කඳුකරයම දියකරන උමා ඔය උමඟේ නස්පැත්තිය මෙන්න

(25.06.2017 – mawbima.lk)

අලිකොටආර කරඳගොල්ල පිවිසුමෙන් ඇරැඹෙන උමඟ කිලෝමීටර් 9 තෙක් දිවෙයි. රේල් පීිලී සහිත මං තීරු දෙකකින් යුතු ඒ දැවැන්ත උමං මඟ එක පැහැර නැඟෙනා ජල කඳින් වැසී ගොස්ය. ඒ ජල මට්ටම අඩි තුනක් තෙක් ඇතැයි සිතේ. බුබුළු නංවමින් නැඟෙන භූගත ජල උල්පත් ‍දොළහකට ආසන්න ගණනකින් එක පැහැර නැඟී මතුවන මහා ජලකඳ මහා වේගයකින් ඉවතට ගලා යයි. ගණන් බලා ඇති ආකාරයට එම ජලය ගලා යන වේගය තත්පරයට ලීටර 2572 කි.

ඔය ගණන් වැරැදියි. තත්පරයට ලීටර තුන්දාහත් පනීවි. පහුගිය කාලෙ මේ ජල කඳ මීට වඩා අඩි දෙකක් විතර උඩින් තිබුණෙ. උමා ඔය ව්‍යාපෘතියේ සේවකයෙක් අප සමඟ මුමුනයි. ඉඩෝරයකදී මෙපමණ ජල කඳක් කිරිඳි ඔයේවත් නැත. බුබුළු නඟමින් ගලා හැලෙන ජල කඳ අලිකොටආරෙන් කිරිඳි ඔයට ගලාගෙන යයි.

මේ වනවිට උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නවතා දමා ඇත. ඒ පරිසරයට ආදරය නිසා නොවේ. මිනිස් ජීවිතවලට ආදරය කරන නිසා නොවේ. හාරන උමඟට නිරන්තරයෙන් ජලය කාන්දු වෙමින් තිබෙන නිසාවෙනි. ඒ නිසා උමඟ තවදුරටත් හාරන්නට නොහැකිය. හෝ ගා ගලන ජලය නිසා උමඟ ඇතුළෙන් දැන් යා හැක්කේ ජලයේ පැදගෙන යා හැකි වර්ගයේ බෝට්ටු වර්ගයකිනි. මතුපිට තිබූ ජල ප්‍රවාහ සියල්ල උමඟ හාරන තැනින් හෝස් ගා පොළොව ඇතුළට ගලා යන නිසා පොළොව මතුපිට වේළී පිපිරුම් ඇති වී තිබේ.

මේ මහා ජල කඳ කවදා වනතුරු පොළොව දරා ගනී දැයි කියන්නට නම් දන්නේ නැත. සිදුවිය හැකි දෙය නම් පසේ ජල ප්‍රමාණය වැඩිවී පීඩනය දරාගත නොහැකිව පස් තට්ටුවට යටින් තිබෙන ගල් ආස්තරය තෙක් ඒ පස් කඳු නාය යෑමය. එතැනින් සිදුවන විනාශය සුළුපටු එකක් වන්නේ නැත. පොළොව මතුපිට ගස්වැල්, සතා සීපාවා, වගාබිම්, වනාන්තර, ගෙවල් ‍ෙදාරවල්, මිනිස් ජීවිත යටකරගෙන මේ පස් තට්ටු නාය යන සැටි සිතන්නටවත් තරම් බියජනකය.

මේ ව්‍යාපෘතිය අවසානයේ දශක ලක්ෂ ගණනක් මේ භූමිය රක්ෂා කරමින් පවත්වාගෙන ආ භූගත ජල සංචිතය දැදුරු කර තිබේ. පොළොව මතුපිට ජීවිතය ආරක්ෂා කරනු ලැබුවේ භූ ගර්භයේ වූ මේ ජල සංචිතයන්ය. ඇත්තටම දැන් මධ්‍යම කඳුකරය පවතින්නේ දැඩි අවදානමකය.

පසුගිය වසර පහ හයක සිට බදුල්ල ප්‍රදේශය පාරිසරික වෙනස්කම් රාශියකට එකවර ලක්විය. මුලින්ම මේ වෙනස්කම ආරම්භ වුණේ 2014 දෙසැම්බර් 26 වැනිදාය. එහිදී ළිං උල්දිය පොකුණු, දිය කදුරු සියල්ල එකවර සිඳී යෑමට ලක්විය. මේ වනවිට ජල මූලාශ්‍ර 3,200 ක් සිඳී ගොස් තිබේ.

හීල් ඔය සම්පූර්ණයෙන්ම සිඳී ගොසිනි. කක්කුටුඅරාව ඔය, ගල්ඇක්ක ඔය, නානුඅරාව ඔය, විලංගහඋල්පත ඇළ, ඉලුක්අරාව ඇළ, බැද්දේඅරාව ඇළ, අමුණුදෝව ඇළ, පල්ලේපේරුව පීල්ල, මිනුවන්උල්පත වැව, කක්කුටුඅරාව ආදී ජලාශද මේ වනවිට සිඳී ගොසිනි.

මෙලෙස ජල ප්‍රදේශ වියළී යෑමට පටන් ගෙන තිබෙන්නේ 2014 දෙසැම්බර් මාසයේ සිටය. එනම් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟේ හා ජලාශ දෙක අතර ජලය ගෙන යන උමඟේ කැණීම් කටයුතු ආරම්භ කළ වකවානුවයි. පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන උමඟ කිලෝ මීටර් 15 කින් දිගය. මේ වනවිට එයින් කිලෝ මීටර් 9 ක් පමණ හාරා අවසන් කොට ඇත. උමං පද්ධතිය සම්පූර්ණයෙන් කිලෝ මීටර් 26 කි. උමඟ කැණීම අවසන් කරන විට මේ ප්‍රදේශයට කුමකින් කුමක් වේදැයි නොදැන ජනතාව සිටින්නේ දැඩි බියකිනි.

මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුඳේ, බැද්දේ අරාව, ලියන්ගහවෙල, වෙහෙරගල්ලතැන්න, කුරුඳුගොල්ල, එගොඩගම, අම්පිටිය, පල්ලේපේරුව, කරගහවෙල, බොරලන්ද, රජකටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඩේගම, අභයපුර, එගොඩගම, බොරලන්ද, මැදපේරුව, තන්තිරිය, සිනිගම, දෝව, දික්කරුව, හැදහින්න, පනංගම, කුරුකුදේම, දික්කාපිටිය, වීරගහවත්ත, මැදහින්න, වටගමුව, ඉහළ කොටවර, පහළ කොටවර ආදී ගම්මානවල නිවාස 4625 ක් බිත්ති පුපුරා විනාශ වී තිබේ. මේ අතර බණ්ඩාරවෙල බැද්දේඅරාව ග්‍රාම නිලධාරි වසමේ, මඩුවේගෙදර ග්‍රාමයේ නිවාස 20 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් ගත්විට උෟවපරණගම, වැලිමඩ, හාලිඇළ, බණ්ඩාරවෙල, ඇල්ල වැල්ලවාය මේ පාරිසරික විනාශයන්ට ලක්වී ඇත.

බදුල්ල – කොළඹ මාර්ගයේ බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව ගිලා බැසීමට ලක්ව තිබේ. හීිල් ඔය අලුත් කාපට් පාරද තැනින් තැන ගිලා බැසීමට ලක්ව තිබේ. අඹදණ්ඩාවල මහපේරුව ගිලා බැසීමටද ලක්ව තිබේ.

බණ්ඩාරවෙල, මකුල්ඇල්ල විද්‍යාලය මේ වනවිට වසා දමා ඇත්තේ භූමිය ඉරිතළා ගොඩනැඟිලිවලට හානි සිදුවී ගිලා බැසීම්වලට ලක්වී ඇති නිසාවෙනි. මේ නිසා දැනට මෙම පාසල විහාරස්ථානයක බණ මඩුවේ හා ප්‍රජා ශාලාවක පවත්වාගෙන යයි.

බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහ විද්‍යාලයේ නව තාක්ෂණික විද්‍යාගාරය පිපිරීමට ලක්ව ඇත. බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පාථමික අංශයද පුපුරා ගොසිනි. බණ්ඩාරවෙල නගරයේ පස් මහල් ගොඩනැගිලි ගිලා බැසිමටත් ඇලවිමටත් ලක්ව ඇත. අවට පන්සල්, පල්ලි, කොවිල් ද පුපුරා ගොසිනි.

මේ ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කෙරෙන්නේ ඉඩම්, ලඳු කැලෑ, තෘණභූමි, හා වනාන්තරයි. සත්ත්ව පාලනය සඳහා යොදාගෙන තිබෙන මේ ප්‍රදේශවලට ඒ අවස්ථාව අහිමි වෙයි.

මේ ප්‍රදේශයේ වී වගා කරන්නේ මහ කන්නයේදී පමණි. යල කන්නයේ අවස්ථා දෙකකදී එළවළු වගා කරයි. ඉඩම් හා කෘෂිකර්ම, ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සිදුකරන ලද අධ්‍යයනය පාදක කරගෙන ලැබී ඇති දත්ත අනුව වගා ඉඩම් අක්කර 2100 ක් පමණ මේ ව්‍යාපෘතිය නිසා විනාශ වී තිබේ. තක්කාලි සහ බෝංචි වගාවෙන් ජීවිතය ගෙවූ මේ ජනතාවට දැන් තම රැකියා අවස්ථාද අහිමි වී ඇත. විකල්ප රැකියා අවස්ථා පිළිබඳ සූදානමක් නොතිබූ නිසා බොහෝ දෙනකු මේ වනවිට කම්කරු රැකියාවන් සඳහා ප්‍රදේශයේ නගර බලා පිටත්ව ගොසිනි. යටත් පිරිසෙන් සියයට 10 කට පමණ වන්දි මුදල්ද ලැබී නොමැත.

සංශෝධිත 1950 අංක 9 දරන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත අනුව 2009 අප්‍රේල් 07 වැනි දින අංක 1596/12 දරන ගැසට් නිවේදනයෙන් යම් ඉඩමක් සංවර්ධන කටයුත්තක් සඳහා අත්පත් කර ගැනීමේදී වන්දි ගෙවීම සඳහා තක්සේරු කිරීමේදී පවතින වෙළෙඳපොළ මිල ගණන් යටතේ වන්දි තක්සේරු කිරීම මෙන්ම විකල්ප ස්ථානයක පදිංචි වීම දක්වා දැරීමට සිදුවන සියලු වියදම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනය මඟින් වන්දි මුදල් ගෙවිය යුතුය. ව්‍යාපෘතිය නිසා අවතැන් කරවන ජනතාවගේ දිවිය නැවත එම තත්ත්වයට පත්වන තුරු ඔවුන්ට යැපුම් මාර්ගද සකසා දිය යුතුය. නීතිය එසේ වුවත් ප්‍රායෝගික තලයේදී තම දේපොළ අහිමි වූවන් සියලු දෙනාට මේ වනතුරු වන්දි මුදල් ලැබී නොමැත.

පුහුල්පොළ ජලාශය හේතුවෙන් අවතැන් වන ජනතාව උෟව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරගොල්ල ප්‍රදේශයේත් ඩයරබා ජලාශය හේතුවෙන් අවතැන් වන ජනතාව ඩයරබා වත්තේ කැටකෑල්ල ප්‍රදේශයේ පදිංචි කිරීමට නියමිතය. එහෙත් නැවත පදිංචි කරන ප්‍රදේශ වී ගොවිතැන, එළවළු හා අර්තාපල් වගාවන්ට යෝග්‍ය නොවන අතර ජල පහසුකම් ඉතා අඩුය.

2008 අප්‍රේල් 29 වැනි දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට මුල්ගල තැබීම ඇරැඹිණි. ඉන් පසුව 2008 ජූලි මස 20 වැනි දින ව්‍යාපෘතියට අදාළ පූර්ව ශක්‍යතා වාර්තා අධ්‍යයනය සකස් කෙරිණි. 2010 නොවැම්බර් මස ව්‍යාපෘතියට අදාළ වෙළුම් තුනකින් සමන්විත පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව ව්‍යාපෘති යෝජක ආයතනය වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් සැකසිණි. පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව අනුමත කිරීමේ අනුයෝජිත ආයතන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කළ අතර ඒ වාර්තාව 2010 දෙසැම්බර් 27 වැනිදා දා සිට රජයේ වැඩ කරන දින 30 ක කාලයක් මහජන අදහස් ලබා ගැනීමට විවෘතව තැබිණි. ඒ කාලය තුළ ලිඛිත විරෝධතා රාශියක් ලැබුණත් පරිසර සාධක මත සෑහීිමකට පත්විය නොහැකි වුවත් පරිසර ඇගයීම් වාර්තාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අප්‍රේල් මස 12 වැනි දින කොන්දේසි සහිත අනුමැතිය ලැබිණි.

උමා ඔයේ ජලය ලුණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යෑමේ පළමු සැලසුම සිදුකළේ 1991 දී මධ්‍යම ඉන්ජිනේරු උපදේශක කාර්යාංශය විසිනි. ඒ වාර්තාව මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාවගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමත්, ව්‍යාපෘතියේ තාක්ෂණික දුර්වලතාත් හේතුවෙන් ව්‍යාපෘති වාර්තාව ප්‍රතික්ෂේප කෙරිණි. පළමුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතිය ඉරාන් ෆරාබ් සමාගමට භාර දුන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 553 කටය. ඉරාන අපනයන සංවර්ධන බැංකුව වසර 20 කින් ගෙවා දැමීමට මෙම ණය මුදල ලබා දුන්නේ කිසිදු තාක්ෂණික ඇගයීමකින් තොරවය.

පරිසර විද්‍යාඥයන් පවසන ආකාරයට උමා ඔය ද්‍රෝණියට වර්ෂා ඍතුව එළැඹෙන කාලය හා දකුණු කලාපයේ වර්ෂාව එළැඹෙන කාලය එකිනෙකට සමාන වේ. එනම් ඊසාන දිග මෝසම් මඟින් මේ ප්‍රදේශ දෙකටම වර්ෂාව ලැබෙන ලෙස ගබඩා කිරීමේ හැකියාවක් නොමැත. ඒ අනුව නම් මේ ව්‍යාපෘතියෙන් ගත හැකි ප්‍රයෝජනයක් නොමැති තරම්ය.

උමාඔය යෝජිත ජලාශවලට ඉහළින් ඇති වැලිමඩ හා නුවරඑළිය වැනි ප්‍රදේශ උග්‍ර පාංශු ඛාදනයට ලක්වන ප්‍රදේශයි. ව්‍යාපෘතිය සමඟ බොහෝ වනාන්තර ප්‍රදේශ එළි වී කෘෂිකාර්මික ඉඩම් බවට පත්වේ. මේ අනුව කඳුකරයට සිදුවිය හැකි බලපෑම ඉතා උග්‍රය. පරිසර විද්‍යාඥයන්ගේ අදහස වන්නේ කඳුකරයේ භූමි මත ගෙවත්තක කරන පාංශු වෙනස්කම් පවා සැලකිල්ලෙන් කළයුතු දෙයක් බවයි. එසේ තිබියදී මෙවන් මහා පරිමාණ ව්‍යාපෘති කිරීම පිළිබඳව නැවතත් සිතිය යුතුව ඇත.

භූගත කැණීම්වලදී කම්පන හේතුවෙන් පාංශු ස්ථර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම මෙන්ම දැනටද නාය යෑම් තර්ජනයට දැඩිව ලක්ව ඇති ප්‍රදේශයක් බැවින් එය තවදුරටත් ඉහළ යෑමේ අවදානම ඉතාම වැඩිය.

උමා ඔය මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකළ රන්ටැඹේ ජලාශයේ ප්‍රධාන ජල පෝෂකය වේ. මේ ජලය ලුණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන ගොස් හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම උමා ඔය ව්‍යාපෘතියේ අරමුණ වේ. ජල විදුලිය නිපදවීම, වාරි ජලය සැපයීම, පානීය ජලය සැපයීම හා කාර්මික කටයුතු සඳහා ජලය සැපයීම මෙන්ම හම්බන්තොට දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපොළ, හම්බන්තොට කර්මාන්තපුරය, වරාය හා තෙල් පිරිපහදුව සඳහා ජලය සැපයීම මූලික වේ. එහිදී පුහුල්පොළ හා ඩයරබාහි ජලාශ දෙකක් ඉදිවේ.

රටක් ලෙස සංවර්ධනය විය යුතු බව සැබැවි. එහෙත් සංවර්ධනය යැයි කියමින් රටේ ගහට කොළට සතාට, භුමියට දිනෙන් දින හානි කිරීම කිසිසේත්ම යහපත් නැත. පරිසරය වෙනස් වීම නිසා ඍජුවම ජනතාවට සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවන හැටි අපේ රටේ ඕනෑතරම් ආදර්ශ තිබේ. සංවර්ධනය එපා කියන්නට නොහැකිය. එහෙත් පරිසරයට අවම හානි සිදුවන පරිදි රටකට සංවර්ධන ව්‍යාපෘති තෝරාගත යුතුය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා මධ්‍යම කඳුකරය පුපුරා යෑමේ, කඩා හැලීමේ දිනය අද හෝ හෙට වන්නට පුළුවන. අද උමා ඔයේ කඳුළුවලට වඩා බදුල්ල, බණ්ඩාරවෙල ආදී කඳුකර ප්‍රදේශවාසීන්ගේ ඇස්වල කඳුළු බර වී ඇත. මේ ලිපිය ලියන මොහොත වනවිට බදුලු, බණ්ඩාරවෙල ජනතාව විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව පාරට බැස ඇත. ජනතාවම ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදන්නට පටන් ගෙන තිබේ. උද්ඝෝෂණ කරන්නට පටන් ගෙන තිබේ. ඔවුන් කියන්නේ සංවර්ධනය එපා කියා නොවේ. ජීවිතය රැක දෙන්න කියාය. පරිසරය රැක දෙන්න කියාය. පරිසරය හා අහිංසක මිනිස් ජීවිත බිල්ලට ගෙන කරන සංවර්ධනය කුමකටද?

– රසිකා හේමමාලි

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *