පුනර්භව කථා : නයි විසෙන් මැරී යළි ඉපදී දළ වැදුණු කැළල පෙන්වයි

(22.06.2017 – 16:14 +0530 – lankadeepa.lk)

ගල්ගමුවේදී උපත ලද පවුලේ බාල දියණිය වූ මුතු මැණිකා නිවසේ වැඩවලදී මවට බෙහෙවින් උදව් වූ තරුණියෙකි. වැඩිදුර අධ්‍යාපනයක් නොලැබුණද ඇයට අත්කම් වැඩ පිළිබඳව විශේෂ දක්ෂතාවක් තිබිණි. පන් වලින් විවිධ භාණ්ඩ විවීමත් පැදුරු විවීමත් ඇගේ ආදායම් මාර්ගය ද විය. ආහාර පිසීමට ද ඇය දක්ෂ වූවාය. මවට උපදෙස් දීමට තරම් ඇය ගේ දොර වැඩ කටයුතු දැඩි උනන්දුවෙන් සිදු කළාය. ගෙවත්තේ එළවළු වගාවටත් ගෙවත්තෙන් ලබා ගන්නා එළවළු වැඩි වශයෙන් ආහාර සඳහා පිළියෙල කිරීමටත් ඇය මහත් ආශාවක් දැක්වූවාය. ඒ වන විට ඇය දාහත්වන වියේ පසු වූවාය.

එදා එක් දහස් නවසිය හැට අටේ වෙසක් මාසයේ පළමු දිනය විය. සිය ගෙවත්තේ හොඳින් පැසී තිබුණු අළු කෙසෙල් කැනකින් ගෙඩි කීපයක් කඩා ගෙනැවිත් එදින දහවල් ආහාරය සඳහා ව්‍යංජනයක් සකස් කිරීමට ඇය අදහස් කළාය. වේලාව උදේ දහයට පමණ ඇත. කෙසෙල් පඳුර වෙත ගිය ඇය අතේ දුරින් සැදී තිබුණු කෙසෙල් කැනෙන් ගෙඩි කීපයක් කපා ගැනීමට අත තිබූ පිහිය ඒ මත තැබුවාය. කෙසෙල් පඳුරට තබා තිබු ඇගේ දකුණු කකුලෙන් දැඩි වේදනාවන් දැනුණි. ඒ දෙස බැලූ ඇයට දක්නට ලැබුණේ එහි සිට ඇදී ගිය නාගයෙකි.

තම කකුලට නයා දෂ්ට කළ බැව් තේරුම් ගත් ඇය වහා නිවසට පැමිණ තමාට සිදු වූ අනතුර පවුලේ අයට හෙළි කර සිටියාය. වහා ක‍්‍රියාත්මක වූ සොයුරු සොයුරියන් සහ මව ඇයට ප‍්‍රතිකාර ආරම්භ කළහ. ඇයට ප‍්‍රතිකාර කිරීම සඳහා වැඩි වශයෙන්ම දැඩි වෙහෙසක් ගනු ලැබුවේ වැඩි මහල් සොහොයුරාය. දින තුනක් ගත විය. විෂ ශරීර ගත වී සිටි ඇය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගත්තාය. ඇගේ වියෝව නිසා පවුලේ සියල්ලෝම කම්පනයට පත් ව සිටියහ.

වසරකුත් මාස අටක් ගත විය. මුතු මැණිකා පදිංචි වී සිට නිවසට කිලෝ මීටර් හතක් පමණ දුරක් පදිංචිව සිටි හේරත් යුවළට දියණියක් ලැබිණි. ඇයට අමිතා යනුවෙන් නම් තැබිණි.

සිය සිඟිති දියණියගේ කකුලේ පැහැදිලි උපන් ලපයක් මවට දක්නට ලැබිණි.

කළු පැහැති තිත් දෙකක් ලෙස පිහිටා තිබූ උපන් ලපය දකුණු කකුලේ විලුඹට තරමක් ඉහළින් දර්ශනය විය. දරුවන්ගේ සිරුරුවල දක්නට ලැබෙන සාමාන්‍ය උපන් ලපයක් ලෙස තම දියණියගේ එම ලප ද පිහිටා ඇතැයි මව සිතුවාය. ඒ පිළිබඳව ඇය කිසිදු අවධානයක් යොමු නොකළාය.

වසර තුන හමාරක් පමණ ගත විය. බහ තෝරන අවදියට පැමිණ සිටි ඇය. දිනක් ”නිතලව අම්මි” යයි එක් වරම පැවසුවාය. දියණිය මෙසේ කියන්නේ ඇයි ද යන්න මවට ගැටලුවක් විය. එහෙත් ඇය ඒ පිළිබඳවද අවධානයක් යොමු නොකළාය. තවත් සති කීපයක් ගත විය. එහෙදී මට තාත්තා කතා කළේ ‘මුතුමා’ කියලා යනුවෙන් පෙර භවයේ ඇගේ නම ද හෙළි කළාය. සිය දියණියගේ මෙම ප‍්‍රකාශ ඇගේ මව වූ දැරියගේ මිත්තනිය සමග ද හෙළි කළාය. දියණිය කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන බවක් දක්නට ලැබෙන බැව් ඔවුන්ට දක්නට ලැබිණ. එහෙත් දියණියගෙන් ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමක් සිදු නොකළහ.


මේ වන විට දියණියට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබී තිබිණි. ඇගේ මතකයට නැ​‌ඟෙන පෙර භව මතක සටහන් වරින් වර හෙළී කිරීමට ඇය උත්සාහ ගත්තාය.

මගේ අම්මා පුංචි මැණිකා. එහිදී මට නයා ගැහැව්වා. මගේ කකුලට නයා ගහපු තැන තමයි මේ. යනුවෙන් ඇගේ දකුණු කකුල පෙන්වමින් කීවාය. ඇය අතැඟිල්ල තබා පෙන්වනු ලබන්නේ උපතින් පිහිටා තිබු කකුලේ උපන් ලප පිහිටි ස්ථානය විය. අනතුරුව ඇය ඒ පිළිබඳව තව තවත් තොරතුරු හෙළි කළාය.

එදා මම තාත්තාට උයන්න කෙසෙල් ගෙඩි කඩන්න කෙසෙල් පඳුර ළඟට ගියා. එතන දී මගේ කකුලට නයා ගැහැව්වා. එහෙදී මට අයියලා අක්කලා හිටියා. ලොකු අයියා මට හරිම ආදරෙයි. යනුවෙන් තවත් නම් කීපයක් ද හෙළි කළාය. ඒ අතර පියාගේ සහ සොහොයුරාගේ නම ද අනාවරණය වීය.

එහෙදී මට පැඳුරු වියන්න පුළුවන්. අපි පැඳුරු වියළා විකුණනවා. ඒ අම්මා තමයි මට පැඳුරු වියන්න ඉගැන්නුවේ. යනුවෙන් ද ඇය ප‍්‍රකාශ කළාය.

එම තොරතුරු අනාවරණ කරන ඇය අන් දරුවන්ට වඩා පැසුණු බුද්ධියකින් පසුවන බැව්ද මවට දක්නට ලැබිණි. වයස අවුරුදු පහක් පමණ වන විට ඇය පැඳුරු විවීමට ද උත්සාහ කරන්න වූවාය. උපතින්ම ඇයට ඒ පිළිබඳව හැකියාවක් ඇති බැව් ද මවට අවබෝධ විය.

අනතුරුව දැරිය හෙළි කරන තොරතුරු සොයා බැලීමට දෙමාපියෝ උනන්දු වූහ. ඒ අනුව වසර කීපයකට උඩදී නිතලව ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් නාගයකු දෂ්ට කිරීම නිසා මරණයට පත්ව ඇති බැව් ඔවුන්ට සොයා ගත හැකි විය. ඒ අනුව දැරියට පෙර භව නිවසට යෑමේ අවස්ථාව උදා විය. ඇය පෙරභව නිවසට රැගෙන ගිය දිනයේ නිවස ඉදිරි පිටට ගිය දැරිය පෙර භවයේදී ඇයට නාගයා දෂ්ට කළ ස්ථානය නිවැරදිව පෙන්වා දුන්නාය.

ඇගේ පුනර්භව පර්යේෂණය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ද පූර්ණ පර්යේෂණයක් පැවැත්වීය. අප ඇය හමු වන විටත් ඇයට පෙර භවයේ ඇතැම් කරුණු ඉතා හොඳින් මතක තිබිණි. එදා අප ඇයට ඉදිරිපත් කළ ප‍්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය :

ප‍්‍රශ්නය – ඔයාට එහෙදි මොකද වුණේ?
පිළිතුර – නයා ගැහැව්වා

ප‍්‍රශ්නය – කොහේදි ද?
පිළිතුර – කෙසෙල් පඳුර ළඟදී

ප‍්‍රශ්නය – කෙසෙල් පඳුර ළඟට ගියේ ඇයි?
පිළිතුර – දවල්ට උයන්න කෙසෙල් කපන්න.

ප‍්‍රශ්නය – නයා ගැහැව්වේ කොතනටද?
පිළිතුර – කකුලට (කකුලේ උපන් ලපය ඇති තැන පෙන්වයි)

ප‍්‍රශ්නය – ඉස්පිරිතාලෙට ගෙන ගියාද?
පිළිතුර – නෑ.

ප‍්‍රශ්නය – බෙහෙත් ගත්තේ නැද්ද?
පිළිතුර – ගත්තා

ප‍්‍රශ්නය – කව්ද බෙහෙත් දුන්නේ.?
පිළිතුර – වෙද මහත්තයා

ප‍්‍රශ්නය – එහෙ කවුද හිටියෙ?
පිළිතුර – අම්මා, තාත්තා අයියලා අක්කා.

ප‍්‍රශ්නය – ඔයා එහෙදි මොකද කළේ ?
පිළිතුර – මට එහෙදි පැඳුරු වියන්න පුළුවන්.

මෙම පුනර්භව පර්යේෂණයේ දී තවත් හෙළි වූ වැදගත් කරුණක් තිබේ. එනම් පෙර භවය හෙළි කළ දැරියගේ උපතින්ම ඇසක දක්නට ලැබු තවත් උපන් ලපයකි. ඒ පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් සිදු කළ පර්යේෂණයේ දී පෙර භවයේ සොහොයුරකුගේ ඇසක ද එවැනිම ලපයක් පිහිටා තිබු බැව් දක්නට ලැබීමයි.

මුතු මැණිකාගේ මරණ පරීක්ෂණ වාර්තාව අනුව දැරිය හෙළි කළ පරිදි මරණයට හේතුව නාගයකු දෂ්ට කිරීම බැව් සනාථ විය. එය මරණ සහතිකයේ සඳහන්ව ඇත්තේ “Sudden death. Died after a coma due to poison by a Cobra bite on the right foot” යනුවෙනි. මිය යන විට ඇය දාහත් වන වියේ පසු වූ බැව් ද එහි සඳහන්ව තිබිණි.

මුතු මැණිකාට නාගයා දෂ්ට කිරීම සිදු වී​මෙන් පසු රෝහල් ගත කිරීමක් සිදු වී නොතිබිණි. ඇයට සිංහල වෛද්‍ය ප‍්‍රතිකාර සිදු කර ඇත්තේ නිවසේ තබා ගෙනය. ඒ පිළිබඳව අප කළ විමසීමේදී ඒ බැව් ද දැරිය ප‍්‍රකාශ කළේ ”ගෙදර දී බෙහෙත් කළා” යනුවෙනි.

මෙම දැරියගේ පුනර්භව පර්යේෂණය සඳහා මහාචාර්ය ස්ටීවන්සන් විසින් සකස් කෙරුණු වාර්තාවක “Discrepancies between birthmarks and evidence of wounds” යටතේ නාගයා දෂ්ට කිරීම පිළිබඳව දැරිය කළ ප‍්‍රකාශය Amitha said that she had wanted to prepare her previous father’s lunch, had gone into the compound to pluck plantains and had been bitten by a Cobra on her foot” යනුවෙන් සඳහන් කර තිබේ. කෙසෙල් පඳුර අසලදී නාගයා දෂ්ට කළ බැව් පැහැදිලිව ඇය විසින් හෙළි කිරීම සනාථ වූ අන්දම එම වාර්තාවට ඇතුළත් කර ඇත. එය මෙසේය :

“Amitha’s statements reached a family living in Nithalawa which is seven kilometers from Amitha’s home. This family had lost a young daughter Muthumenike, who had died on May 4 1968 after being bitten by a Cobra in the compound of her family under exactly the circumstances Amitha had described. Amitha was treated at home where she died 3 days after being bitten. She was 17 years old”.

යනුවෙනි. නයා දෂ්ඨ කළ තරුණිය 1968 මැයි මාසයේ මිය ගොස් තිබු අතර පෙර භවය හෙළි කළ දැරිය ඉපදී ඇත්තේ 1970 ජනවාරි මසදීය.

පුනර්භව පර්යේෂණවල දී සර්පයින් දෂ්ට කළ සිදුවීම් රැසක් ඇත. ශ්‍රී ලංකාවේ සර්පයන් දෂ්ට කළ පුනර්භව සාධක අතර නාගයන් සහ පොළඟුන් දෂ්ට කිරීම් හෙළි වූ සිදුවීම් වැඩි වශයෙන් දක්නට ලැබේ. එම සාධක සියල්ලේම දෂ්ට කළ දළ පහර වැදුණ බැව් එම දරුවන් පවසන ස්ථානයේ පැහැදිලි උපන් ලප දක්නට ලැබීම විශේෂත්වයකි. එවැනි සිදුවීම් Snake Bite Cases යනුවෙන් පර්යේෂණවල දී හඳුන්වනු ලැබේ.

– තිස්ස ජයවර්ධන

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *