වසංගතයදී වර්ජනය කරන මොවුන් දොස්තරලාද? දොස්තර වර්ජනයට මෙතෙක් නොගත් දැඩි තීන්දුවක් ගන්නවා

(22.06.2017 – 20:30 +0530 – lankaenews.com)

හානිය මිලියන ගාණක්: කැමරා සටහන් වලින් අල්ලනවා: සෞඛ්‍ය අමාත්‍යාංශයට හානි කර ඉන් පාලනය වන ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගැනීම විහිළුවක්..! – ඇමැති රාජිත කියයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙතෙක් ක්‍රියාත්මක කළ කිසිදු වැඩ වර්ජනයකට හිටපු වෘත්තීය සමිති නායකයකු ලෙස තමන් මේ දක්වා දැඩි තීරණයක් නොගත් නමුත් මෙතෙක් නොගත් දැඩි තීන්දුවක් ඉදිරියේදී ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (21) ත්‍රස්තවාදය අනුගමනය කළ කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන යන සුවසිරිපාය බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ සිද්ධිය පිළිබඳ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

මෙම මාධ්‍ය හමුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ රාජිත ඇමැතිවරයා කියා සිටියේ ඩෙංගු රෝගය හේතුවෙන් ජනතාව අපහසුතාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය වැඩ වර්ජනයකට අවතීර්ණ වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් හදිසි ආපදාවක් පවතින මෙවැනි අවස්ථාවක් වැඩ වර්ජනයක් සිදු කරන මොවුන් වෛද්‍යවරුන් ද කියන ගැටලුව මතු වන බවයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කටයුතු කරන්නේ වෘත්තීය සමිතියක් ලෙස නොව දේශපාලන පක්ෂයක් ලෙස බවද ඇමැති රාජිත පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය අල්ලා ගත් පිරිස අමාත්‍යාංශයේ දේපළවලටත් හානි කර සේවකයන්ටත් අඩන්තේට්ටම් කර එම අමාත්‍යාංශයෙන්ම පාලනය වන ජාතික රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම හාස්‍යයට කරුණක් යැයි ද ඇමැතිවරයා කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු කළ හානි පිළිබඳව තක්සේරු කරමින් සිටින බවත් අමාත්‍යාංශය තුළ තිබූ වාහන 16 කට සයිටම් විරෝධීන් හානි කර ඇති අතර හානි සිදු වූ දේපළවල වටිනාකම රුපියල් මිලියන ගණනක් වනු ඇතැයිද පැවසීය.

ඊයේ බලහත්කාරය සඳහා 4000 කට ආසන්න පිරිසක් එක්ව සිටි බවත්, ඒ පිටුපස පෙරටුගාමී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වූ බවත් සහභාගී වූවන් වෛද්‍ය සිසුන්ම නොවන අතර වෙනත් පිරිසක් ද සිටි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා කීවේ මොවුන් පිළිබඳ සාක්ෂි කැමරාවල සටහන් ව ඇති බැවින් ඉදිරියේදී රාජ්‍ය දේපළවලට හානි කිරීමේ වරද වෙනුවෙන් නීතිමය පියවර ගනු ලබන බවයි.

කඩාකප්පල්කාරී පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වීමේදි අමාත්‍යාංශය තුළ පොලිස් ආරක්ෂාව නොතිබූ බවත් මෙවැනි උද්ඝෝෂණයන් සිදු කරන විට සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යනාදි ආයතනවලට පොලිස් ආරක්ෂාව සැපයීම වැදගත් බවත් කී ඇමැතිවරයා ඊයේ අමාත්‍යාංශයේ මහජන දිනය වූ අතර විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රමිති වාර්තාව ඉදිරිපත් කිරීම, දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින්ගේ විශේෂ රැස්වීම යනාදිය ඊයේට යොදා ගෙන තිබූ නමුත් සියල්ල කඩාකප්පල්කාරී ක්‍රියාදාමය හේතුවෙන් අඩාල වූයේ යයිද පැවසීය.

මේ වන විට රට තුළ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා , ඩෙංගු රෝගය බහුලව පවතින ප්‍රදේශ කරා වෛද්‍යවරු 150 ක ප්‍රමාණයක් පිටත් කර යවා ඇති බවත් මුල් අවදිය වන විට ඩෙංගු මරණ 1 %ක් පැවති නමුත් මේ වන විට ඒ තත්ත්වය 0.3% දක්වා අඩුකර ගැනීමට හැකිවී ඇතැයි පැවසීය. එමෙන් ම අද වන විට රජයේ රෝහල් වල සියලු ම ඖෂධ හිඟයකින් තොරව ලබාදෙන අතර, විශාල වශයෙන් සෞඛ්‍ය නිෂ්පාදන හා සේවාවල මිල පහත දමා ඇති තත්ත්වයක් යටතේත් මෙලෙස හැසිරීම කණගාටුවට කරුණක් යැයි කීය. ලබන 26 වැනිදා වන විට වෛද්‍ය පීඨ සිසුන්ට ඔවුන්ගේ දේශන ආරම්භ කරන්න සැලසුම් කර තිබියදී මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති කළෝ කව්දැයි ඇමැතිවරයා ප්‍රශ්න කෙළේය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, ඊයේ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ව පොලීසිය දැනුවත් කර පස්වරු 4.30 න් පසුව අමාත්‍යාංශ සේවකයින් සුරක්ෂිතව අමාත්‍යාංශයෙන් බැහැරට යෑමට සැලැස් වූ බවයි. ඊයේ මේ කඩාකප්පල්කාරී පිරිස අමාත්‍යාංශය තුළට කඩා වැද අමාත්‍යාංශ සේවකයින්ට පරිබව කරමින් දේපළ වලට හානි කළ නමුත් නිලධාරීන් ප්‍රමුඛ සේවකයන් ඉතාමත් ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ බවයි. කඩාකප්පල්කාරීන් අමාත්‍යාංශයේ ඔසවා තිබූ ජාතික කොඩියත් ගලවා ඔවුන්ගේ සටන් පාඨයක් එසැවීමට තැත් කළ නමුත් සේවකයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එය වළක්වා ගත හැකි වූ බවද පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *