අසාධාරණ වැඩ වර්ජන කළ GMOA ව බලු වී වර්ජනය අත්හරී

(24.06.2017 – 23:50 +0530 – lankaenews.com)

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වූ සිසුන්ට ම්ලේච්ඡ ලෙස පහරදුන්නා කියා ඊට එරෙහිව පැය කිහිපයක් තුල ආරම්භ කරන ලද පාදෙණියගේ GMOA අඛණ්ඩ වැඩ වර්ජනය ඒ සම්බන්ධ කිසිදු ඉල්ලීමක් නොමැතිව ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවකින් කියා අද දහවල් සිට අත්හැර දමන ලදී.

වැඩ වර්ජනය දිගට ගෙන යන්නේ නම් රජයක් ලෙස මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය ඇමැතිවරයා තර්ජනාංගුලිය ඔසවද්දී, වැඩවර්ජනය අසාර්ථක යැයි කීවහොත් දැනට සිදුකරගෙන යන හදිසි ප්‍රතිකාර පවා නතර කරන බවට තර්ජනය කරන ලද GMOA ව එසේ කියා පැය 24 ක් යෑමට පෙර ඔවුන් විසින්ම ජනපතිවරයාගෙන් ඉල්ලා ලබා ගත් සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය නතර කරන බව කියා සිටියේ ය.

GMOA ව විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව කරුණු 4 ක් අනුව වැඩ වර්ජනය නතර කරන බව කියා ඇත. ඒවා නම්,

1. සයිටම් ආයතනයට අලුතින් සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රදානය අත් හිටුවීම සඳහා නීත්‍යානුකූලව කටයුතු අවසන් කිරීම
2. සයිටම් ආයතනය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම
3. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදුවීමට ජනාධිපතිවරයා ලෙස කිසිසේත් ඉඩ ලබා නොදෙන බවට පොරොන්දු වීම.
4. සයිටම් අර්බුදය තුල පැන නැගුණු මූලික ගැටළු සඳහා ජනතාවට අගතියක් නොවන විසඳුමක් ලැබෙන පරිදි නව ප්‍රවේශයකින් යුතු වැඩ පිලිවෙලක් ආරම්භ කිරීම.

GMOA ව අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කළ සිසුන්ට පහර දීමේ හේතුව සම්බන්ධයෙන් ඉහත කාරණා හතරේ වචනයක් වත් සඳහන් වන්නේ නැති අතර මේ කාරණා ජනතාවට කියන්නේ ජනතාව යනු බත් කන හරක් යැයි GMOA ව සිතා සිටින නිසා විය යුතුය.

මන්ද යත් මින් 1 සහ 2 කාරණා යනු සයිටම් උපාධිය නීත්‍යාණුකූල උපාධියක් යැයි දැනට අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇපෑලේ දී රජය විසින් අනිවාර්යවෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන කාරණා ය. ඒවා අලුතින් GMOA ව විසින් කිව යුතු නැත.

3 වන කාරණාව විහිළු දනවන්නකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්ථාපනය කර ඇති පණත අනුවම වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි. එනම් සභාපතිගේ පත්වීම ස්ථිර වශයෙන්ම දේශපාලන පත්වීමකි. වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ගැන ස්වාධීණ කොමිෂන් සභා රාශියක් පත් කළ ආණ්ඩුවකින් අලුතින් ඉල්ලීමක් ඉල්ලීම විකාර රූපී වැඩකි.

4 වන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතාමත් සාධාරණ වැඩ පිළිවෙලක් දැනටමත් ඉදිරිපත් කර තිබෙන අතර ඊට එකඟ වී නැත්තේ GMOA ව මිස ආණ්ඩුව නොවේ. ඒ අනුව 4 වෙනි කාරණාව කියා ගත යුත්තේ තමන්ටම ය.

GMOA ව විසින් ආරම්භ කරන ලද අඛන්ඩ වැඩ වර්ජනය ඔවුන් විසින්ම නතර කරන ලද්දේ අන් කිසිවක් නිසා නොව අතීතයේ දී මෙන් වැඩ වර්ජනය කරමින් පෞද්ගලික චැනලින් සේවයේ යෙදීම රන්ජන් රාමනායකගේ මෙහෙයුමෙන් පසු කරගන්නට අපොහොසත් වීම නිසා මේ GMOA නායකයන්ට වැඩ වර්ජන කාලයේ දී මිලියන ගණනක කළු සල්ලි ආදායම අහිමි වීමත්, වර්ජිත වෛද්‍ය වරුන්ට එරෙහිව රටපුරා නැගී ආ ජනතා විරෝධය අනුව තව දිනක් ගියේ නම් මහ මග ගුටි කන තත්ත්වයට පත්වන නිසාත්, GMOA වේ නියෝග නොතකා විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් රෝහල් වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීම නිසාත් ය.

අසාධාරණ වැඩ වර්ජන කරන්නට යන කොයි කාටත් ඉතිරිවන්නේ ‘බලු වීම‘ පමණක් බව GMOA ව විසින් ඔප්පු කර පෙන්වීම සන්තෝෂයට කාරණයකි ෴

++++++++++++++++++++++++++++++

****************************************

පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීමේ කටයුතු ඇරඹෙයි
(24.06.2017 – 15:54 +0530 – sinhala.adaderana.lk)

පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීමේ කටයුතු අද(24) පින්නවල අලි අනාතාගාරයේදී ආරම්භ කෙරුණි.

ඒ තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව පින්නවල අලි අනාතාගාරයෙන් පමණක් අලි ඇතුන් 07 දෙනෙකු පෙරහැර සදහා ලබාදීමට නියමිතය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ සමීක්ෂණයක් සිදු කොට මෙරට සිටින අලි ඇතුන් සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන සකස් කරන බවය.

රජය තීරණය කර ඇති පරිදි පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීම අනිවාරයෙන්ම සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය ෴

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *