සිංහල බෞද්ධයා මුස්ලිම් මිනිහාගෙන් බේරා ගැනීමට නොර්වේකාරයාට ඇති රුදාව මේකයි

(07-05-2013 12:01 +0530 – lankacnews.com)

බෙදුම්වාදී බලතල සහිතව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඊට එරෙහිව දිවි හිමියෙන් සටන් කිරීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම් බවත් ඒ සටන වෙනුවෙන් තම ඇමතිකම වුවද  ඕනෑම මොහොතක කැප කිරීමට සූදානම් බවත් එහි නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙසේ අවධාරණය කළේ තම පක්‍ෂයේ මංගල මැයි දින රැලිය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

“ජාතික නිදහස් පෙරමුණ පළමුවරට මැතිවරණයකට තරග වැදුණේ පසුගිය නැගනහිර පළාත් සභා ඡන්දයේදී ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට. එහිදී පංචායුදය ලකුණින් තරග වැදිලා ජයන්ත විජේසේකර මැතිතුමාව මන්ත‍්‍රීවරයකු කරන්න පුළුවන් වුණා. ඒ වගේම, ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ පළමුවැනි මැයි දින පෙළපාලියත් රැලියත් දසදහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක අන්දමින් පවත්වන්න පුළුවන් වුණා කියන එක මම තමුන්නාන්සේලාට අවධාරණය කරන්න කැමැතියි.“

“ඒ කියන්නේ වැඩේ නරක නැහැ. පළමුවැනි ඡන්දෙත් ගොඩ. පළමුවැනි මැයි දින රැලියත් ගොඩේ ගොඩ. තමුන්නාන්සේලාට පෙනෙනවා ඇති කාලගුණය හසුරුවන්න පුළුවන් තත්ත්වයක් අද අපට උදාවෙලා තියෙනවා කියලා. ගිනි කාෂ්ටකේ පිච්චි පිච්චි තිබුණු කොළඹට මේ සීතල සුළං පොදක් හමන හැන්දෑවක්, මේ මහා රැලියට ආශිර්වාද කරමින් අද ලබා දීලා තියෙනවා. දැන් සොබාදහමේ පෙරනිමිතිත් නරක නැහැ.“

“පසුගිය අවුරුදු 04 එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින වේදිකාවේ හිටපු ජාතික නිදහස් පෙරමුණ අද මේ තනි වේදිකාවක් හදලා තනියම මහජන බලය සහිත පෙළපාලියකින් ඇවිල්ලා මේ ස්වාධීන මැයි දින රැලියක් පවත්වන්නේ ඇයි, කියලා සමහරු කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඒ ගැන අපේ සතුරෝ සමහර විට සතුටු වෙනවා ඇති. මිතුරෝ දුක් වෙනවා ඇති. ඒ වගේම මිතුරෝ සතුටු වෙනවත් ඇති. සතුරෝ දුක් වෙනවත් ඇති.“

“මේ වෙනස් පියවර ගන්න වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාව මත හිඳගෙන කතා කරන්න බැරි කාරණා ගණනාවකට, මේ වගේ ස්වාධීන වේදිකාවක් මත හිඳගෙන පමණක් කතා කරන්න පුළුවන් අනතුරු ගණනාවකට මේ පූජනීය වන්දනීය මාතෘභූමියට මුහුණ දී සිටින නිසයි.“

“මේ පිං පොළොවට එරෙහිව ඇති වුණු හැම අවදානමක්ම, අන්තරාවක්ම පිළිබඳව මොන මොන විසකුරු බලවේග කුපිත වුණත් හැමටම කලින් අනතුරු හැඟෙව්වේ අපියි. ආණ්ඩුවක් ඇතුළේ හිටියැයි කියලා ඇමති තනතුරු දැරුවයි කියලා ඒකේ වෙනසක් නැහැ. මේ පිං බිමට අනතුරක් වෙනවා නම්, ඒක වළක්වන්න ගත යුතු  ඕනෑම පියවරක් ගන්න කළ යුතු  ඕනෑම දෙයක් කරන්න ජාතික නිදහස් පෙරමුණ දිවි හිමියෙන් සූදානම් මගෙ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය. ඒක අපට කවුරුත් ඇගිල්ලෙන් ඇනලා පෙන්වන්න ඕනෑ දෙයක් නොවෙයි. ඒක අපේ ඇඟේ තියෙන දෙයක්. ඒක අපේ ජීවිතයට අයිති දෙයක්. ඒක අපි ආශ්වාස ප‍්‍රශ්වාස කරන කොට අපට උරුම කරගත්තු දෙයක්. ඒ අපේ අයිතියක්.“

“අද බලන්න තමුන්නාන්සේලාට පෙනෙනවා අද මේ රට අභියෝග කන්දකට මුහුණ දීලා ඉන්නවා. මිනීමරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජයට පත් කරලා ගෙවී ගිය අවුරුදු 03-04 ඇතුළත අපි විශ්වාස කළා, ‘අපේ රටේ ප‍්‍රශ්න දැන් ඉවරයි. අපට දැන් නිදහසේ, සතුටින් මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්‘ කියලා. පැරදුණේ සන්නද්ධ ත‍්‍රස්තවාදී බලය පමණයි, දෙමළ ජාතිවාදී බෙදුම්වාදයවත් දෙමළ ජාතිවාදී දේශපාලනයවත් ඒ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතියවත් සම්පූර්ණයෙන් පරාජයට පත් කෙරුණේ නැහැ.“

“උතුරේ ‘උදයන්‘ ඇතුළු සෙසු දෙමළ පුවත්පත්වලින් හදන දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතවාදය, උසිගැන්වීම් නතර වුණේ නැහැ. සම්බන්දන් මහත්තයලාගේ දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය නතර වුණේ නැහැ. විදේශගතව සිටින දෙමළ කොටි ඩයස්පෝරාව අන්තර්ජාතිකව ගෙන යන සටන නතර වුණේ නැහැ. ඔවුන් දේශසීමා නැති ඊළම හදාගෙන, ලොව පුරා වෙසෙන දෙමළ ප‍්‍රජාවට තවදුරටත් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය පොම්ප කරන එක නතර වුණේ නැහැ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී රටවල් ඒ බෙදුම්වාදී බලවේගයට ඔක්සිජන් සපයන එක නතර වුණේ නැහැ.“

“ඒ පාපී බලවේග මේ පිංබිම තමන්ගේ ගොදුරක් බවට පත් කර ගන්න දැන් වෙනස් ආකාරයකින් දත කනවා, ඒ අන්තරාය තමුන්නාන්සේලාට හරියට කියලා දෙන්න තමයි, ඒ වගේම මේ අභියෝග ජය ගැනීමේ මහජන බලය උපද්දවන්න තමයි, අද අපි මේ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක‍්‍රීඩාංගණයට එකතු වුණේ.“

“එක්සත් ජාතික පක්‍ෂය අද තුන්පොළක ඉන්නේ. එක තැනකට ආවොත් සෙනග අඩු බව පෙනෙන හින්දා හත්පොලේ ගාගත්තු රනිල්, අද තුන්පොළේ ඉන්නේ. එක තැනක තරුණ සමිති, තව තැනක වෘත්තීය සමිති, තවත් තැනක අර ඒකාබද්ධ විපක්‍ෂය කියන ‘නරලොව හොල්මන්’ ටික. දෙමළ ජාතික සන්ධානය උතුරේ. මේ බලවේග අද නැවත වටයකින් සූදානම් වෙනවා සටන් කරලා දිවි පුදලා රණවිරුවන් රැක දුන්නු මේ මාතෘභූමියේ ඒකීයභාවය උදුරා ගන්න.“

“මේක කොහොමද සිද්ධ වෙන්න්? අද ජිනීවාවල යෝජනා පිට යෝජනා සම්මත වෙන්නේ ශ‍්‍රී ලංකාවට හරි මග කියා දෙන්නද? කොටියා යුද්දෙන් දිනුවා නම් අද ජිනීවාවල යෝජනා නැහැ. ශ‍්‍රී ලංකා හමුදාව යුද්දෙන් දිනපු හින්දා යෝජනා එක පිට එක ගෙනෙනවා. අන්තිමට ගෙනාපු යෝජනාවේ තියෙනවා. ‘උතුරේ පළාත් සභා මැතිවරණය වහා පවත්වනු’ කියලා.“

“ජනාධිපතිතුමා ජපානයට ගියා, එහෙදී ඇහුවෙත් ‘උතුරේ ඡන්දේ තියෙන්නේ කවදාද?’ කියලයි. බැරි වෙලාවත් ඔබාමා හමුවුණා නම් ඒ අහන්නෙත් ‘උතුරේ ඡන්දය තියන්නේ කවදාද?’ කියලයි. නවනීදන් පිල්ලේ අහන්නේ, ‘කෝ උතුරේ ඡන්දය නැහැනේ’ කියලයි. ඊළඟට දෙමළ ඊළමේ අගරදගුරු ප‍්‍රසාදීන් වහන්සේ වෙන්න හිටපු රායප්පු ජෝශප් පියතුමා අත්සන් කරලා ජිනීවාවලට යවන්නෙත් ‘උතුරු පළාත් සභා මැතිවරණය තියන්න. එක්සත් ජාතීන්ගේ භාරකාරත්වය යටතට උතුර – නැගෙනහිර පළාත් භාර ගන්න’ කියලයි. රායප්පු ජෝශප් පියතුමා එහෙන් ආරාධනා යවනවා ජිනීවාවලට. චෙන්නායිවල ඉඳලා ඒ විදියටම ජිනීවාවලට ආරාධනා පත‍්‍ර යවනවා කරුණානිධි.“

“උතුරේ අවසන් යුද මෙහෙයුම් තිබුණු කාලයේ නොතිබුණු කලබලයක් අද දකුණු ඉන්දියාවේ ඇති වෙලා. දෙමළ ශිෂ්‍ය සංවිධාන අද දකුණු ඉන්දියාවේ පෙළපාලි යනවා ඊළම වෙනුවෙන්. ලංකාවේ ඊළම වෙනුවෙන් දකුණු ඉන්දියාවේ බයිස්කෝප්කාරයෝ ටික දැන් විරෝධතා ව්‍යාපාර පවත්වනවා. දකුණු ඉන්දියාවේ මේ පෙළගැස්ම හදන්නේ, නිකං නොවෙයි.“

“කාශ්මිරයේ හිටපු ඉන්දීය තානාපතිවරයා තමයි ඊළගට ශ‍්‍රී ලංකාවේ වැඩ භාරගන්නෙ. කාශ්මිරයට, ඉන්දියාව යවන්නේ කොයි ජාතියේ බඩුද කියලා තමුන්නාන්සේලාට හිතා ගත හැකියිනේ. දකුණු ඉන්දියාවේ මේ හැසිරීමෙන් මොකක්ද පෙනෙන්නේ. උතුරෙන් පලවා හරින ලද සිංහල හා මුස්ලිම් ජනතාව යළි පදිංචි කරනවාට දෙමළ ජාතික සන්ධානය මහා විරෝධතා පවත්වන්නේ ඇයි? ‘උතුරු පළාත් සභා ඡුන්දය තියපන්, තියපන්’ කියලා කියන්නේ ඇයි? මේ දර්ශන, රූප රාමු සියල්ල එකම තැනකට ගෙනල්ලා එකට පෙළගස්සලා බැලුවොත් පෙනෙනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. වෙන්න යන්නේ උතුරු පළාත් සභා ඡන්දය තියා ගන්න හදනවා මේ ගොල්ලො.“

“ජනාධිපතිතුමා කියලා තිබුණා සැප්තැම්බරයේදී උතුරු පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා. උතුරු පළාත් සභා ඡන්දය මේ පළාත් සභා ක‍්‍රමයේ බලතලත් එක්ක තිබුණොත්, මොකද වෙන්නේ. දැන් අනෙක් පළාත් සභා පොලිස් බලතල, ඉඩම් බලතල භුක්ති විඳින්නේ නැහැ. ඔවුන් ඒ බලතල භුක්ති විඳින්නේ නැත්තේ ඔවුන් බෙදුම්වාදී දේශපාලන බලවේග නොවන නිසා.“

“නමුත් මේ පළාත් සභා බලතල උතුරට ගියොත්, ඊට පහුවැනිදාම ප‍්‍රාදේශීය පළාත් පොලීසිය ක‍්‍රියාවට නංවනවා. ඒකට බාධා කරන්න ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශිරානි බණ්ඩාරනායක නෝනාවත් තියාගෙනයි මේ ගොල්ලො මේ වැඩේ කරන්න ගියේ. ඒ නෝනා අද නැති වුණත් අවශ්‍ය ‘‘සපෝට් එක’’ නොලැබෙයි කියලා අපට කියන්න බැහැ.“

“උතුරු පළාත් සභා මැතිවරණය මේ පවතින බලතල යටතේ පැවැත්වුවහොත්, පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරන පළමුවැනි පළාත් සභාව හැදෙනවා. ඉඩම් බලතල පාවිච්චි කරලා උතුරු පළාතේ හමුදා කඳවුරුවලට පවතින්න බැරි වාතාවරණයක් ඔවුන් හදනවා.“

“ආයුධ බලයෙන් උතුරේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය කරපු පිරිස, මේ ව්‍යවස්ථාපිත බෙදුම්වාදී බලතල පාවිච්චි කරලා ආයුධ බලයෙන් කරන්න බැරි වුණු දේ කරන්න පටන් ගන්නවා. පළාත් පොලිස් කොමිෂන් සභාව පිහිටුවනවා. ඒක පවතින්නේ උතුරු පළාත් සභාවේ මහ ඇමතිතුමා යටතේ. ඒ මහ ඇමතිතුමා ඒ පොලීසිය පාවිච්චි කරයිද, උතුරේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සැමගේ හිතසුව පිණිස. නැහැ. ජාතිවාදී බෙදුම්වාදී බලවේග අතට ඒ බලය යනවා. එතැන ජාතිවාදයක් බෙදුම්වාදයක් නැත්නම්, එකම ශ‍්‍රී ලාංකිකයන් ලෙස හිතන මනෝභාවයක් නම් ඇත්තේ අපට ඒ බලය ගියත් කමක් නැහැ කියලා හිත හදාගෙන ඉන්න පුළුවන්.“

“නැහැ. එහෙම නොවෙයි, සම්පූර්ණයෙන්ම ජාතිවාදී බෙදුම්වාදී බලවේගයක් අතට මේ බලය යනවා. බටහිරටයි, ඉන්දියාවටයි කත් අදින දේශපාලන බලවේගයක් උතුරේ ඉන්නේ. ඒකේ ප‍්‍රතිඵලයක් විදියට උතුර බටහිර අධිරාජ්‍යවාදයේ සහ ඉන්දියාවේ තිප්පොළක් බවට පත් වීම අනිවාර්යයි. උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානයේ සම්බන්දන්ලා අරගෙන ඉන් පස්සේ පොලිස්, ඉඩම් බලතල අරගෙන, උතුරෙන් පලවාහරින ලද සිංහල, මුස්ලිම් ජනතාව යළි පදිංචි කරන එක සම්පූර්ණයෙන්ම නවත්වලා ‘තනි දෙමළ ජාතිවාදී බෙදුම්වාදී පාලනයක්’ මේ පළාත් සභා ව්‍යවස්ථාපිත බලය යටතේ ආරම්භ කරනවා.“

“ඒ පාලනයට දෙන්න තියෙන උපරිම සහයෝගය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ලබා දෙනවා. එතැනින් නතර වෙන්නේ නැහැ. උතුරු පළාත් සභාවට නැගනහිර පළාත් සභාව ‘‘පූට්ටු’’ කර ගැනීමේ මෙහෙයුම ඉන් පසුව ඇරඹෙනවා. ඒක කොහොමද කරන්නේ? මුස්ලිම් කොංග‍්‍රසය අද ආණ්ඩුවේ ඉන්නේ හරියට ‘වවුලාගේ ගෙදර මගුලට ගියා‘ වගේ. ආපු පලියට එල්ලිලා ඉන්නවා. අද වෙන්නේ හකීම් මහත්තයාගේ කැමැත්ත නොවෙයි. හකීම් මහත්තයාට  ඕන ආණ්ඩුවෙන් ගැලවිලා යන්න. නමුත් නැගෙනහිර මුස්ලිම් ජනතාව කැමති නැහැ. මුස්ලිම් කොංග‍්‍රසයේ සහ දෙමළ ජාතික සන්ධානයේ හවුල් පාලනයක් නැගෙනහිර පිහිටුවන සැලසුම ඊළඟට එනවා. එතකොට උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය ගන්නවා. නැගෙනහිර පළාත් සභාවේ මුස්ලිම් කොංග‍්‍රසය හා දෙමළ ජාතික සන්ධානයේ හවුල් පාලනයක් පිහිටුවනවා. දැන් තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසයේ හවුල් පාලනයක්. හකීම් නැකත බලලා සන්ධානයෙන් දික්කසාද වෙනවා. නැකත බලලා ඇත්තේ නමුත් තාම කියලා නැහැ. දික්කසාද වෙන්න කලින් ඒක නැගෙනහිර මුස්ලිම් ජනතාව පිළිගන්න තත්ත්වය හදන්න  ඕනෙ. මුස්ලිම් ජනතාව, මුස්ලිම් කොංග‍්‍රසය දෙමළ ජාතික සන්ධානය සමග එකට එකතු වන එක පිළිගන්නේ නැහැ.“

“ඒ දෙමළ ජාතිවාදී බෙදුම්වාදය සමග එකතු වෙන්න අකමැති නැගනහිර මුස්ලිම් ජනතාව කැමති කරවා ගන්න තමයි, ‘දකුණේ සිංහල-මුස්ලිම් ගැටුමක් ඇවිලවීමේ ව්‍යාපාරය‘ පටන් ගත්තේ. දකුණේ සිංහලයා මුස්ලිම් මිනිහාට ගහනවා වගේ පෙනෙනකොට, නැගනහිර මුස්ලිම් මිනිහාගේ මනස නිකම්ම තල්ලු වෙනවා ‘අනේ අපි දෙමළ බලවේග සමග එකතු වෙලා හරි මේකට මුහුණ දෙන්න  ඕනෙ‘ කියන තැනට. ඔය ගැටුම ඇවිළවූ බලවේගය පිළි අරන් ඉවරයි, ‘අපට උදව් කළේ නෝර්වේ රටින්‘ කියලා. ඒ සංවිධානයේ ඉන්න සම්බන්ධීකරණ ලේකම්, ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සමග පැවැති සංවාදයකදී පිළි අරන් තියෙනවා, ‘ඔව් අපි නෝර්වේ ගියා. දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් හමු වුණා. අපට නෝර්වේවලදී මුදල් ආධාර දුන්නා. නෝර්වේ ගියා මෙන්න මේ අය. අපි ගිහිල්ලා ආපු ගමන්ම පටන් ගත්තා නෝර්වේ කියපු විදියට සිංහල – මුස්ලිම් ගැටුම අවුළවන වැඩේ‘, කියලා. මේ සංවිධානයේ සම්බන්ධිකරණ ලේකම් කියන පුද්ගලයා අපේ හාමුදුරුවනේ, අඩුම ගානේ පන්සලක දායක සභාවකවත් හිටපු කෙනෙක් නොවෙයි. පෝයකට පන්සලකටවත් ගියපු කෙනෙක් නොවෙයි, එන්.ජී. ඕ. කුක්කෙක්. නෝර්වේ සල්ලිවලින් දුවන එන්.ජී. ඕ.වලින් ජීවත් වුණු මිනිහෙක්. මේ අය එක පාරටම බෞද්ධයා රැක ගැනීමේ මහා යෝධයෙක් බවට පත් වුණා. අද නෝර්වේ සල්ලි දුන්නු බව පිළි අරන් ඉවරයි. නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළා ‘අපි මේ අයට සල්ලි දුන්නේ නැහැ. අධ්‍යාපන මූල්‍යාධාර දුන්නා’ කියලා.“

“මොකක්ද මේ නෝර්වේකාරයාට තිබෙන සිංහල බෞද්ධයාව මුස්ලිම් මිනිහාගෙන් බේරා ගැනීමේ උවමනාව. මොකක්ද මේ නෝර්වේකාරයාට එකපාරටම සිංහල බෞද්ධයා ගැන ඇතිවුණු කැක්කුම. දෙමළ ඩයස්පෝරාව නෝර්වේවලදී හමු වුණා කියලා මේ සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම්වරයා පිළි අරන් ඉවරයි. මේක ‘නෝර්වේ – දෙමළ ඩයස්පෝරාවේ උගුලක්’.“

“මොකක්ද මේ උගුල? සිංහල – මුස්ලිම් ජනතාව හප්පලා, නැගනහිර මුස්ලිම් මිනිහාට, දෙමළ ජාතික සන්ධානය සමග මුස්ලිම් කොංග‍්‍රසය එකතු වීම සාධාරණීකරණය කිරීම. එතකොට හකීම්ගේ නැකත එනවා. ‘නැගනහිර මුස්ලිම් ජනතාවනි, මම දෙමළ ජාතික සන්ධානය සමග එකතු වෙලා මේ ද්‍රෝහී සිංහල පාලනය පෙරළා දමනවා’ කියලා එදාට හකීම් කියනවා. හකීම්ට ඒ පිම්ම පනින්න අවශ්‍ය වාතාවරණය හදන්න තමයි නෝර්වේකාරයා මේ සල්ලි පොම්ප කළේ. ඔන්න එතකොට නැගනහිර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන – මුස්ලිම් කොංග‍්‍රස් හවුල් පාලනය හැදෙනවා. ඊට පස්සේ උතුරේ දෙමළ ජාතික සන්ධාන පාලනය වගේම මේ හවුල් පාලනයත් නැගෙනහිර පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරන්න පටන් ගන්නවා.“

“ඊළඟ පියවර තමයි මේ පළාත් සභා දෙක ඒකාබද්ධ වීම. නැගනහිර පළාත් සභාවේ යෝජනාවත් සම්මත විය යුතුයි, ‘අපි උතුරු පළාත් සභාව සමග ඒකාබද්ධ වන්නෙමු.’ කියලා. ඒ වගේම යෝජනාවක් උතුරු පළාත් සභාවේත් සම්මත වුණාට පසුව මෙම පළාත් සභා දෙක යළි නීත්‍යානුකූලව ඒකාබද්ධ වෙනවා.“

“එදා මේ අපේ ජයන්ත විජේසේකර මන්ත‍්‍රීතුමන්ලා දිවි පරදුවට තියලා සටන් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා උතුරින් නැගෙනහිර වෙන් කර ගත්තා. ඒ අනුව උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වුවොත් යළි උතුරු – නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ වෙනවා. මේ ඒකාබද්ධ උතුරු නැගනහිර පළාත් සභාව පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරනවා. මේක කරන්නද, හත්වලාමේ රණවිරුවෝ ජීවිත පරිත්‍යාග කළේ.“

“එදා ප‍්‍රභාකරන් පරදන සටනේදී අපේ රණවිරුවෝ ඒ ප‍්‍රදේශයට ගියේ බිම් බෝම්බ මතින්. එහිදී විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. එහෙම හමුදාවක් මේ රට බේරලා දුන්නේ. එහෙම පණ දීලා බේරගත්තු රටක් යළි අවුල් ජාලාවක් කරන්න දෙමළ ජාතිවාදී සන්ධානයට, නෝර්වේ පිල්ලිවලට ඉඩ දීලා තමුන්නාන්සේලා බලා ඉන්නවාද? “

(ජනතාවගේ හඩ ‘නැහැ, නැහැ, අපි ඉඩදෙන්නේ නැහැ’)

“එදා දිවි පුදපු රණවිරුවන්ගේ ලේවල පූජනීය වටිනාකමේ නාමයෙන් එකා මත්තේ එකා මලත් උතුරු පළාත් ඡන්දය බෙදුම්වාදී බලතල සහිතව තියන්න දෙන්න බැහැ. ඒක එපැයි කියන අපට කියනවා නම් ඇමතිකම් දාලා යන්න කියලා කිසි ප‍්‍රශ්නයක් නැහැ දාලා යන්නම්. අපට විරුවන් දිනා දුන් රට ලොකුයි, ඇමතිකම්වලට වඩා. අපි මේ ඇමතිකම් අල්ලලා බදා ගෙන ඉන්න ඒවා නොවෙයි. අපි මේවා බුරුලට අල්ලන් ඉන්නේ,  ඕනෑම වෙලාවක අත හරින්න බලාගෙන.“

“දැන් ලැබුණු ප‍්‍රවෘත්තියක් කියලා මම යළි අපේ කතාව කියන්නම්. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලියේදී දැන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා, ‘ඒකක 60දක්වා කිසිදු විදියකින් විදුලි බිල වැඩි කරන්නේ නැහැ. ඒකක 180 දක්වා පරිභෝජනය කරන අයටත් සැලකිය යුතු සහනයක් දෙනවා’ කියලා. එතුමාට අපේ ආචාරය, ගෞරවය මේ මැයි දින වේදිකාවේ සිට පුදකර සිටිනවා, අපේ මතය, ජනතා මතය පිළි අරගෙන ජයසුන්දර ආර්ථික ඝාතකයා හදපු විදුලි බිලේ පීඩාවෙන්, උගුලෙන් අපේ මහජනයා නිදහස් කර දීම සම්බන්ධයෙන්.“

“දැන් අපි යළිත් අපේ කතාවට එමු. විදුලි බිල නැග්ගොත් බස්ස ගන්න පුළුවන්. නමුත් මේ උතුරු පළාත් සභාව දෙමළ ජාතිවාදී බෙදුම්වාදී බලවේග අතට ගියොත් යළි ගැනීම බොරුවක්. පෙර කියපු විදියට හැදුණු ඒකාබද්ධ උතුරු – නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් ගෙනෙනවා, ‘අපේ පාලනයට දිගින් දිගටම බාධා කරමින් පවතී. මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී ලෙස අපට බාධා එල්ල කරයි. එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘දෙවිඳුනි’, පැමිණ මේ පළාතේ පාලනය භාර ගන මැනවි’ කියලා.“

“අද මේ යෝජනාව කරන්නේ, රායප්පු ජෝශප් පියතුමා, චෙන්නායිවල කරුණානිධි ඇතුළු පිරිස. එදාට මේ යෝජනාව ගෙන එන්නේ මේ උතුරු – නැගනහිර පළාත් සභාවේ බහුතර මන්ත‍්‍රීවරුන් විසින්. එතැන් සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අත පෙවීම පටන් ගන්නවා. මේ සැලැස්මට තමයි නව දෙමළ ඊළාම් මෙහෙයුම දියත් වන්නේ.“

“මේ ඇමෙරිකානු එක්සත් ජනපදය ඇතුළු අශුද්ධ බලවේගය මෙතැනින් නතර වෙන්නේ නැහැ. මෙතැන සිංහල – මුස්ලිම් ගැටුම හදලා නැගනහිර මුස්ලිම් ජනතාව දෙමළ ජාතික සන්ධානය සමග ගැට ගහලා ඔවුන් නිහඩව ඉන්නේ නැහැ. ඊළග ජනාධිපතිවරණයේදී ‘මේ ආණ්ඩුව සිංහල බෞද්ධයා රකින්නේ නැහැ. මේ ආණ්ඩුව මුස්ලිම් මිනිස්සු එක්කයි හිටගෙන ඉන්නේ’ කියලා බෞද්ධයා වෙනුවෙන් වෙනම සිංහල බෞද්ධ අපේක්‍ෂකයකු ඡන්දයට දානවා නෝර්වේ ආධාර උපකාර ඇතිව. ඒ බෞද්ධ බලවේගයට තියෙන්නේ මුස්ලිම් විරෝධී සිංහලයාගේ ඡන්ද ටික ගන්න එකයි.“

“බලන්න එතකොට ආණ්ඩුව දුර්වල කරලා වට්ටන්නත් පුළුවන්. නැගනහිර මුස්ලිම් ජනතාව දෙමළ ජාතික සන්ධානයේ ඔඩොක්කුවට දමන්නත් පුළුවන්. එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි. ඒ අනුව මේ රට අනාගතයේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේත් ඉන්දීය ව්‍යාප්තවාදයේත් රූකඩ අතකොලුවක් අතට පත් කරන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා බලාගෙන ඉන්නේ මේ වෙලාව එනකම්.“

“අද මේ රටේ විපක්‍ෂ දේශපාලනය කරන්නේ එජාපයට, ජවිපෙට වඩා කොළඹ තියෙන බටහිර තානාපති කාර්යාල කිහිපයක්. එක්සත් ජනපද තානාපතිතුමිය නැගනහිර මුස්ලිම් ප‍්‍රජා නායකයන් කොළඹට ගෙන්වලා ආණ්ඩුවට විරුද්ධව සටන් කරන හැටි උගන්වලා තියෙනවා. නෝර්වේකාරයා මෙහෙ කට්ටියක් අරගෙන ගිහිල්ලා සන්තෝෂම් දීලා කියනවා, ‘සිංහල – මුස්ලිම් ගැටුම අවුළවපන්’ කියලා. මේක තමයි අන්තර්ජාතික මෙහෙයුම.“

“ඒත් මේ රට අස්ථාවර කරන්න දේශපාලන අවුල හදලා විතරක් බැහැ. ඒ නිසා ආර්ථිකය ඇතුළෙත් අවුල හදනවා. දැන් බලන්න විදුලි බිල වැඩි වුණා. ඊට පස්සේ අජිත් ජී. පෙරේරා කියන එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවකදී කියනවා, ‘විදුලි බිල වැඩි කිරීමට සම්බන්ධ මහ බැංකු අධිපතිතුමා, රංජිත් සියඹලාපිටිය ඇමතිතුමා සහ සරත් අමුණුගම මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා’ කියලා.“

“ඇත්තෙන්ම මේ විදියට, අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අයට වැඩියෙන් විදුලි බිල වැඩි වෙන්නත්, වැඩියෙන් විදුලිය පාවිච්චි කරන අයට අඩුවෙන් විදුලි බිල වැඩි වෙන්නත් මේ යෝජනාව හැදුණෙත් පී. බී. ජයසුන්දර අතින්. නමුත් මේකට සම්පූර්ණයෙන් වගකිව යුතු කෙනාගේ නම එජාපය කියන්නේ නැහැ. වෙනත් අයව පටලවනවා. ඒ ඇයි? මේ රටේ විදුලිය අඩුවෙන් පාවිච්චි කරන මිනිහගේ ඔලුවට හෙණ පතයක් යවපුවාම ආණ්ඩු විරෝධී බලවේග ශක්තිමත් වෙනවා. ජයසුන්දරලාට  ඕන විදුලි බිල නිකං වැඩි කරන්න නොවෙයි, අඩු ආදායම්ලාභීන්ට සහ පහළ මධ්‍යම පන්තියේ ජනතාව සහ ආණ්ඩුව සමග ඉන්න බලවේග ආණ්ඩුවට විරුද්ධව පාරට බස්සන්න.“

“ජනාධිපතිතුමා විදුලි බිල වැඩි කිරීම සංශෝධනය සඳහා පියවර ගත්තේ මේ ජයසුන්දරගේ උප්පරවැට්ටිය තේරුම් ගෙන. ඒ තීරණය එන්නේ මේ ආර්ථික ඝාතකයාගේ උප්පරවැට්ටිය තේරුම් ගැනීමත් සමග.“

“මේ රටේ ඉන්නවා රජයෙන් වැටුප් ගන්න ගමන් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් වැටුප් ලබන ආර්ථික ඝාතකයින්. ඔවුන් උත්සාහ කරන්නේ මේ රටේ ආර්ථිකය නැමැති නෞකාවට බර පටවලා, පටවලා එය හිතාගන්න බැරි මොහොතක ගිල්වා දමන්න. හරි හොඳට ආර්ථිකය ඉදිරියට යනවා, කියමින් ඉඳලා ආර්ථිකය නැමැති නෞකාව ගිල්වා දමන්නයි මේ පිරිස් හදන්නේ. පොහොර සහනාධාරය කපලා ගොවියා සහ ආණ්ඩුව අතර ගැටුමක් ඇති කරන්න හදන්නේ, මහවැලියේ වතුර ටික ඇරලා ඩීසල් විදුලි බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදී ගන්නේ, මේ ආර්ථික ඝාතක නිලධාරී මාෆියාව.“

“මේ ආර්ථික ඝාතතයන්ගේ මෙහෙයුම සහ ඉහත කී දේශපාලන මෙහෙයුම පැරදවීමේ අභියෝගය අප ඉදිරියේ තියෙනවා.“

“බෙදුම්වාදී බලතල සහිතව උතුරේ ඡන්දය පවත්වලා අවසානයේදී උතුරු – නැගනහිර ඒකාබද්ධ පළාත් සභාවක් මේ රටේ මධ්‍යම ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් ඉල්ලා සිටීම දක්වා වූ නව දෙමළ ඊළාම් මෙහෙයුමට ඉඩ දෙනවාද?“

“ආර්ථික ඝාතකයන්ට මේ රටේ ආර්ථිකය නම් වූ නෞකාවට බර පටවලා, පටවලා ගිල්වා දැමීමට ඉඩ නොදී ඔවුන් පන්නා දමනවාද?“

“අපට ජනාධිපතිතුමන්ගෙන් ඇසීමට ඇත්තේ ඉහත ප‍්‍රශ්න දෙකයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාව මත සිට එම ප‍්‍රශ්න දෙක ඇසිය නොහැකි නිසයි මෙවැනි ජාතිකවාදී බලයක් කුළුගැන්වුණු වේදිකාවක සිට අපි ජනාධිපතිතුමන්ට එම ප‍්‍රශ්න දෙක ඉදිරිපත් කරන්නේ.“

“මේ ප‍්‍රශ්න දෙකට හරි උත්තර නොදී රට ඉදිරියට ගෙන යන්න අපහසුයි. මේ අවදානමෙන් මේ රට නිදහස් කර ගත යුතුයි.“

“සැප්තැම්බරයේදී උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා නම් ඊට පෙර 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී ඇති ඉඩම්, පොලිස් බලතල නැමැති නලදත් ගලවා දමන්න. ඒ වගේම පළාත් සභා දෙකක් එකට එකතු කිරීමේ බලයත් අහෝසි කරන්න. ඉන් පසුව උතුරේ මැතිවරණය පැවැත්වීම ගැටළුවක් නොවෙයි.“

“ආර්ථික ඝාතකයන් එලවා දමා ජාතික නිෂ්පාදනය ඉහළ නංවන ආර්ථික සැලසුමකට අප රට ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා.“

“මේ අභියෝග ජය ගැනීමේ දිසාවට මේ රට ගෙන යාම සඳහා දිවිහිමියෙන් කටයුතු කිරීමට දේශමාමක, ජාතිමාමක දේශපාලන බලවේගයක් ලෙස කැපවීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම්.“

# අමාත්‍යවරයාගේ දේශණයේ සම්පූර්ණ හඬ ඇමුණුම :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *