩුවටත් උණ…

(23.06.2017 – divaina.com)

රටේ වර්තමාන තත්ත්වය හා බෞද්ධාගම සම්බන්ධයෙන් අස්‌ගිරි මහා නාහිමියන් විසින් සිදුකළ ඓතිහාසික ප්‍රකාශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යොදවා ආණ්‌ඩුව සිදුකළ ම්ලේච්ඡ පහරදීම මෙරට දේශපාලන ක්‌ෂේත්‍රය තුළ මෙන්ම ජනතාව තුළ ද බලවත් තිගැස්‌මක්‌ ඇතිකර තිබේ.

අපේ රට යම්කිසි ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ පා සිටින ඕනෑම අවස්‌ථාවක පෙරට විත් එයින් රට මුදාගත්තේ මහා සංඝරත්නයයි. පසුගිය කාලය පුරා ආණ්‌ඩුවේ ඇතැම් පාර්ශ්ව වෙතින් බෞද්ධාගමට හා මහා සංඝරත්නය වෙත විවිධ ප්‍රකාශ මඟින් පහර ගසා තිබුණි. එහෙත් මේ දක්‌වා කිසිදු ප්‍රධාන පෙළේ භික්‌ෂුන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමෙන් වැළකෙනු දැකගත හැකිවිය. එහෙත් පසුගිය සති කීපය පුරා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරන දේශපාලනඥයන් හා යම් යම් පාර්ශ්වවල ප්‍රකාශ හමුවේ සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ නිකුත් කළහ.

ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂුන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියටත්, බෞද්ධ භික්‌ෂුන් වහන්සේටත් මුහුණදීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බවත් එය භික්‌ෂුන් වහන්සේ සතු ඓතිහාසික වගකීම පැහැර හැරීමක්‌ වනවා සේම, අනාගතයේ පිළියම් කළ නොහැකි ගැටලු රාශියකට අපට මුහුණදීමට එය තුළින් ඉඩකඩ සැකසෙන බවත් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවධානය යොමු කළ යුතු බව ද අස්‌ගිරි මහා නායක හිමිපාණන් ප්‍රමුඛ අස්‌ගිරි මහා සංඝ සභාව පැවසූහ.

සමස්‌ත භික්‌ෂු සමාජයම අවඥාවට ලක්‌කරමින් වාමාංශික යෑයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුන වැඩුන දේශපාලනඥයන් ද සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන කිසිදු ගෞරවයකින් තොරව භික්‌ෂුන් වහන්සේලා විවේචනය කරමින්, නම පමණක්‌ කියමින්, ආමන්ත්‍රණය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා නිවේදන හා ලිපි පළකිරීම් තරයේ හෙළාදකින බවද ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂුන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළකරන අතර මේ නිසා ඉදිරියේදී රට තුළ නොසන්සුන්කාරී පසුබිමක්‌ ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් රජයට ඇති වගකීම දැඩි ලෙස අවධාරණය කරන බව ද පවත්නා නීතිරීති වෙනස්‌ කිරීමට යැමෙන් අර්බුදකාරී වටාපිටාවක්‌ සමාජය තුළ ඇතිවීමට හේතුවක්‌ වන බවක්‌ ද සිංහල හා බෞද්ධයන් එල්ලකරගෙන සිදුකරනු ලබන නව නීතිරීති හඳුන්වා දීමට යැම මෙම අර්බුදයට මූලිකම හේතුව බව ද අස්‌ගිරි මහා නාහිමියෝ පැවසූහ.

ජාතික සංහිඳියාවට මුවා වී සිදුකරනු ලබන රක්‌ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලය, උතුරු නැඟෙනහිර පුරාවස්‌තු විනාශ කිරීම, වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව වහා අවධාරණය කරන උන් වහන්සේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්‌ථාන පාලනයට පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් පෞරාණික සිද්ධස්‌ථාන ආරක්‌ෂා කිරීම හා සංවර්ධනය පසෙක තබා එම ස්‌ථාන සංචාරක පාරාදීසයන් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගය වහා නතර කළ යුතු බව ද පැවසූහ.

අස්‌ගිරි මහා නාහිමියන්ගේ මේ ප්‍රකාශයෙන් පසුව රට පුරා සිංහල බෞද්ධ ජනතාව තළ දැවැන්ත පිබිදීමක්‌ ඇතිවී තිබෙන අතර රටේ සැබවින්ම සිදුවන්නේ කුමක්‌දැයි යන්න සම්බන්ධයෙන් ජනතාවගේ ඇස්‌ ඇරී තිබේ. මහනායක හිමින්ගේ ප්‍රකාශයෙන් පසු එස්‌. බී. දිසානායක ඇමැතිවරයා ප්‍රසිද්ධියේ මහා සංඝරත්නයෙන් සමාව අයෑදීය. කෙසේ වෙතත් මහනායක හිමියන්ගේ ප්‍රකාශයෙන් පසුව ද ඇතැම් ඇමැතිවරුන් විවිධ ප්‍රකාශ කරමින් සිටිනු පෙනේ. මෙවන් ඇමැතිවරු සම්බන්ධයෙන් අපේ මහා සංඝරත්නය දැඩි තීරණයක්‌ ගත යුතුය.

මේ අතර කොටුව මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු දෙකක්‌ සහ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ ඇතුළු නඩු තුනකට පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත්කර සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇපමත මුදාහැරීමට එම අධිකරණවල මහෙස්‌ත්‍රාත්වරු නියෝග කළහ. සැකකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරමින් උන්වහන්සේ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ උන්වහන්සේට අධිකරණය මඟහැර සිටීමේ කිසිදු අවශ්‍යතාවක්‌ නොමැති බවයි. කෙසේ නමුත් උන්වහන්සේගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන නිසා පසුගිය වාරයේ අධිකරණය හමුවේ පෙනීසිටීමට නොහැකි වූ බවත්, විත්තියේ නීතිඥවරු එහිදී අධිකරණයට ප්‍රකාශ කළහ.

මේ අතර සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදෙමින් පසුගිය 21 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන්ට පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක්‌ එල්ල කළේය. විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමත්‍යාංශය අත්පත් කරගෙන සිටි බව ද පැවසේ. ඔවුන් එහිදී පොදු දේපළවලට හානි කළේ නම් අප එය අනුමත කරන්නේ නැත. එහෙත් පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යොදවා ත්‍රස්‌තවාදීන් මර්දනය කරන ආකාරයට නිරායුධ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට ඒ කළ ම්ලේච්ඡ පහරදීම අප කිසිසේත්ම අනුමත කරන්නේ නැත, සිසුන් පවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එක්‌ව මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ ද එල්ල කෙරිණි. මේ හේතුවෙන් සිසුන් 90 ක්‌ පමණ තුවාල ලබා රෝහල්ගත කරන ලදී. ඒ අතර පොලිසියේ පස්‌ දෙනෙක්‌ ද රෝහල්ගත කර සිටිති. මේ ප්‍රශ්නවලදී පොලිසිය තම බලය අනවශ්‍ය ආකාරයට පෙන්වන්නට යැම නිසා බොහෝ ගැටලු ඇතිකර තිබේ.

රජයේ හිමිකාරීත්වය සහිත ආයතන තුනක්‌ පුද්ගලික අංශයට විකුණා දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර තිබේ. මෙසේ විකුණා දමන්නැයි යෝජනා කර ඇත්තේ මොබිටෙල්, වෝටර්ස්‌ එජ් සහ හිල්ටන් හෝටලයයි. මේ ආයතන තුනම ලාභ ලබන ආයතන වේ. මේවා විකිණීම ජාතික අපරාධයකි. රජයට බරක්‌ නොවන මේ ආයතන සුදුසු කළමනාකරුවන් නිසි ආකාරයෙන් යොදවාගෙන රජය යටතේම පවත්වාගෙන යැම කළ යුතුය. මේ ආකාරයට පොදු ජනතාව සතු දෙපළ විකුණා අවසානයේ ආණ්‌ඩුව කුමක්‌ විකුණන්නේ ද යන්න ප්‍රශ්නයකි. එම නිසා ජාතික දේපළ විකුණනවා සහ අසීමිතව විදේශ රටවලින් ණය ගන්නවා වෙනුවට ආණ්‌ඩුවට යම් විකල්ප ආදායම් මාර්ග සොයාගත යුතුය.

බස්‌ ගාස්‌තුව ආණ්‌ඩුව විසින් කිසිදු හිරිකිතයකින් තොරව වැඩි කරන ලදී. ආණ්‌ඩුව මෙවර බස්‌ ගාස්‌තුව වැඩි කරදී ඇත්තේ වැරදි ක්‍රමවේදයකට අනුවය. වාර්ෂික බස්‌ගාස්‌තු සංශෝධන ක්‍රියාවලියට අනුව බස්‌ගාස්‌තු වැඩිවිය යුත්තේ සියයට තුනයි දශම දෙකකිනි. එහෙත් ජාතික ගමනාගමන කොමිසමේ ඉහළ නිලධාරියකු බස්‌ සංගම් ප්‍රධානියකුගේ අවශ්‍යතාව මත එය එමෙන් දෙගුණයකින් වැඩි කරදී තිබේ. රජය වහාම කරුණු සොයාබලා මෙය නිවැරදි කළ යුතුය. එසේම මූලික ගාස්‌තුව වැඩිකිරීමේ කිසිදු අවශ්‍යතාවක්‌ තිබී නොමැත.

2002 වසරේදී බස්‌ගාස්‌තු ක්‍රමවේදය හඳුන්වාදීමේදී පස්‌වසරකට වරක්‌ අදාළ ක්‍රමවේදය සංශෝධනය කරන්නට හා මගීනට ඇති පහසුකම් සොයාබලන්නට නියමිතව තිබුණ ද මෙතෙක්‌ ඒවා පරීක්‌ෂා කර නැත. මගීන්ට කිසිදු පහසුකමක්‌ ඇති නොකර සිදුකළ මේ මිල වැඩිවීම දැඩි අසාධාරණයකි.

මේ අතර ඩෙංගු රෝගය පැතිරයැම ශීඝ්‍රයෙන් සිදුවෙමින් තිබේ. රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොසින්ය. එක ඇඳක රෝගීන් තුන් හතර දෙනාය. ආණ්‌ඩුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ හැටදහසකට ඩෙංගු වැළඳී දෙසීයක්‌ මියගොස්‌ තිබේ. එහෙත් අපට ලැබෙන තොරතුරු අනුව ඩෙංගු වැළඳුනු සහ මියගිය පිරිස මීට වඩා වැඩිවිය යුතු බව පෙනේ. ඩෙංගු පැතිරයැම මර්දනය සඳහා ආණ්‌ඩුවට කිසිදු වැඩ පිළිවෙළක්‌ නොමැත.

රටේ ආර්ථික තත්ත්වය පවතින්නේ බරපතළ තත්ත්වයකය. මේ නිසා රජය මෙන්ම ජනතාව ද සිටින්නේ ද දැඩි නොසන්සුන් තත්ත්වයකය. මේ අතර ක්‍රෙඩිට්‌ කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක්‌ විසින් පියවර ගෙන තිබේ.

මේ අනුව මෙතෙක්‌ ක්‍රෙඩිට්‌ කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ වාර්ෂික පොලී අනුපාතිකය 24% ක්‌ විය.

මෙම සංශෝධිත පොලී අනුපාතිකය, 2017 ජූලි 01 දිනෙන් පසුව සිදුකරනු ලබන සියලුම ගනුදෙනු සඳහා බලපවත්වන බව පැවසේ.

– ජනිත සෙනෙවිරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *