කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව මහා ගින්නකින් විනාශ වෙයි

යුද හමුදාවට අයත් දෙවන අවි ගබඩාව ගින්නකින් විනාශ වෙයි : ටී-56 සිට මල්ටි බැරල් දක්වා උණ්ඩ පුපුරයි : කිලෝමීටර් 6 ක් ඇතුලත ජනතාව ඉවතට : හෙට උදේ දක්වා පිපිරුම් පවතීවි
(05.06.2016 – 20:40 +0530 – Lanka eNews)

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් දෙවන උණ්ඩ ගබඩාව වන කොස්ගම සාලාව අවි ගබඩාව මුළුමනින්ම ගිනි ගෙන විනාශ වෙමින් පවතී.

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ප්‍රධානතම අවි ගබඩා දෙකක් වන අතර ඉන් එකක් පිහිටා ඇත්තේ කොස්ගම සාලාව කඳවුරේ ය. එහි ටී.56 කුඩා උණ්ඩ වල සිට ආර්.පී.ජී., මල්ටි බැරල් උණ්ඩ වැනි බර අවි උණ්ඩ දක්වා උණ්ඩ ගබඩා කර තිබේ.

අද සවස 5.30 ට පමණ පළමුවෙන්ම සුළු අවි උණ්ඩ ගබඩාවේ ගින්නක් හට ගෙන ඇති අතර ක්‍රමයෙන් එය බර අවි උණ්ඩ ගබඩා දක්වා පැතිරී ගොස් ඇත.

මෙම කඳවුර බාරව ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික බලකාය වන අතර සේවා බලකායන් කිහිපයක්ද ස්වේච්ඡා බලකායද ඒ අවට සිටිති.  ගින්න හට ගෙන එය සුළු අවි ගබඩා වෙත පැතිරී උණ්ඩ පුපුරා යනවාත් සමග සෙබලුන් සහ නිලධාරීන් නිරුපද්‍රිතව ඉන් ඉවත්වී තිබේ.

මේ වන විටත් ගින්න පැතිරී යන අතර බර අවි උණ්ඩද පුපුරා යමින් ඇත. බර අවි උණ්ඩ පුපුරා යන ශබ්දය කිලෝ මීටර් 20 ක් පමණ ඈතට ඇසෙන අතර යුද හමුදාව ප්‍රදේශයේ ජනතාව ඉවත් කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් විවිධ කට කතා පැතිර යන නමුත් කඳවුර ඇතුලේ තිබෙන උණ්ඩ අනුව අනතුරක් සිදුවිය හැක්කේ කිලෝමීටර් 5 ක ඇතුලත දුරකට ය. ඒ අනුව යුද හමුදාව කිලෝ මීටර් 6 ක් දක්වා දුරක් ඇතුලත සිටින අයට ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

උණ්ඩ ගබඩාවක් ගිනි ගත් විට ගුවනින් වතුර හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක් හෙලා හෝ ගින්න පාලනය කළ නොහැකි බවත් සමීපයට ලං විය නොහැකි බවත් ගිනි නිවීම පිළිබඳ විශේෂ දැනුමක් සහිත බ්‍රිතාන්‍ය නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

යුද හමුදාව බලාපොරොත්තු වන්නේ හෙට උදෑසන දක්වාම උණ්ඩ පිපිරීම සිදුවනු ඇති බවයි. මේ දක්වා කිසිදු තුවාල කරුවෙක් පිලිබඳ වාර්තා වී නැත.

උණ්ඩ පුපුරා අහවර වන තුරු ඉවත්ව සිටීම හැර අන් යමක් කළ නොහැක ෴

+++++++++++++++++++++++++++++

කොස්ගම හමුදා කඳවුරේ පිපිරීමක් – තත්වය දරුණු අතට
(05.06.2016 – 18:16 +0530 – lankatruth.com)

වීඩියෝ සහිතයි (UPDATE 08) කොස්ගම ශාලාව හමුදා කඳවුරේ විශාල පිපිරීමක් සිදුවන බවත් එය කිලෝ මීටර 10ක් 15ක් ඈතට ඇසෙන බවත් ප්‍රදේශවාසීහු කියති.

අවට ජනතාවට සිය නිවෙස්තුළටම වී සිටින ලෙස හමුදාව ජනතාවට නිවේදනය කර ඇති අතර අවිස්සාවේල්ල කලුඅග්ගල පාර කලුඅග්ගලින්ද අවිස්සාවේල්ල කොළඹ පාර අවිස්සාවේල්ලෙන්ද වසා දැමූ බව පොලිසිය කියයි.

මෙම පිපිරීම සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශයකවරයා මෙතෙක් කිසිවක් ප්‍රකාශ නොකරන අතර එවැනි පිපිරීමක් සිදුවන බව පොලිසිය සඳහන් කරයි.

එකදිගට විශාල ශබ්දවලින් මෙහි පිපිරීම් ශබ්ද ඇසෙන බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති.

18.30 :- මේ වනවිට ඒ අවට සිටින ප්‍රදේශවාසීන්ට ඉන් ඉවත්වන ලෙස හමුදා නිලධාරීන් විසින් ඔවුන්ට දැනුම්දී ඇති අතර එම කඳවුරේ පතොරොම් ගබඩාවේ ඇති වූ ගින්නක් හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ වනවිට යුධ හමුදාපතිවරයා එම ස්ථානයට ලඟාවෙමින් සිටින බව ඔහුගේ කළ විමසීමකදී මාධ්‍යවෙත දැනුම් දී ඇති අතර ත්‍රිවිද හමුදාවේ මැදිහත්වීමෙන් ගින්න මැඩපත්වමින් සිටින බවද පැවසේ.

19.19 :- මේ වනවිට හමුදා කඳවුර අවට කිලෝමීටර් 6ක පමණ වපසරියක ජනතාව මුළුමනින්ම ඉවත් කළ බව හමුදා මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

19.50 :- මෙරට පිහිටි ප්‍රධානම අවිගබඩාව ලෙස මෙම කඳවුර සැළකෙන බවත් මෙය පැරණි තුනීලෑලි සංස්ථාව පවත්වාගෙන භූමියේ පිහිටා ඇති බවත් එහි ලෑලි පදම් කිරීම සඳහා භූගතව ඉදිකිර තිබූ ගුදම් නවීකරණය කරමින් වෙඩි බෙහෙත් සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය එහි තැන්පත් කර ඇති බවත් එම ගුදම් පවා පිපිරිමට ලක්වෙමින් තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ. මේ වනවිට කිලෝමීටර් 20ක් පමණ දුරට වෙඩිබෙහෙත් සැර දැනෙමින් පවතින බවද වාර්තාවේ.

20.20 :- උඩු ගුවනේ සිට තත්වය නිරීක්ෂණය කිරීමට මේ වනවිට විශේෂ ගුවන්යානයක් කඳවුර පිහිටි ප්‍රදේශයට යවා ඇති බව යුධහමුදාපතිවරයා සඳහන් කරයි.

20.40 :- ගිනිනිවන හමුදා කණ්ඩායම්වලට ගින්න පවතින ස්ථානය අසළට ගමන්කිරීමට මේ වනවිට හැකි වී ඇති අතර ජාතික රෝහල සහ කඳවුරට ආසන්න රෝහල් සියිල්ලම හදිසි රෝගීන් සඳහා සූදානම් කළ බවත් වාර්තා වේ. අද සවස 5.45ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

වැඩිදුර තොරතුරු බළාපොරොත්තුවන්න…

කොස්ගම යුද හමුදා කදවුරේ ගින්න කිලෝමීටර 18 ක් ඈතට පෙනෙන අයුරු :

++++++++++++++++++++++++++++

ජනතාව ඉවත් කරන්නට හේතුව ආර්පීජී , මල්ටි බැරල් පිපිරීමේ අවදානමයි
(05.06.2016 – 21:00 +0530 – gossiplankanews.com)

අවිගබඩාවක් පිපිරී යාම නිසා කොස්ගම සාලාව ප්‍රදේශයේ මේවනවිට ඇතිව තිබෙන උණුසුම් තත්වය මත ප්‍රදේශ වාසීන් ඉවත්කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා.

මෙම ගින්නට මුල්වූ ආරම්භක පිපිරීමට අමතරව වරින්වර තවත් පිපිරීම් හඬවල් ඇසෙන්නට වීමත් ඒ පිපිරීම් ගබඩාවේ ආයුධ වරින්වර පිපීරීයාම නිසා සිදුවන්නක් වීමත් නිසා එම කලාපයම අවදානමකට ලක්ව ඇත.

ඇතැම් පිපිරුම් කැබලි ඉතා ඉහළට විහිදෙන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබේ. වාර්තාවන ආකාරයට මෙම ගබඩාව තුළ ආර්.පී.ජී, මල්ටි බැරල් වැනි විශාල පිපිරීම් ඇතිකරන්නට සමත් පුපුරුණ ද්‍රව්‍ය ගබඩාවී පවතී. ඒවා පිපිරීම මගින් අනපේක්ෂිත හානියක් ඇතිවීම වළක්වන්නට මේ ආකාරයට ජනතාව ඉවත් කිරීමේ පියවරකට ආරක්ෂක අංශ ගොස් ඇත.

මේ සිද්ධිය සිදුවූ සැණින් කොස්ගම, පූගොඩ, කළුඅග්ගල හා හංවැල්ලේ කොටසක ප්‍රදේශ වාසීන්ට නිවෙස් අතැර යන ලෙස උපදෙස් දී ඇත්තේ මේ නිසාය. කෙසේ වෙතත් හදිසියට දැනුම්දීම නිසා බොහෝ අය හැඳිවතින් පාර දිගේ දිව යන්නට සිදුව ඇති අතර බස්රථ වාහන ගමනාගමනයද අවහිරව ඇති නිසා පයින්ම යන්නට සිදුව ඇත. ඇතැම් අය ඔරු පාරු ඔස්සේද පළා යන අයුරු වාර්තා විය ෴

++++++++++++++++++++++++++++++

කොස්ගම – සාලාව යුධ හමුදා කඳවුරේ ගින්න තවමත් මැඩපැවැත්වීමට නොහැකි වෙයි
(05.06.2016 – 18:49 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල – කොස්ගම – සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ හටගත් ගින්න තවමත් මැඩපැවැත්වීමට හැකිවී නැහැ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

එම ප්‍රදේශයට ළගා වී සිටින අප වාර්තාකරුවන් පවසන්නේ සාලාව කඳවුර ආසන්නයෙන් තවමත් විශාල පිපිරුම් ශබ්ද ඇසෙන බවයි.

මේ අතර, පවතින තත්ත්වය හේතුවෙන් අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ සියලුම පාසල් සහ රාජ්‍ය ආයතන හෙට දිනයේදී වසා තැබීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

උද්ගතව ඇති තත්ත්වයත් සමග අවිස්සාවේල්ල රෝහල සහ ඒ ආසන්න සියලු රෝහල් ඕනෑම හදිසි තත්ත්වයක් සඳහා මේ වනවිට සූදානම් කර තිබෙනවා.

කොස්ගම – සාලාව යුධ හමුදා කඳවුර පිහිටා ඇත්තේ කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ආසන්නයේයි.

කඳවුරේ අවි ගබඩාවේ මෙම ගින්න හටගත්තේ අද පස්වරු 5.45 ට පමණයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ සාලාව යුධ හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ මෙම ගින්න පළමුවෙන් හටගෙන ඇති බවයි.

එලෙස හටගත් ගින්න පසුව ක්‍රමයෙන් ව්‍යප්ත වී ඇති අතර, මේ හේතුවෙන් කඳවුරු භූමියෙන් වරින්වර ගිනි ජාලා ඉහළට නගිනු දැකගත හැකි වුණා.

සාලාව යුධ හමුදා කඳවුරේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා යුධ, ගුවන් සහ නාවික බලඇණි එම ස්ථානයට පිටත් කෙරුණු බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව ගිනි නිවීමේ හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා ගොස් ඇති අතර, පවතින තත්ත්වය හමුවේ ඔවුන් කිලෝ මීටර් කිහිපයක් මෙපිටින් ස්ථානගත කිරීම සිදුවූ බව එහි උසස් නිලධාරීයෙකු සඳහන් කළා.

ගින්න ව්‍යාප්ත වීමත් සමග කඳවුර අවට කිලෝ මීටර් 6 ක වපසරියක ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ආරක්ෂක අංශ දැනුම් දුන්නා.

ඒ අනුව, පූගොඩ, කළුඅග්ගල, හංවැල්ල ඇතුළු කඳවුර අවට ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් වීමට පියවර ගත්තා.

මීට අමතරව කඳවුර අවට ප්‍රදේශ රැසක විදුලිබල සැපයුම ද මේවන විට අත්හිටුවා තිබෙනවා.

සාලාව හමුදා කඳවුර හා ඒ අවට ප්‍රදේශය නිරීක්ෂනය කිරීම සදහා ගුවන් හමුදාව විසින් බී 200 වර්ගයේ ගුවන් යානයක්ද පිටත්කර යවා තිබෙනවා.

යුධ හමුදාව සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනතුරු ඇතිවීම වැළැක්වීම සඳහා සිද්ධිය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසයි.

මේ අතර, අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොස්ගම සහ අවිස්සාවේල්ල අතර කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.

අවදානම් සහිත තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයෙන් ඉවත් වූ ජනතාවගේ නිවාස හා දේපළ ආරක්ෂා කිරීම සදහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පවසනවා.

+++++++++++++++++++++++++++++

හමුදා කඳවුරේ පිපිරුන කෑලි කිලෝමීටර් 10 ක් ඈත අවිස්සාවේල්ල, හැංවැල්ලට වැටේ..
(05.06.2016 – 20:22 +0530 – lankacnews.com)

හමුදා කඳවුරේ පිපිරුන කෑලි කිලෝමීටර් 10 ක් ඈත අවිස්සාවේල්ල, හැංවැල්ලට වැටේ..

කොස්ගම හමුදා කඳවුරේ ඇති වූ තිබෙන පිපිරීම නිසා හංවැල්ල හා අවිස්සාවේල්ල ආදී ප‍්‍රදේශවලට අහසින් කෑලි වැටී තිබේ.

අවිස්සාවේල්ල රෝහලට කෑලි වැටීම නිසා රෝගීන් වෙනත් ස්ථාන කරා ගෙන යාමට සූදානම් කර ඇත.

කොස්ගම සිට මෙම ප‍්‍රදේශ දෙකටම කිලෝමීටර 10 ක පමණ දුරක් වෙයි ෴

+++++++++++++++++++++++++++

කොස්ගම වෙනුවෙන් අවට රෝහල් සුදානම්
(05.06.2016 – 21:01 +0530 – nethfm.com)

කොස්ගම  හමුදා කඳවුරේ ගිනි ගැනීමෙන් අනතුරට පත් අය සිටීනම් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවිස්සාවේල්ල මූලික රෝහල සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහල සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලද මේ වන විට ප්‍රතිකාර සඳහා සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

අවිස්සාවේල්ල මූලික රෝහලට අතිරේක ගිලන්රථ 18 ක් ද යවා තිබෙනවා ෴

+++++++++++++++++++++++++++

අවිස්සාවේල්ල සහ අවට පාසැල් සහ රජයේ ආයතන හෙට නිවාඩු
(05.06.2016 – 21:00 +0530 – nethfm.com)

අවිස්සාවේල්ල සහ ඒ අවට පාසැල් සහ රජයේ ආයතන සඳහා හෙට දිනයේ (06) නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

කොස්ගම  සාලාව හමුදා කඳවුරේ ගිනි ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර  හමුදා කඳවුරේ ගිනි ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++

සාලාව ගින්නෙන් හමුදා සාමාජිකයෙක් මරුට
(05.06.2016 – 22:05 +0530 – lankadeepa.lk)

කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු මහනුවර  සහ හෝමාගම රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මිය ගිය බව කියන හමුදා සාමාජිකයකුගේ සිරුරක් හෝමාගම රෝහලේ තැන්පත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කියයි.

කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම නිසා අවට ප්‍රදේශවල ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවලින් ඉවත් වී සිටින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කළේය. ජල මූලාශ්‍රවලට විස ද්‍රව්‍ය එකතුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි ද ඉදිරියේදී විස එකතු වූ ජලය වර්ෂාව සමඟ ලැබිය හැකි බැවින් ජලය පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන්නැයි ද හැකිතාක් පිරිසුදු පානීය ජලය ලබාගැනීමට උත්සාහ කරන ලෙසත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටියේය. හැකි සෑම විටම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සෞඛ්‍ය පිළිබඳ තොරතුරක් අවශ්‍ය නම් 011 3071073 අංකයෙන් ලබාගන්නා ලෙස ඔහු කීවේය.

සාලාව ගින්න නිවීමට ආරක්ෂක අංශවලට එම ස්ථානයට ඇතුළු වීමට ලැබුණේ ගින්නෙන් පැය හතර හමාකරකට පමණ පසුය.

ඒ වන විට ද කඳවුරේ ගින්න පැවැති බවත්, මුළු පෙදෙසද කළු දුමාරයෙන් වැසී තිබු බවත් කියති.

මෙම දුම වැදීමෙන් හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම සමනය කර ගැනීම සඳහා තෙත රෙද්දකින් මුහුණ ආවරණය කර ගන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

හිටි ගමන් ගෙවල් අතහැර ගිය අයගේ නිවාස ආරක්ෂාවට හමුදා පාමුර සංචාර යොදවා ඇත.

හමුදා කඳවුරේ කොපමණ සෙබළුන් සිටියේද යන්න ගැන කිසිම තොරතුරක් ලබා ගත නොහැකි විය ෴

+++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

කොස්ගම සාලාව යුද හමුදා මධ්‍යම උණ්ඩ ගබඩා ගින්නෙන් සෙබලෙක් මරුට : සිවිල් 2 කට තුවාලයි : කඩ 10 ක් විනාශයි : ඇසින් දුටු 30 ක් පමණ කී කතා
(05.06.2016 – 23:40 +0530 – Lanka eNews)

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ප්‍රධානතම අවි ගබඩා දෙකින් එකක් වන කොස්ගම සාලාව මධ්‍යම අවි ගබඩාවේ අද සවස හටගත් ගින්නෙන් මේ වන විට එක් යුද හමුදා සෙබලෙකු මිය ගොස් සිවිල් වැසියන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි යුද හමුදාව නිල වශයෙන් පවසයි. මිය ගිය සෙබලාගේ සිරුර හෝමාගම රෝහල වෙත ගෙනැවිත් ඇති අතර තුවාල ලත් සිවිල් වැසියන් දෙදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇත.

ලංකා ඊ නිව්ස් යුද හමුදා අභ්‍යන්තර තොරතුරු සේවයේ පිරිස් මේ වන විට එම ස්ථානයට ලඟා වී ඇති අතර බැලූ බැල්මට සිවිල් වැසියන්ගේ දේපොල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබේ. කඩ 10 ක් පමණ විනාශ වී ඇති අතර ඉන් 3 ක් පමණ මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම ‘අවි ගබඩා‘ව ලෙස මෙය හැඳින්වුවද මෙහි ඇත්තේ ‘අවි‘ නොව සියළුම පරාසයන්ගේ ‘උණ්ඩ‘ පමණි. එහි ටී.56 සුළු අවි උණ්ඩ වල සිට ආර්.පී.ජී., මල්ටි බැරල් වැනි බර අවි උණ්ඩ දක්වා ගබඩා කර තිබිණ.

මෙම සිද්ධියේ ආරම්භය ඇසින් දුටුවන් 30 ක් පමණ වෙති.

සවස ඩියුටි මාරු වීම සඳහා හමුදා කණ්ඩායම් පෙළ ගස්වා සිට විසිරී යනවාත් සමග ඇතිවූ විශාල පිපිරුම් ශබ්දයක් සමග ගින්න හට ගෙන ඇත්තේ සුළු අවි උණ්ඩ ගබඩා දෙසිනි. ඒ වන විට වේලාව සවස 5.42 ට පමණ වේ.

ඒ සමගම හමුදාව ඉන් ඉවත් වීම නිසා අනතුර අවම වී ඇත. සුළු අවි උණ්ඩ ගබාවන්ගෙන් බර අවි උණ්ඩ ගබඩා වෙත ගින්න පැතිරී ගොස් ඇත.

කඳවුර ඇතුලේ තිබෙන උණ්ඩ අනුව අනතුරක් සිදුවිය හැක්කේ කිලෝමීටර් 4 ක ඇතුලත දුරකට බැවින් යුද හමුදාව කිලෝ මීටර් 4 ක් දක්වා ඇතුලත දුරක සිටින අයට ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

මේ වන විටද පැයකට කිහිපයක් වන සේ උණ්ඩ පුපුරා යමින් තිබේ.

මෙකී සාලාව මධ්‍යම උණ්ඩ ගබඩාව විශාල කලක් තිස්සේ මෙහි පිහිටා තිබූ අතර යුද සමයේදී ද උණ්ඩ ආරක්ෂිතව පැවැතුනේ මෙහි ය. එබැවින් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ගැටළුවක් නොතිබිණ.

ලංකා ඊ නිව්ස් කරන ලද තවත් අභ්‍යන්තර සොයා බැලීමකදී දැනගන්නට ලැබුනේ කඳවුරේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වාර්ෂිකව සිදුකෙරෙන තත්ත්ව පරීක්ෂන වාර්තා අනුව කිසිදු දුර්වලතාවයක් ගැන වාර්තා වී නොතිබූ බවයි.

නමුත් සිද්ධිය ඇසින් දුටුවන් 30 ක් පමණ සිටින බැවින් මෙය කඩා කප්පල්කාරී ක්‍රියාවක් යැයි එක්වරම පැවසිය නොහැකි බව ලංකා ඊ නිව්ස් යුද හමුදා අභ්‍යන්තර තොරතුරු සේවයේ පිරිස කියති. ඔවුන් සියළු දෙනාම පාහේ පවසන්නේ එකම කතාවකි. කෙසේ වෙතත් හෙට සවස් වන විට ගින්නට හේතු නිසැක වශයෙන් දැන ගැනීමට හැකි වනු ඇත.

පසුගිය මැයි 31 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ බටහිර කොටසේ පිහිටි ඉන්දීය අවි ගබඩාවක ඇති වූ ගින්නකින් මේ ආකාරයෙන්ම උණ්ඩ පුපුරා ගොස් විනාශයක් සිදුවූ අතර ඉන්දීය සෙබලුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මීට ඉහත ලංකාවේ යුද හමුදා කඳවුරක අවි ගබඩාවක් ගිනි ගෙන උණ්ඩ පුපුරා යාමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2014 ඔක්තෝම්බර් 02 වෙනිදා මත්තේගොඩ යුද හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු කඳවුරු සංකීර්ණයේ පතොරම් හා පුපුරන ද්‍රව්‍ය ගබඩාව ගින්නෙන් විනාශ වීමයි ෴

+++++++++++++++++++++++++++++++

තිදෙනෙකුට තුවාලයි එක් අයෙක් මරුට
(05.06.2016 – 22:49 +0530 – lankatruth.com)

කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ තිදෙනකු මහනුවර, අවිස්සාවේල්ල සහ හෝමාගම රෝහලට ඇතුළු කර ඇතැයිද එක් අයෙකු ජීවිතක්ෂයට පත් ඇතැයිද පොලිසිය පවසයි. එම සිරුර හෝමාගම රෝහලේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

මෙම අනතුරින් බේරීම සඳහා එම කඳවුරෙන් පිටතට පැන ගත් හමුදා සෙබළුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට යුධහමුදා සහන කණ්ඩායම් විසින් යුධහමුදා රෝහළ වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන් පැවසූ පරිදි හමුදා සෙබළුන් සැළකියයතු ප්‍රමාණයක් මිය ගොස් ඇති බව සැක කෙරේ.

ඔවුන් යම් කම්පන තත්වයක් සිටියද අවට සිටි ජනතාව සමග පවසා ඇත්තේ තමන් ඇතුළු කඳවුරේ සිටි සෙබළුන් පළමුවෙන්ම ආරක්ෂිත අගල්වෙත යොමුවුවත් පිපිරීම් ඉතා දරුණු ලෙස සිදුවූ නිසා එම සෙබළුන් බොහෝ දෙනෙකු එම ගින්නට හා පිපිරීම්වලට හසු වී මිය ගිය බවය. තමන් දෙදෙනා තවත් මියගිය හමුදා සෙබළුන් දෙදෙනෙකුද ඔසවාගෙන පැමිණියත් එන්න එන්නම පිපිරීම් හා ගිනිගැනීම් දරුණු ලෙස පැතිර ගිය බැවින් එම මිය ගිය සෙබළුන් දෙදෙනා ගෙනා මග දමා පැන ගත් බවය.

තමන් රැඳී සිටි නිවස්නයන් පවා පිපිරීමෙන් විනාශවන්නට ඇතැයි ඔවුන් සැක පළ කරති.

+++++++++++++++++++++++++++++++++

කොස්ගම ජල ටැන්කියත් විනාශයි
(06.06.2016 – 00:15 +0530 – lankatruth.com)

කොස්ගම ප්‍රදේශයට ඡලය සැපයූ ජලසම්පාදනමණ්ජඩයේ විශාල ජල ටැංකිය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බවත් එය බිමට කඩා වැටී ඇති බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජලය සැපයුම ඇනහිට ඇති අතර අවට මාර්ග සහ නිවාසවලටද යම් යම් හානි සිදුව ඇති බවත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු සැපයින නොහැකි බවත් හමදාව පවසයි ෴

+++++++++++++++++++++++++++++++

පිපුරුණු අවි ගබඩාවේ කඳවුර අවට කිලෝ මීටරයක් දුර ජනයාට යළි එන්න අවසරයි
(06.06.2016 – 07:02 +0530 – sinhala.adaderana.lk)

අවිස්සාවේල්ල – කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ ඇති වූ ගින්න මේ වන විට පාලනය කර ඇති බව යුධ හමුදාව පවසයි.

ඊයේ පස්වරු 05.30ට පමණ සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ ගින්නක් හටගත් අතර එය පැය 03කට අධික කාලයක් පැවතිණි.

කඳවුර තුළින් විශාල පිපිරිම් හඬවල් ඇසුණු බව ප්‍රදේශයේ ජනතාව අද දෙරණට කියා සිටි අතර  අවි ආයුධවල කොටස් හමුදා කඳවුරෙන් පිටත ප්‍රදේශවලට පතිත වූ බව සදහන්ය.

ඇතැම් කොටස් අවට නිවාසවලට වැටීමෙන් හා වැදීමෙන් එම නිවාසවලට ද හානි සිදු වී ඇති බව අද දෙරණ වාර්තාකරුවන් කියා සිටියි.

මේ හේතුවෙන් සාලාව යුධ හමුදා කඳවුර අවට ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරිමට ද පොලිසිය පියවර ගනු ලැබූ අතර අද වන විට කඳවුරට කිලෝමීටරයක් දුරින් පදිංචිව සිටි ජනයාට තම නිවෙස්වලට ඒමට අවසර ලබාදී තිබේ.

එසේ වුවද එම නිවෙස්වලට,ගෙමිදුල්වලට යම් යම් අවි ආයුධ කොටස් පතිතවී ඇත්නම් ඒවා ඇල්ලීමට තැත් කිරීමෙන් වැළකී ඒ පිළිබඳ 011 381 8609 / 011 243 4251 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස යුද හමුදාව විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් අවි ආයුධ කොටස් පුපුරායාම හේතුවෙන් සහ ගින්න වර්ධනය වීම හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ රථ වාහන ධාවනය තාවකාලිකව නවතා දැමුණු අතර එය මේ වන විටත් ක්‍රියාත්මකය.

ඒ අනුව අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන රථ වාහන කොස්ගම දක්වාත් කොළඹ සිට පැමිණෙන රථ වාහන හංවැල්ල නගරය දක්වා පමණක් සීමා කිරිමට ආරක්ෂ අංශ පියවර ගනු ලැබ ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් අවට ප්‍රදේශවලින් ඉවත් කෙරුණු ජනතාව මේ වන විටත් ප්‍රදේශයේ රෝහල් සහ වෙනත් ස්ථානවල රැදී සිටින බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කරයි.

අදාළ ගින්න හේතුවෙන් එක් යුධ හමුදා සෙබලෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර මේ දක්වාත් සාලාව හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි සෙබළුන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු අනාවරණය වී නැත.

හමුදා කඳවුර තුළින් තවමත් පිපිරිම් ශබ්ද ඇසෙන බැවින් ඊට ළඟාවීම අපහසු බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේම හමුදා සෙබළුන් කණ්ඩායමක් හමුදා කඳවුර තුළට ඇතුළු වුවද එහි කිසිදු පරික්ෂණ කටයුත්තක් සිදු කිරිමට හැකියාව නොපවතින බව යුධ හමුදාව පවසයි.

ගින්න මැඩ පැවැත්විම සදහා නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාවේද සහය හිමි විය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් චන්දිම අල්විස් මහතා සදහන් කළේ ගුවන් හමුදාවේ බී 200 ගුවන් යානයක් සමග සෙබලුන් කණ්ඩායක් කොස්ගම සාලාව ප්‍රදේශයේ නිරික්ෂණ කටයුතුලට යොමු කළ බවයි.

එමෙන්ම ගින්න පාලනය කිරිම සදහා නාවික හමුදා ගිනි නිවිමේ රථ තුනක් ද එම ස්ථානයට යොමු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රමි අලවි මහතා අද දෙරණට කියා සිටියේය ෴

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )